පුවත්

“පොදු යහපත උදෙසා වන පදනමින් තොරතුරු ලබාදෙන්න” මාතර මහ රෝහලට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු කොමිසම නියෝග කරයි

By In

බොහොමයක් පොදු අධිකාරීන් පනතේ පස්වන වගන්තිය අවභාවිත කරලා.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

 තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාතර මහ රෝහලෙන් හා  සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි තොරතුරු “ජනතාවගේ පොදු යහපත උදෙසා” යන පදනමින් ඔවුන් වෙත  ලබාදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාව මාතර මහ රෝහලට සහ සෙඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ  දැනගැනීමේ පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන්  මාතර මහ රෝහලෙන්  හා  සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉල්ලා සිටි තොරතුරු, පනතේ පස්වන වගන්තිය අනුව ලබාදිය නොහැකි බව දන්වා එවීමෙන් පසු කොමිසම මගින් සිදුකළ දීර්ඝ  අභියාචනා විභාගයකින් පසු මෙම නියෝගය  ලබා දී තිබේ.

 මාතර මහ රෝහලෙන් 2019 දෙසැම්බර් 04 දින රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි නමුත් ඒ වනවිට ඒ සම්බන්ධයෙන්   පරීක්ෂණයක් හා අධිකරණ කටයුත්තක් පවතින බව පවසමින් මාතර මහරෝහල මගින් 2019 දෙසැම්බර් 23 දින  එම තොරතුරු ලබාදීම  ප්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත 2019 දෙසැම්බර් 28 දින යොමුකළ අභියාචනය සඳහා ද පිළිතුරු දෙමින් 2020 ජනවාරි 13 දින එවන ලද ලිපියකින් දැනුම් දී තිබුණේ අදාළ පරීක්ෂණය අවසන්වූ පසු තොරතුරු ලබාදීමට කටයුතු කරන බවයි.

 කෙසේ නමුත්  2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ  දැනගැනීමේ පනතේ 5.1(ඌ)(i ) සහ (ii) (ඒ) යන වගන්තිවලට අනුව එම තොරතුරු ලබාදිය නොහැකි බව අදාළ පොදු අධිකාරිය මගින් 2019 දෙසැම්බර් 23 දින ලිපිය මගින් දැනුම් දී තිබුණි. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 (4)(1) යටතේ මහජන සුභසිද්ධිය යන කාරණය අවධාරණය  කරමින්  ශ්‍රී ලංකා තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත 2020 ජනවාරි 17 දින යොමු කළ අභියාචනයෙන් පසු දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව, 2020 දෙසැම්බර් 01 දින අභියාචනා අංක 2083/2020 යටතේ මෙම තීන්දුව ලබා දී තිබේ.

එමෙන්ම 2019 ඔක්තෝබර්  22 දින සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලංකාවේ රෝහල් තුල පවතින සායනික අපද්‍රව්‍ය  සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක එම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකි බව පවසමින් එම තොරතුරු ලබාදීම මගහරින ලදී. නමුත් මේ සම්බන්ධයෙන් 2019.දෙසැම්බර් 28 දින  ශ්‍රී ලංකා තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත යොමු කළ අභියාචනයෙන් පසු 2021 පෙබරවාරි 16 දින පැවැත් වූ විධිමත් කොමිසන් සභා රැස්වීමේදී අනුමත කරන ලද නියෝගය අනුව අභියාචක විසින් විමසන ලද තොරතුරු හුදෙක් පුද්ගලික අරමුණුවලින් එහා ගිය මහජන සුභසිද්ධිමය තත්වයක් ඉස්මතු කරන බැවින් එම තොරතුරු ලබාදීම සඳහා අදාල පොදු අධිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නියෝග කර තිබේ.

   අදාළ නියෝගයෙන් පසු මාතර මහරෝහල මගින් 2021 පෙබරවාරි 21 දින අදාළ තොරතුරු ලබාදී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විටත් එම තොරතුරු ලබාදීමට කටයුතු කර නැත.

   අද වනවිට දිවයිනේ බොහොමයක් පොදු අධිකාරීන් වෙත යොමුකර තිබෙන තොරතුරු අයදුම්පත් 2000කට ආසන්න ප්‍රමාණයක් අතුරින්  අනාවරණය වී ඇත්තේ, එම පොදු අධිකාරියට  තම තොරතුරු දීමට නොහැකි අවස්ථාවන්හි දී මෙන්ම, එම තොරතුරු ලබාදීමෙන් බොහොමයක් පොදු අධිකාරින්හි අකාර්යක්ෂමතාව, වගවීම් බැහැරකිරීම් මෙන්ම පොදු අධිකාරින්හි විවිධ දුෂණයන් අනාවරණය වන ආවස්ථාවන්හි දී, පුරවැසියන් නොමග යවමින් පනතේ 05 වගන්තිය අනුව එම තොරතුරු ලබාදිය නොහැකි බව පවසමින් තොරතුරු දීම මගහරින්නට කටයුතු කර ඇති බවයි. 

මෙහිදී වගවීම, විනිවිදභාවය වර්ධනය කිරීම, දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කිරීම සහ දූෂණය අවම කිරීම, යහපාලනය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහ සාර්ථකත්වය උදෙසා ලංකාවේ  2016 අංක 12 දරන තොරතුරු පනතේ 5(4) වගන්තිය මගින් රටේ පුරවැසියන්හට ලබාදී ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා වටිනා එකකි.

  නමුත් යම් පුරවැසියෙකු පොදු අධිකාරියක් මගින් තොරතුරු ඉල්ලා සිටින්නේ කාලානුරූපිව තමන්ට අවැසි කාරණයක් වෙනුවෙනි. ඒ නිසාම  2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ  දැනගැනීමේ පනත මගින් දින 14ක සිට 21 දක්වා වූ කාලයක් තොරතරු ලබාදීම වෙනුවෙන්  ලබා දී තිබේ.  නමුත් මේ ආකාරයෙන් මාස ගණනාවක් තිස්සේ තොරතුරු ඉල්ලුම්කරුවන් හට තොරතුරු ලබා නොදී විවිධ හේතුන් ඉදිරිපත්කරමින් බොහොමයක්  පොදු අධිකාරින්  කටයුතු කිරීම නිසා  පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.   එමෙන්ම  ඒ ආකාරයෙන් තොරතුරු දීම මග හරින පොදු අධිකාරීන් සඳහා පනතේ විධානයට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම තොරතුරු කොමිසමේ අභියාචනා විභාගයන් කඩිනම්  කරමින් පනතේ විධානයන් නොසලකා හරින පොදු අධිකාරීන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ඉක්මණින් ක්‍රියාත්මක විය යුතු ය.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *