ධනුෂ්ක සිල්වා
- නඩු පවරා ඇත්තේ අත්අඩංගුවට ගත් අයගෙන් සියයට 8කට පමණයි
- අත්අඩංගුවට ගත් 3000ක් අධිචෝදනා භාර දීමට පෙර මුදාහැරලා
1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා ස්ථිර නීතියක් ලෙස ක්‍රියාත්මක වී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දෙන විට මෙරට බල පැවැත්වූ සිවිල් යුදමය තත්ත්වයක් නොතිබුණු අතර පනත හඳුන්වා දී වසර හතරකට පසුව සිවිල් යුද්ධයක් ආරම්භ විය. 2009 මැයි මස වසර 26ක් තිස්සේ පැවති සිවිල් යුධමය තත්ත්වය අවසන් වූවත් පශ්චාත් යුද සමය පුරා මෙම පනත අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇත. සරල අර්ථයෙන් ගතහොත් නිශ්චිතව නිර්වචනය කළ නොහැකි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ සිවිල් යුධමය තත්වයක් හෝ ක්‍රියාත්මක නොවූ වසර 19ක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබේ.
ඒ අනුව දැනට පවතින සංඛ්‍යා දත්ත අනුසාරයෙන් 2009 වසරෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකා රාජ්‍ය විසින් යොදාගෙන ඇති ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර එම පනත මේ දක්වා ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මෙම ලියුම්කරු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටින ලදි. මෙම ලිපිය සකස් කිරීමේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හා මානව හිමිකම් කොමිෂන් සභාව සතු දත්ත ඉල්ලා සිටි අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හැරුණු විට ඉහත දක්වා ඇති පොදු අධිකාරීන් විසින් ලියුම්කරු යොමු කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය සතු දත්ත පද්ධතියේ තොරතුරු ආශ්‍රයෙන් මෙම ලිපිය සකස් කර තිබේ.
2009 න් පසු අත්අඩංගුවට ගැනීම්
2009 වසරෙන් පසු හා මෙම පරීක්ෂණ වාර්තාව සකස් කරන ලද කාලය දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද තැනැත්තන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.
ඉහත සංඛ්‍යා දත්ත අධ්‍යයනය කිරීමේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තැනැත්තන් විශාල පිරිසක් එක්වර අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වර්ෂ 2009 මැයි මස සිවිල් යුද්ධයේ අවසානයේ සිට 2010 වර්ෂය දක්වාත් 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරයට පසුවත් බව විශේෂයෙන් කැපී පෙනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තැනැත්තන්ගෙන් 63% ප්‍රතිශතයක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෙම සිදුවීම් දෙකෙන් පසු කාලයේය. ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය දත්ත අනුව 2022 වසරේ ඇති වූ අරගලයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තන් ගණන තිදෙනෙකු වීම විශේෂත්වයකි.
2009 වර්ෂයෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් මෙම තොරතුරු ඉල්ලීම සිදු කරන ලද කාල සීමාව තුළ (2024 අගෝස්තු 16 දින දක්වා) නඩු පවරා ඇති සැකකරුවන් ගණන 342කි. පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නඩු පැවරීම ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් එය 8.3%කි. මෙම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති නමුත් නඩු පැවරීමකට ලක් නොවූ සැකකරුවන් ගණන 3,016කි. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 73.5% ක පිරිසක් නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පෙර නිදහස් කිරීමට හෝ පුනරුත්ථාපනයට ලක් කර තිබේ.
නඩු නොපැවරීමේ හේතු
මෙම අධ්‍යයනයේදී අනාවරණය කරගත් දත්ත අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොපැවරීමට හේතු වූ කරුණු කිහිපයක් අනාවරණය විය. එම හේතු පහත පරිදි වේ:
- අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පෙර නීතිපති උපදෙස් මත නිදහස් කිරීම.
- නීතිපති උපදෙස් මත සැකකරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීම.
- ත්‍රස්තවාදී ක්‍රියාවක් මත මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවද ඒ සම්බන්ධව කරනු ලබන පරීක්ෂණවලින් කරුණු අනාවරණය නොවීම මත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කිරීම.
- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 (1) වගන්තියේ පෙන්වා දී ඇති සීමා කිරීමේ කොන්දේසි මත මුදා හැරීම.
- තවදුරටත් වරද විමර්ශනය කිරීම හේතුවෙන් නඩු නොපැවරීම.
2009 මැයි මාසයේ මෙරට සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසු ඒ වන විට රැඳවුම් භාරයේ සිටි හිටපු එල්ටීටීඊ සටන්කාමීන් පුනරුත්ථාපනය කර ඔවුන් නැවතත් සිවිල් ජීවිතයට යොමු කිරීමේ පුනරුත්ථාපන සැලැස්මක් එවක ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලදි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2011 වසරේ අගෝස්තු මස 29 වන දින නිකුත් කළ අංක 1716/5 ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් අනුව එම සැලැස්ම ක්‍රියාත්මක කළ අතර ආසන්න වශයෙන් එල්ටීටීඊ සටන්කාමීන් 1,542 දෙනෙක් 2009-2012 වසර හතර තුළ පුනරුත්ථාපනය කොට සමාජගත කර ඇත.
නිදොස් වූ සැකකරුවෝ
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ දත්ත අනුව 2009 වසරේ සිට මෙම පර්යේෂණ වාර්තාව සකස් කරන කාලය දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 110 දෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ. එම දත්ත පහත ප්‍රස්ථාරයෙහි දැක්වේ.
පසුගිය දශකයක පමණ කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ ආකාරය අධ්‍යයනය කිරීමේදී පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සැලකිය යුතු පිරිසක් නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පැවරීමකින් තොරව නිදහස් කර තිබේ.
නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ගොනුකිරීමෙන් පසු නඩු විභාගය අතරතුර යම් නිශ්චිත තාක්ෂණික කරුණු මත නීතිපතිවරයාගේ ඉල්ලීම මත අධිචෝදනා පත්‍ර ඉවත් කර ගැනීමෙන් හෝ මහාධිකරණ විනිසුරුවන් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍ර හා අනෙකුත් සාක්ෂි දෙස අවධානය යොමු කර පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදොස් කොට නිදහස් කර තිබේ. 2024 ජුනි 12 කොළඹ මහාධිකරණය මගින් හිටපු රේගු නිලධාරී කන්දයියා යෝගරාජන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 20ක් සිරභාරයේ රඳවා තැබීමෙන් පසු නිදොස් කොට නිදහස් කිරීම ඒ පිළිබඳ එක් උදාහරණයකි. 2020 මැයි මාසයේ ත්‍රස්තවාදය වැළැක්විය පනත යටතේ අත්අඩංගුවට ගත් කිවියර අහ්නෆ් ජසීම් 2023 දෙසැම්බර් 12 වන දින පුත්තලම මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කෙරුණු අතර ඒ වන විට ඔහු වසර එකහමාරක පමණ කාලයක් සිරගත කොට තිබිණි. 2021 ජුලි 30 වවුනියා මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු කේ.කන්නදාසන් සත් වසරක් සිරභාරයේ රඳවා තබා ගැනීම, චන්ද්‍රබොස් සෙල්වචන්ද්‍රන් 2019 වසරේදී වසර 15ක් සිරගතව සිටීමෙන් පසු නිදොස් කොට නිදහස් කිරීම හා 1994 දෙසැම්බර් මස ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගත් වසන්ති රගුපති ශර්මා 2015 වසරේ දී නිදොස් කොට නිදහස් කිරීම එවැනි අවස්ථා පිළිබඳ තවත් උදාහරණ වේ.