පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

By In

ජනක සුරංග

පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක කරගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියාට එහි සම්පූර්ණ ආරක්ෂාව සලසාදීම වෙනුවෙන් සම්පාදනය කළ බව ප්‍රකාශ වූ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ නෛතික ක්‍රියාකාරීත්වය 2025 මාර්තු මාසයේ සිට සම්පුර්ණයෙන් බලාත්මක වීමට නියමිත බව තාක්ෂණ අමාත්‍යාංශය විසින් තහවුරුකර තිබේ. මෙම පනතේ නෛතික ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන් බලාත්මක වීමට නියමිත දිනය පිළිබඳව තොරතුරු පනත යටතේ සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී කේ.ඩී.ගොඩිගමුව සඳහන්කර ඇත්තේ 2025 මාර්තු 18 වැනිදා සිට එහි  නෛතික ක්‍රියාකාරීත්වය  සම්පුර්ණයෙන් බලාත්මක වන බවයි.

පසුගිය වකවානුව තුළ සම්මත වූ ආන්දෝලානාත්මක පනත් අතර පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට සුවිශේෂී ස්ථානයක් හිමිවිය.2022 මාර්තු 09 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වූ එම පනත හැඳින්වුණේ පෞද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේලා ලෝකයේ දියුණු රටවල ද ක්‍රියාත්මක වන නීති රීති කෙරෙහි අවධානය යොමු කරවමින් සැකසූ පනතක් වශයෙනි.

නූතන තාක්ෂණය හා ගෝලීය ප්‍රවණතා මත පදනම්ව දත්ත දායකයන්ගේ පෞද්ගලික දත්ත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සුරක්ෂිත කරන අතරම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම සහ නවීකරණය කිරීම සඳහා පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කරමින්,පෞද්ගලික දත්ත ආරක්ෂණ රාමු අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම පෞද්ගලික දත්ත ආරක්ෂණය බලාත්මක කිරීමේ අධිකාරීන් අතර දේශ සීමා හරහා වන සහයෝගීතාව ශක්තිමත් කිරීම සිදු කිරීමේ අවශ්‍යතාව ද එමගින් සපුරාලීට අපේක්ෂා කරන බව පනතේ පූර්විකාවෙන් කියැවිණි.තවද ,ශ්‍රී ලංකා රජයේ දැඩි අවශ්‍යතාවක්ව පැවති දේශීය ලිඛිත නීති සහ අදාළ ජාත්‍යන්තර ව්‍යවස්ථා මාලාවන්ට ගරු කරන අතරම පාරිභෝගික විශ්වාසය සහතික කරමින් ද, පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්ද දත්ත දායකයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා වන යාන්ත්‍රණ සඳහා විධිවිධාන සැලැස්වීමට නෛතික රාමුවක් සැකසීමට ද පනත යටතේ අවස්ථාව සැලසෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.

2022 මාර්තු 19 වන දින, පනත් කෙටුම්පතට ගරු කථානායකතුමා අත්සන්  කිරීමත් සමග මෙම පනත ශ්‍රී ලංකාව තුළ නීතියක් බවට පත් වුවද ,පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවමින් එහි පූර්ණ බලාත්මක භාවය සිදුවන්නේ කවදා සිටද යන්න  මෙතෙක් බොහෝ දෙනෙකු තුළ කුකුහලයක් ලෙස පැවැතිණි.තාක්ෂණ අමාත්‍යාංශය,තොරතුරු අයදුම්පත්‍රයට (RTI)  ලබාදී ඇති ප්‍රතිචාරයෙන් ඒ පිළිබඳ  මෙතෙක් පැවැති ගැටලු රැසක් නිරාකරණය වී තිබේ.

එම පිළිතුර අනුව, පසුගිය 2023 වර්ෂයේ  ජුලි මස 21 වැනි දින නිකුත් වූ 2341/59 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි V කොටස ක්‍රියාත්මක කිරීමත් සමඟ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අදියර වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ.

2024 ජනවාරි 08 වැනි දින නිකුත් වූ 2366/08 අංක දරන අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් පනතෙහි VI, VIII, IX හා X යන කොටස් බලාත්මක වන දිනය ලෙස 2023 දෙසැම්බර් 1 වැනි දින හා පනතෙහි 1, II, III හා VII යන කොටස් බලාත්මක වන දිනය ලෙස 2025 මාර්තු 18 වැනි දින ජනාධිපති හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් කර ඇත. ඒ අනුව 2025 මාර්තු 18 සිට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආවරණය ලැබෙන පරිදි මෙහි නෛතික ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන් බලාත්මක වීමට නියමිතය.

 දත්ත ආරක්ෂණ අධිකාරිය ( DATA PROTECTION AUTHORITY ) 

දත්ත ආරක්ෂණ අධිකාරිය යනු මෙම පනත ප්‍රකාරව ස්ථාපිත කළ යුතු වැදගත්ම ආයතනය වන අතර  එම අධිකාරියේ නිල කාර්යාලය මේ වන විට කොළඹ 07 , බෞදධාලෝක මාවතේ පිහිටි  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පළමු මහලේ අංක 05 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.

එම අධිකාරියේ සියලු නිල තනතුරු පත් කිරීම ගරු ජනාධිපතිතුමන් විසින්  2023 අගෝස්තු 10 දින සිදු කර තිබෙන අතර  එම මණ්ඩලය පහත පරිදි  වේ.

 අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්

  1. ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී අර්ජුන තේරත් මහතා – අධ්‍යක්ෂ හා සභාපති
  2. ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා – අධ්‍යක්ෂ 
  3. බිම්සර සෙනවිරත්න මහතා – අධ්‍යක්ෂ
  4.  නීතීඥ නිසිත් අබේසූරිය මහතා – අධ්‍යක්ෂ
  5. ජනාධිපති නීතීඥ සෞම්‍යා අමරසේකර මහත්මිය – අධ්‍යක්ෂ

6. ෂෙහාන් විජේතිලක මහතා – අධ්‍යක්ෂ

7. ජයන්ත ප්‍රනාන්දු මහතා – අධ්‍යක්ෂ

ඒ අනුව  මහජනතාවට තම පැමිණිලි සභාපති / අධ්‍යක්ෂ ජනරාල්, දත්ත ආරක්ෂණ අධිකාරිය, පළමු මහළ, අංක 5 ගොඩනැගිල්ල, බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), බෞද්ධාලෝක මාවත, කොළඹ 07. යන ලිපිනයට ලිඛිතව හෝ එම අධිකාරිය වෙත පිවිස ඉදිරිපත් කිරීමේ බලය මේ වන විට හිමිවී තිබේ.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *