පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

By In

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා තොරතුරු දැනගැනීමේ පනතට යටත්වන බවට අභියාචනාධිකරණය 2026 මාර්තු 6 වන දින ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

මෙම තීන්දුව පිළිබඳ ප්‍රධාන කරුණු පහත පරිදි වේ:

පසුබිම (නඩුව)

මෙම නඩුව පවරනු ලැබුවේ හිරු TV (Asia Broadcasting Corporation) නාලිකාවට එරෙහිවයි. මවක් විසින් තම පුත්‍රයා සම්බන්ධයෙන් පළ වූ පුවතක සත්‍යතාව විමසමින් තොරතුරු ඉල්ලා සිටි අතර, පෞද්ගලික සමාගමක් බැවින් තොරතුරු ලබා දිය නොහැකි බව නාලිකාව පවසා තිබුණි.

අධිකරණ තීන්දුව

අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් තීන්දුවේ සඳහන් වන්නේ ,

  • පොදු දේපළ: රූපවාහිනී නාලිකා භාවිත කරන්නේ රජය සතු සංඛ්‍යාත (Airwaves) වේ. මේවා පොදු මහජන දේපළක් බැවින් ඒවා භාවිතා කරන පෞද්ගලික ආයතන ද මහජනයාට වගකීමට බැඳී සිටී.
  • පොදු සේවයක්: පෞද්ගලික නාලිකා ලාභය මත ක්‍රියාත්මක වුවද, ඒවා ඉටු කරන්නේ මහජන මතය හැසිරවීමේ වැදගත් “පොදු කාර්යයක්” (Public Function) බැවින් ඒවා පොදු අධිකාරියක් (Public Authority) ලෙස සැලකිය හැකිය.
  • තොරතුරු තහවුරු කිරීම: විකාශය කරන පුවත් නිවැරදිද සහ ඒවා සංස්කරණය කළේ කවුද වැනි තොරතුරු දැනගැනීමට මහජනයාට අයිතියක් ඇත.

තීන්දුවේ බලපෑම

  • වගකීම: මින් ඉදිරියට පෞද්ගලික නාලිකාවලට තමන් පෞද්ගලික ආයතනයක් යැයි පවසමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැක.
  • සමාජ බලපෑම: අසත්‍ය ප්‍රචාර (Fake News) පතුරුවන නාලිකාවලට එරෙහිව ක්‍රියා කිරීමට සහ පුවත්පත් කලාවේ වගකීම් සහගත බව තහවුරු කිරීමට මෙම නීතිය භාවිතා කළ හැකිය.

මේ සම්බන්ධයෙන් www.medialk.com වෙඩ් අඩවිය පළකල සම්පුර්ණ වාර්තාව පහත දැක්වේ

‘හිරු‘ රූපවාහිනී නාලිකාව පොදු අධිකාරියක් එනම් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම යටතට වැටෙන ආයතනයක් බවට තොරතුරු කොමිෂන් සභාව ලබා දුන් තීන්දුව ස්ථිර කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතන ඉතා වැදගත් මහජන කාර්යයක් ඉටු කරන බවත්, ඒවා ලාභය සඳහා පමණක් නොව මහජන යහපත සඳහා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වගකිව යුතු බවත් අභියාචනාධිකරණය මෙහිදී සඳහන් කළේය.

ගුවන් තරංග යනු පොදු දේපොළක් වන බැවින් නිවැරදි වාර්තාකරණයක් සහතික කිරීම සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතන ඒවා භාවිත කළ යුතු බවත්, යම් පුවතක සංස්කාරක හෙළිකිරීම මගින් මාධ්‍ය නිදහස සීමාවීමක් සිදු නොවන අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති තොරතුරු අයිතිය ශක්තිමක් වීමක් සිදුවන බවත් අභියාචනාධිකරණය අවධාරණය කළේය.

එම් ජී කේ දිසානායක නම් කාන්තාවකගේ පුතකු මනුෂ්‍ය ඝාතනයකට සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පාපොච්චාරණයක් කළ බවට ‘අලවතුගොඩ ඝාතන අභිරහස හෙලිවේ-සැමියා රිමාන්ඩ්‘ යනුවෙන් 2023 අගෝස්තු 23 දින රාත්‍රී 6.55 සහ 10.00 ප්‍රවෘත්ති විකාශයන්වලදී ප්‍රචාරය කර තිබිණි. එම ප්‍රවෘත්තිය අසත්‍ය බැවින් එය නිවැරදි කරන ලෙස එම මව හිරු රූපවාහිනී නාලිකාවට දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා 2023 සැප්තැම්බර් 19 වැනිදා එම කාන්තාව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් හිරු ආයතනය වෙත යොමු කර මෙම ප්‍රවෘත්තිය ගැන තොරතුරු ඉල්ලා තිබිණි. ඊට අදාලව ප්‍රතිචාර නොලැබීම නිසා හිරු ආයතනයේ නම් කළ නිලධාරීට අභියාචනා කර ඇති අතර ඊට ද ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එම කාන්තාව 2023 නොවැම්බර් මස 29 වැනිදා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් කර ඇත.

එම අභියාචනයට අදාල නොතීසි නිකුත් කිරීමෙන් පසු හිරු රූපවාහිනී ආයතනය තොරතුරු කොමිසම වෙත මූලික විරෝධා ගොනු කරමින් සඳහන් කර ඇත්තේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටිංග් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් පෞද්ගලික සමාගමක් ලෙස පෞද්ගලික ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ආයතනයක් බවයි. එය පොදු කර්ත්‍යවශ්‍යක් ඉටු කරන හෝ පොදු සේවාවක් ඉටු කරන ආයතනයක් නොවන බව ද සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් අභියාචනය විභාග කිරීමෙන් පසු 2024 ජූලි 20 වැනිදා තොරතුරු කොමිසම තීන්දු කළේ හිරු රූපවාහිනිය තොරතුරු දැන ගැනීමේ පනත යටතට වැටෙන පොදු අධිකාරියක් බවයි. කෙසේ වෙතත් තොරතුරු ඉල්ලීමෙහි සඳහන් ඇතැම් තොරතුරු මුදා හැරීම මගින් ජනමාධ්‍යයට තොරතුරු ලබාදෙන මූලාශ්‍ර අනාවරණය වන හෙයින් ඊට අදාල අයිතමවලට තොරතුරු ලබාදීම අවශ්‍ය නොවන බවත්, තොරතුරු ඉල්ලීමෙහි සඳහන් වන ‘අදාල තොරතුරු පිළිබඳ ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමට පෙර ප්‍රවෘත්ති සංස්කාරක සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් ඒ පිළිබඳ වෙනමම යම් තහවුරු කිරීමක් සිදු කරගෙන ඇතිද?‘ සහ ‘2023.08.23 වන දින හිරු පුවත් විකාශයන් දෙකට අදාල ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද තැනැත්තන් කවුරුන්ද? ඔවුන්ගේ නම් ලබා දෙන්න.‘ යන ප්‍රශ්න දෙකෙන් ඉල්ලා ඇති තොරතුරු හිරු ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී වින්සන්ට් සිල්වා මහතා විසින් මුදා හැරිය යුතු බවට තොරතුරු කොමිසම තීන්දු කළේය.

මෙම තීන්දුවට එරෙහිව හිරු රූපවාහිනිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ විද්‍යුත් විකාශකයන්ගේ සංසදය එම අභියාචනයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරමින් මැදිහත්වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව හිරු රූපවාහිනියේ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්වරුන් ඉදිරියේ විභාගයට ගැණිනි. හිරු රූපවාහිනිය වෙනුවෙන් සුදත් පෙරේදා ඇසේසියේට්ස්හි උපදෙස් මත නීතිඥ තිසත් හේරත්, නීතිඥ තමාලි විජේකෝන් සමග නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා පෙනී සිටියේය. තොරතුරු ඉල්ලූ කාන්තාව වෙනුවෙන් හියුමන් රයිට්ස් ලෝ චේම්බර්ස්හි උපදෙස් මත නීතිඥ හිරුණි පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේය.

නඩු විභාගයෙක් පසු අභියාචනාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිරු රූපවාහිනියේ අභියාචනය ගාස්තුවලට යටත්ව ප්‍රතික්ෂේප කළ අතර හිරු රූපවාහිනිය තොරතුරු පනතට අදාල ආයතනයක් බවට සහ හිරු රූපවාහිනිය තොරතුරු මුදා හැරිය යුතු බවට තොරතුරු කොමිසම ලබා දුන් තීන්දුව ස්ථිර කළේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ පස් වැනි වගන්තියේ ඇති සීමාකිරීම්වලට යටත්ව ප්‍රශ්නවලට අදාල පුද්ගලයන්ට පමණක් නොව එම තොරතුරු ගැන උනන්දුවක් දක්වන ඕනෑම පුරවැසියකුට අදාල තොරතුරුවලට ප්‍රවේශවීමට අයිතිවාසිකමක් ඇති බවත්, තොරතුරු වෙත ප්‍රවේශවීම සීමා කළ හැක්කේ තොරතුරු පනතේ 05 වැනි වගන්තියේ සඳහන් කර ඇති සීමාවලට අදාලව පමණක් බවත් අභියාචනාධිකරණය මෙම තීන්දුවේ දී සඳහන් කර තිබේ.

අභියාචනය ඉදිරිපත් කළ හිරු ආයතනය මෙම තොරතුරු ප්‍රතික්ෂේප කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනතේ 5.උ වගන්තිය යටතේ භාරකාර සම්බන්ධතාවක් පැවැතීම යන හේතුව සඳහන් කරන බවද, එය අදාල වන්නේ බැංකුව සහ සේවාදායකයකු අතර, වෛද්‍යවරයකු සහ රෝගියකු අතර වැනි සබඳතාවලට බව ද, එසේ වුවද එවැනි තොරතුරක් වුවද පොදු යහපතට අදාල වන්නේ නම් මුදා හැරිය යුතු නියෝග කිරීමට  අධිකරණයට හෝ කොමිසමට හැකි බව ද සඳහන් කරන අභියාචනාධිකරණය, හිරු ආයතනය තොරතුරු ලබා ගන්නේ ඔවුන්ගේ නියෝජිතයකුගෙන් හෝ සේවකයකුගෙන් බැවින් එවැනි අවස්ථාවක බාරකාර සබඳතාවක් නොපතින බැවින් එය 5.උ යටතට අදාල නොවන බව ද අභියාචනාධිකරණ තීන්දු කර තිබේ.

හිරු රූපවාහිනිය 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ නිකුත් කරන ලද බලපත්‍ර යටතේ ක්‍රියාත්මක වන බවත්, හිරු ආයතනය පොදු අධිකාරියක් ලෙස ලසකන්නේ නම් එම ආයතනය විනිවිද භාවයෙන් ක්‍රියාත්මක වීමට, තොරතුරු පනත යටතේ තොරතුරු නිකුත් කිරීමට මෙන්ම මහජන ශුබසිද්ධියට අදාලව නියමිත ප්‍රමිතීන්ට අනුගත විය යුතු බවත් සඳහන් කරන අභියාචනාධිකරණය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගුවන් තරංග රජයට හෝ යම් පෞද්ගලික ආයතනයකට අයත් දේපොළන් නොව එය මහජන දේපොළක් බවට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ප්‍රනාන්දු එදිරිව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නඩු තීන්දුව උපුටා දක්වමින් අභියාචනාධිකරණය සඳහන් කළේ ‘දැන ගැනීමට ඇති අයිතිය‘ භාෂණයේ නිදහසේ කොයසක් ලෙස අධිකරණය පිළිගෙන ඇති බවයි. යම් ප්‍රකාශයක් පළ කිරීමේදී එය සත්‍ය විය යුතු බවත්, එය මහජන ශුබදිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත්ව කළ යුතු බවත් පෙන්වා දෙන අභියාචනාධිකරණය, රූපවාහිනී සංස්ථා පනත යටතේ බරපත්‍රයක් ලබාගෙන ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන විශ්වාසනීය සහ මධ්‍යස්ථව මෙන්ම මහජන ශුබදිද්ධියට හේතුවන ලෙස ප්‍රවෘත්ති පල කිරීමට බැඳී සිටින බව ද අවධාරණය කරයි.

නඩු තීන්දු ගණනාවක් ගැන සඳහන් කරමින් අභියාචනාධිකරණය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මාධ්‍යයේ කාර්යභාරය වන්නේ නරඹන්නන්ට, ශ්‍රාවකයින්ට, පාඨකයින්ට සහ පොදුවේ මහජනතාවට සත්‍ය සහ නිවැරදි බවට පරීක්ෂා කර සොයා ගන්නා ලද තොරතුරු සහ අදහස් ලබා දීම බවයි.

හිරු ආයතනය රූපවාහිනී සංස්ථා පනත යටතේ සහ විදුලි සංදේශ නියාමන පනත යටතේ නිකුත් කරන බලපත්‍ර මත ක්‍රියාත්මක වන ආයතනයක් බැවින් මහජන ශුබසිද්ධියට අදාල බැඳිම්වලින් සමන්විත වන බැවින් එය පෞද්ගලික සමාගමක් නිසා  තොරතුරු පනතේ 43 වැනි වගන්තිය යටතේ සඳහන් ‘පොදු අධිකාරියක්‘ යන්නට අදාල නොවන බවට එම ආයතනයට ප්‍රකාශ කළ නොහැකි බව ද අධිකරණය සඳහන් කරයි.

අපරාධ විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයකුට චෝදනා ගොනු කිරීමට පෙර විමර්ශනවලට අදාල තොරතුරුවල පෞද්ගලිකත්වය සම්බන්ධයෙන්  අපේක්ෂාවක් ඇති බව එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කර ඇති බවත්,  මේ අනුවයම් නීති යටතේ දඬුවම් ලැබිය හැකි සාවද්‍ය හෝ අපහාසාත්මක පුවත් පෙත්සම්කරු (හිරු)  පොදු ගුවන් අවකාශය තුළ ප්‍රකාශයට පත් නොකළ යුතු බව ද, අදාල තොරතුරු මූලාශ්‍ර මගින් තහවුරු කර ගෙන ඇති බව දැන ගැනීමට නරඹන්නන්ට අයිතියක් ඇති බවත් නඩු අධිකරණය සඳහන් කරයි.

රූපවාහිනී සංස්ථා පනත යටතේ නියමිත උසස් ප්‍රමිතියෙන් යුතුව වැඩසටහන් කිරීමට රාජ්‍ය මාධ්‍යවලට ඇති නෛතික වකීම පෙත්සම්කාර හිරු රූපවාහිනිය වැඩි පෞද්ගලික නාලිකාවලට ද අදාල බව අධිකරණය අවධාරණය කරයි.

ජනමාධ්‍යයේ වගකීම ගැනත්, මහජන සංඛ්‍යාත භාවිත කිරීම ගැනත්, තොරතුරු අයිතිය සහ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ගැනත් දීර්ඝ ලෙස කරුණු දැක්වූ අධිකරණය හිරු රූපවාහිනිය ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමටත්, නඩු ගාස්තු ගෙවීමටත් නියෝග කළ අතර තොරතුරු කොමිසම ලබා දුන් තීන්දුව ස්ථිර කළේය.

පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *