Uncategorized

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

By In

තොරතුරු පනතින් කළ සොයා බැලීමක්

ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස ජලභීතිකා රෝගය හැඳින්විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසරේ නිකුත් කර ඇති නිවේදනයක් මගින් පෙන්වා දී  ඇත්තේ  ලෝකයේ රටවල් 150කින් පමණ ජල භීතිකා රෝගීන් වාර්තා වන අතර වසරකට පුද්ගලයික් 59,000 කට පමණ මෙම රෝගය නිසා සිය ජීවිතය අහිමි වන බවයි.

ජලභීතිකා රෝගීන්ගෙන් සියයට 95ක්ම ආසියානු සහ අප්‍රිකානු රටවලින් වාර්තා වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වුවත් වාර්තාකරණ අවම වීමත් අවිනිශ්චිත ඇස්තමේන්තුගත කිරීමත් නිසා මෙම මරණ තවත් ඉහළ මට්ටමක පැවතිය හැකි බව ලෝක ‍සෞඛ්‍ය සංවිධානය තව දුරටත් සඳහන් කර තිබේ.

ජලභීතිකා රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 15ට අඩු දරුවන් වන අතර  වෛරසය බෝකිරීමේ සාධකය ලෙස සියයට 99ක්ම වාර්තා වී ඇත්තේ සුනඛයින් බවත්  ලෝක සෞඛ්‍ය සංවිධානයේ  එම වාර්තාවේ සඳහන් වෙයි. එම වාර්තාවට අනුව ආසියානු කලාපයේ රටවල් නවයකින් ජලභීතිකා රෝගය වැඩි වශයෙන් වාර්තා වෙයි. එම රටවල් වන්නේ, බංගලාදේශය, භූතානය, උතුරු කොරියාව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව නේපාලය සහ තායිලන්තයයි.  

ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් වන මෙම ජගත්  දත්ත සමඟ ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ පැතිරීම අවම කිරීම සහ පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ලබා ගත් තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමකි මේ.

ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත‍්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව සිය වෙඩ් අඩවියේ සඳහන් කර ඇත්තේ මෙසේය:

ප්‍රධාන වාහකයා සුනඛයින්

ජලභීතිකා රෝගය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්වයකි. මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගේ ඛේටය (කෙළ), සතා සපා කෑමෙන්, සීරීමක් ඇති තැනකින්, සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුළු වීමෙනි. ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වේ.

ජලභීතික වෛරසය රැබ්ඩොවයිරිඩ් (Rhabdoviridee) කුලයට අයත් ලිසවයිරස් (Lyssavirus) ගණයේ වෛරසයකි. එය සිලින්ඩරාකාර ස්වරුපයක් ගන්නා අතර පිටත ලිපිඩ අවරණයකින් සැදුම්ලත් RNA වෛරසයකි.

හිසරදය හා උණ ජලභීතික රෝගයේ මුලින්ම ඇති වන රෝග ලක්ෂණ වන අතර පසුව එය දරුණු හැසිරීම්, පාලනය කළනොහැකි කලබලකාරී හැසිරීම් දැක්වීම, ජලයට ඇති අකමැත්ත ආදී ලක්ෂණ දක්වා වැඩි වේ. අවසානයේ සිදුවන ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් මරණය සිදු වේ.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වේ. එනමුත් බළලුන්, මුගටියන්, නරියන් ලේනුන් ආදී වෙනත් ආසාධිත ක්ෂීරපායි සතුන් මගින් ද ජලභීතිකා රෝගය මිනිසාට වැළදිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ  සිදු වන ජලභීතිකා මරණ අතර  වැඩි මරණ සංඛ්‍යවක් සිදුවන්නේ සුනඛ සපාකෑම් මගිනි. ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයට ප්‍රධාන හේතුව වන්නේ සුනඛයන් එම රෝහයට එරෙහිව එන්නත් සිදු නොකිරීම සහ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොකිරීමයි. නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ජලභීතික රෝගය සියයට සියයක්ම වළක්වා ගත හැකි රෝගයකි. ජලභීතිකා රෝගය වැළැක්වීම සදහා ප්‍රතිකාර රජයේ රෝහල් මගින් නොමිලේ ලබා ගහ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

එන්නත්කරණයේ ප්‍රතිඵල

ජලභීතික රෝගය මර්දනය සඳහා වාර්ෂිකව සුනඛයින් එන්නත් කිරීම ශ්‍රී ලංකාව තුළ නිර්දේශිත වේ. 1975 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ජලභීතිකා රෝග මර්දන ක්‍රියාකාරකම්වල ප්‍රතිපලයක් ලෙස මිනිස් ජලභීතික රෝගය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබේ. 1973 දී 377ක්ව පැවති ජලභීතිකා මරණ සංඛ්‍යාව 2014 වර්ෂය වනවිට 19 දක්වා අඩු විය.

මේ වන විට ලංකාව තුළ අයාලේ යන සුනඛයින් හෙවත් වීදි සුනඛයින් ලක්ෂ 20ත් 30ත් අතර ප්‍රමාණයක් සිටින බව සත්ව සුබසාධක සංසදය පවසයි. එම සංසදය පෙන්වා දෙන ආකාරයට වසරකට සුනඛ සපා කෑම්  ලක්ෂ දෙකහමාරක් පමණ වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ ජලභීතිකා රෝගය වළක්වා ගැනීම හැර රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් නොමැති බවයි. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා සුරතල් සතුන් නිසි ලෙස එන්නත් කිරීම, යම් සතෙකු සපා කෑවොත් ක්ෂණිකව එන්නත් මාත්‍රා නිසි පරිදි ලබා ගැනීම සිදු කළ යුතු බවයි. එමගින් ජලභීතිකා  රෝගය පාලනය කළ හැකි බවත් රෝගය වැළඳීම වළක්වා ගත හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධනය කියයි.

සත්ව සුබසාධක සංසදය පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සුනඛ සපාකෑම් ලක්ෂ දෙක හමාරක් පමණ වාර්තා වුවත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය  දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරුවලට අනුව 2024 වසරේදී ජලභීතිකා රෝගීන් වාර්තා වී ඇත්තේ 16 දෙනෙකු පමණකි. 2025 වසරේ ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ගතවූ මාස 9 තුළ රෝගීන් අට (08) දෙනෙකු පමණක් වාර්තා වී ඇත. මේ අනුව පෙනී යන කරුණ නම් ලංකාවේ  ජලභීතිකා රෝගය  යම් පාලනයකට නතු වී ඇති බවයි.

වැය නොකරන ප්‍රතිපාදන

2024 වසරේදි ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබුණද වසර අවසානයේ එයින් භාවිතා කර ඇත්තේ රුපියල් මිලියන 104.924කි. ඒ අනුව තවත් රුපියල් මිලියන 95කට ආසන්න ප්‍රමාණයක් භාවිත කළ හැකිව තිබිණ.

2024 වසරේදී  වැය වී ඇති මුදල්වලින් වැඩි ප්‍රමාණයක් එනම් රුපියල් මිලියන 101.523ක්ම වැය වී ඇත්තේ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන් සඳහායි. එයට අමතරව, ප්‍රජා නායකයින් දැනුවත් කිරිම සඳහා රුපියල් 293,000ක්, වෛද්‍ය නිලධාරී හා හෙද නිලධාරී පුහුණු වැඩසටහන් සඳහා රුපියල් 953,000ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක/ පවුල් සෞඛ්‍ය සේවිකා පුහුණු වැඩසටහන් සඳහා රුපියල් 429,000ක්, පශු එන්නත්කරුවන් පුහුණු කිරීම සඳහා රුපියල් 123,000ක්  ලෝක ජලභිතිකා දිනය වෙනුවෙන් රුපියල් 242,000ක් වශයෙන් වැය කර තිබේ. දිස්ත්‍රික් සුනඛ වන්ධ්‍යාකරණ සහ ජලභීතිකා රෝග පාලනය සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන් අධීක්ෂණය සඳහා රුපියල්  42,000ක්ද ජලභීතිකා රෝගය පාලනය සඳහා කරනු ලබන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය සඳහා රුපියල් 315,000ක්ද කාර්යාල උපකරණ සඳහා රුපියල් 89,000ක්ද අත්පත්‍රිකා, පෝස්ටර්, බැනර් මුද්‍රණය කිරිම සඳහා රුපියල් 909,000ක්ද වශයෙන් 2024 වසරේදී ජලභීතිකා රෝගය පාලනය කිරිම සඳහා රුපියල් මිලියන 104.929 ක් (දස කෝටි හතළිස් නව ලක්ෂ විසි නව දහසක්) වැය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2025 වසරේදී ජලභීතිකා රෝගය පාලනය සඳහා රුපියල් මිලියන 220ක් වෙන් කර ඇති නමුත් මාස නවයක් ගතව තිබියදී එනම්  2025 සැප්තැම්බර් 30 වනදා දක්වා වැය කර ඇත්තේ රුපියල් මිලියන 8.991ක් පමණකි. එනම්  වෙන් කර ඇති රුපියල්  ලක්ෂ 2200න් වියදම් කර ඇත්තේ රුපියල් ලක්ෂ  90කට ආසන්න (ලක්ෂ 89.991) මුදලක් පමණකි.

නොවිසඳුණු ගැටලු රැසක්

ජලභීතිකා පාලනය සඳහා ලබා දී ඇති මුදල් අඩු වශයෙන් භාවිතා කළත් ලබා දී ඇති තොරතුරු අනුව  මේ වන විට මෙම රෝගය යම් පාලනයක් ඇතිව ඇති බව කිව යුතුය.

එසේ වුවත් අද වන විට සෑම නගරයකම ගමකම අයාලේ යන සුනඛ ගහනය ඉහළ ගොස් තිබේ. මෙම සතුන්ගෙන් කුඩා දරුවන්ට,  වැඩිහිටියන්ට මෙන්ම නිවෙස්වල  ඇති කරනු ලබන කුකුළන් වැනි ආර්ථික වටිනාකමක් ඇති සත්වයින්ටද මෙම අයාලේ  යන සුනඛයින් නිසා හානිකර තත්වයක් උදා වී තිබේ. වීදි සුනඛයින් නිසා යතුරුපැදිකරුවෝ විශාල පිරිසක් වාර්ෂිකව අනතුරුවලට ලක් වෙති.

අධික ලෙස නගරවල ගම්වල මෙන්ම නිවෙස් ආසන්නයේද ගැවසෙන මෙම සුනඛයින්  ඉවත් කිරීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍යතාවය තදින්ම පවතී. සත්ව සුබසාධක සංසදය පෙන්වා දෙන ආකාරයට වසරකට ලක්ෂ දෙක හමාරක් පමණ සුනඛ සපා කෑම් සිදු වන්නේ නම් එය බරපතළ තත්වයක් වෙයි. මෙම ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා යම් ස්ථීර  වැඩ පිළිවෙළක් යෝජනා කළ යුතුව තිබේ. මෙම කාර්යයේදී සත්ව සුබසාධක සංසදයටද වැඩි  වගකීමක් පැවරෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ

ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ යටතේ 1970 දශකයේ සිට 2006 දක්වා ක්‍රියාත්මක වූ පිළිවෙත වූයේ නිදැල්ලේ ගැවසෙන සුනඛයන් අල්ලා ඝාතනය කිරීමයි. සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන්ට අනුව 2006ට පෙර වාර්ෂිකව ඝාතනය කෙරුණු සුනඛයන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වේ. 2006 වසරේදී සුනඛ ඝාතනය අත්හිටවුණු අතර ජාතික සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහන ආරම්භ වූයේ 2008 වසරේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව රටකින් ජලභීතිකා ගහණය තුරන් කිරීමට නම් සමස්ත සුනඛ ගහනයෙන් 70%ක් අඛණ්ඩව එන්නත් කළ යුතු අතර එම තත්ත්වය පවත්වාගැනීමට නම් සුනඛ ගහනයෙන් 70%ක්වත් වන්ධ්‍යකරණය කිරීම ද අනිවාර්ය වේ. මානුෂීය ක්‍රම මතින් සත්ත්ව ගහන පාලනය සදහා වන පශු ‍වෛද්‍ය එකමතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතාට අනුව 2030 වන විට එම ඉලක්කය සපුරා ගැනීමට වාර්ෂිකව වන්ධ්‍යකරණයට ලක් කළ යුුතු සුනඛයන් සංඛ්‍යාව අවම වශයෙන් ලක්ෂ දෙකකි. නමුත් රජයේ වැඩපිළිවෙළ මගින් වසරකට සිදුකෙරෙන සැත්කම් ප්‍රමාණය 30,000 ඉක්මවන්නේ කලාතුරකිනි.  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේෂ කළ, ජාත්‍යන්තර මට්ටමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් වැඩපිළිවෙළක් ලංකාව තුළ අසාර්ථක වීමට එකී සේවාව ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ගේ අකාර්යක්ෂමභාවය හේතු වී ඇති බව පැහැදිලිය.

මෙයට   ටික කලකට පෙර අයාලේ යන සුනඛයින් අල්ලා ඝාතනය කිරීමත් වන්ධ්‍යාකරණය කිරීමත් මෙම රෝගය පාලනය කිරීම සඳහා සිදු කළද 2006 වසරේදී සුනඛ ඝාතනය තහනම් කළ අතර 2008 වසරේ සිට සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන් ආරම්භ කරනුු ලැබීය. එසේ  වුවත් එය සාර්ථක වී නොමැති බව වර්තමානයේ දක්නට ලැබෙන අධික සුනඛ ගහණය පෙන්වා දෙයි.

ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා මේ වසර තුළ දීප ව්‍යාප්ත සුනඛ වන්ධ්‍යාකරණ වැසටහන්, ප්‍රජා නායකයින් දැනුවත් කිරීම, අත් පත්‍රිකා පෝස්ටර් බැනර් ආදිය මගින් ප්‍රජාව  දැනුවත් කිරීම,වෛද්‍ය නිලධාරින්, හෙද නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්, පශු එන්නත්කරුවන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් සුනඛ එන්නත්කරණ සහ වන්ධ්‍යාකරණය  වැඩසටහන් අධීක්ෂණය  කිරීම, ගුවන් විදුලි පණිවිඩ මගින් ප්‍රජාව දැනුවත් කිරිම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

ජලභීතිකා රෝගය යනු  සමාජයේ අවධානය එතරම් යොමු නොවුණු භයානක රෝගයකි. එමෙන්ම දැනුවත්භාවයෙන් හා විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ වළක්වාගත හැකි රෝගයකි. ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශයට ජනතාවගේද සහාය අත්‍යවශ්‍ය වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අරමුණ වන්නේ 2030 වන විට ලෝකයෙන්ම  ජලභීතිකාව තුරන් කිරීමයි. ඒ සඳහා ජාතික වශයෙන් නිසි වැඩපිළිවෙළකට යොමු වීම රජයේ මෙන්ම පුරවැසියන්ගේද වගකීමකි.

(මොහොමඩ් ආසික්)

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *