Uncategorized

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

By In

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි

 ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත් පාලන ඡන්ද  සමයේදී  පැවති දේශපාලන රැලි හා ප්‍රචාරණ කටයුතු සඳහා රජයේ  වාහන භාවිත කර තිබෙන බවත්, පසුව එම රාජකාරි නොවන කටයුතු වෙනුවෙන් දරා තිබෙන වියදම් පියවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවත් අනාවරණය වේ. කෙසේ නමුත් අදාළ වියදම් සම්බන්ධයෙන් මේ වන තෙක් විගණනයක් සිදු කර නැත.

 මෙම තොරතුරු අනාවරණය වූයේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළ 2025 අගෝස්තු 11 දිනැති තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර ලෙස PS/RTI/01/2025/267, 268, 262 යන ලිපි අංක යටතේ 2025 සැප්තැම්බර් 24 දිනැතිව ලබාදුන් තොරතුරු මගිනි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් බලයේ සිටින කාලය තුළදී සිදු කළ පුද්ගලික සංචාර හා දේශපාලන කටයුතු සඳහා දරන ලද වියදම් සම්බන්ධයෙන් දැඩි සේ කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද ගුවන් සංචාරයක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟය. අපද අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපතිවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ ගුවන් සංචාර සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ලබා ගනිමින් ඒ සම්බන්ධයෙන් වූ කරුණු ජනතාවට අනාවරණය කර තිබේ.

ඒ ආකාරයටම, වත්මන් ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන්ද සොයා බැලීම මාධ්‍යවේදීන් ලෙස මෙන්ම පුරවැසියන් ලෙසද අප සතු වගකීමකි. එමෙන්ම අයිතියකි. මෙහිදී අපගේ අවධානයට ලක් වූයේ, පසුගිය පාර්ලිමේන්තු හා පළාත් පාලන මැතිවරණ සමයෙහිදී සිය පක්ෂයේ දේශපාලන ප්‍රචාරක කටයුුතු වෙනුවෙන් ජනාධිපතිවරයා කළ සංචාර සඳහා රජයේ අරමුදල් වැය කර තිබේද යන ප්‍රශ්නයයි.

නොදැන සිටින සත්‍යය 

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 පාර්ලිමේන්තු මැතිවරණයට සහ 2025 පළාත් පාලන මැතිවරණයට අදාළව සහභාගී වූ ‘රාජකාරි නොවන දේශපාලන කටයුතු’ සහ 2025 ජනවාරි 01 සිට අගෝස්තු 06 දක්වා සිදු කරන ලද වෙනත් දේශීය සංචාර සම්බන්ධයෙන්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ජනාධිපති කාර්යාලය වෙත තොරතුරු අයදුම්පතක් ඉදිරිපත් කෙරිණි.

එහිදී විමසන ලද ප්‍රශ්නවලට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දී ඇති බොහෝ පිළිතුරු එක හා සමාන වන අතර, ප්‍රධාන වශයෙන්ම සඳහන් වන්නේ: “ඔබ විසින් ඉල්ලා සිටින තොරතුරු මෙම කාර්යාලය සම්බන්ධ වන කටයුතු නොවේ. එම තොරතුරු මෙම කාර්යාලයේ නැත” යනුවෙනි. තවද, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කුලී පදනම මත වාහන ලබාගෙන නොමැති බවත් එම කාලයේදී ජනාධිපතිවරයා සමඟ ගමන් ගත් රියදුරන් සඳහා වැටුප් හා දීමනා ගෙවා නොමැති බවත් සඳහන් කර ඇත.

 ජනාධිපතිවරයා සහභාගි වූ දේශපාලන රැලි පැවති දින, ස්ථාන හා ඒ සඳහා දරන ලද වියදම් පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළද එම පිළිතුර විශ්වසනීය එකක්ද යන සැකය ඕනෑම පුරවැසියකු තුළ මතු විය හැකිය. එම සැකය තවදුරටත් සනාථ වන්නේ, එම ගමන් බිමන් සඳහා අවශ්‍ය පහසුකම්, මුලින් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සපුරා තිබෙන පසුබිමක ය. 

රාජ්‍ය වාහන භාවිතය සහ නීතිමය සීමාව 

ඉහත සඳහන් කරනු ලැබූ කාල සීමාවන්ට අදාළව ජනාධිපතිවරයා විසින් රාජකාරි නොවන දේශපාලන කටයුතු සඳහා භාවිත කළ වාහන හා ප්‍රවාහන වියදම් යළි ප්‍රතිපූර්ණය කර තිබේද යන්න සම්බන්ධයෙන් සිදුකරන ලද විමසුමේදී ජනාධිපති ලේකම් කාර්යාලය පිළිතුරු ලෙස දක්වා ඇත්තේ රාජකාරි නොවන කටයුතු වෙනුවෙන් දරා ඇති ප්‍රවාහන වියදම් පියවීමට ජනාධිපතිතුමා ඉල්ලීමක් කර ඇත. ඒ අනුව ප්‍රවාහන අංශය විසින් ලබාදුන් වියදම් පියවීමට ජනාධිපතිතුමා කටයුතු කර ඇත. පියවූ වියදම් පිළිබඳව තවමත් විගණනය සිදු කර නොමැති බැවින් ලේඛනවල පිටපත් ලබා දිය නොහැක. යනුවෙනි.

මෙම පිළිතුර අනුව, ජනාධිපතිවරයා විසින් රාජකාරි නොවන දේශපාලන කටයුතු සඳහා රජයේ නිල වාහන භාවිතා කර ඇති බවත්, එම වියදම් නැවත ප්‍රතිපූරණය කර ඇති බවත් සනාථ වේ. වියදම් ප්‍රතිපූරණය කිරීම නම්, අදාළ වියදම් පිළිබඳ දත්ත ජනාධිපතිවරයා සතුව තිබිය යුතුය. එමෙන්ම ඒවා ජනාධිපති කාර්යාලය වෙත ලබා දී තිබිය යුතුය. එ් අනුව පැහැදිලි වන්නේ අදාළ වියදම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ ලේඛනයක් ඇති බවයි. එබඳු ලේඛනයක් තිබියදී, තොරතුරු පනත යටතේ කරන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එවැන්නක් නැතැයි ප්‍රකාශ කිරීම පනත උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය.

ඒත් සමගම, එම වියදම් පසුව “පියවීමට කටයුතු කර ඇත” යනුවෙන් සඳහන් වීම රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ තවත් ගැටලුවක් ඉදිරිපත් කරයි. ඉන් පැහැදිලි වන කාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් රජයේ වාහන භාවිත කර, පසුව ඒ සඳහා ගිය වියදම් පියවීමට කටයුතු කර තිබෙන බවයි. එවන් පසුබිමක, තොරතුරු ඉල්ලුමේ මුල් ප්‍රශ්න මගින් විමසූ ජනාධිපතිවරයාගේ දේශපාලන රැස්වීම් හා වෙනත් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කළ වියදම් පිළිබඳව නොදන්නා බව පැවසීමෙන් පැහැදිලි වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය එම තොරතුරු සැඟවීමට ගන්නා උත්සයක් බව නොවේද? 

වියදම් ප්‍රතිපූරණය නීත්‍යානුකූලද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයෙකු හෝ නිලධාරියෙකුට ඔහුගේ රාජකාරී කටයුතු වෙනුවෙන් ලබාදුන් වාහන, ඉන්ධන හා අනෙකුත් පහසුකම් පෞද්ගලික හෝ දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම, නීතිය අනුව තහනම් ක්‍රියාවකි. ජනාධිපතිවරයකුට වුවද එම සීමාවන් අදාළ වන බව, මෙම රජය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමෙන් තහවුරු කරන ලදී. ඊට පරිබාහිරව “රජයේ වාහන භාවිත කිරීම පිළිබඳ චක්‍රලේඛ” මගින්ද තහවුරු කොට ඇති පරිදි, රජයේ වාහනයක් භාවිත කළ හැක්කේ රාජකාරි අරමුණු සඳහා පමණකි. එමනිසා සැමට සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට වෙර දරන වර්තමාන රජයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා, ඔහුගේ දේශපාලන පක්ෂ කටයුතු සඳහා රාජ්‍ය වාහන භාවිතය කළේ නම්, එය ජනතාවගේ මුදල් අවභාවිත කිරීමක් මෙන්ම ජනතා විශ්වාසය පමණක් නොව තම දූෂණ විරෝධී ප්‍රතිපත්තියද අභියෝගයට ලක් කරන ක්‍රියාවක් වේ. පසුව එම මුදල් පියවීම සිදු කළ බව පැවසීම ම එම වරද සිදු වී ඇති බව සනාථ කිරීමකි. එමගින් (වියදම් ප්‍රතිපූරණය කිරීමෙන්) පළමු ක්‍රියාව නීත්‍යානුකූල වන්නේ කෙසේද යන්න අභියෝගයට ලක් විය හැකි කරුණකි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා  විසින් එම ප්‍රවාහන වියදම් පුද්ගලිකව පියවීමට කටයුතු කර තිබීම යහපත් පියවරකි. මෙතෙක් දක්නට නොලැබුණු ආදර්ශයකි. රාජ්‍ය සම්පත් භාවිතය සහ පක්ෂ දේශපාලන කටයුතු අතර පැහැදිලි වෙනසක් පවත්වා ගැනීමට ඇති කැමැත්ත එමගින් විශද කෙරේ. මෙම ක්‍රියාවලිය, වෙනත් රාජ්‍ය ආයතන හෝ නායකයින් විසින් අනුගමනය කළ යුතු විනිවිදභාවයේ ප්‍රමිතියක් ලෙස සැලකිය හැකිය. නමුත් මෙම කාරණාවෙන් ගම්‍ය වන්නේ ඕනෑම කෙනෙකුට පොදු දේපළක් භාවිත කර ඒ සදහා ගිය වියදම් පසුව පියවීමට හැකි බවද? 

විනිවිදභාවය සහ ප්‍රමාදය

 කෙසේ වෙතත්, මීට හරියටම වසරකට පෙර, 2024 ඔක්තෝබර් මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ සමයට අදාළ ප්‍රස්තුත කරුණු විමසීමේදී, “පියවූ වියදම් පිළිබඳව තවමත් විගණනය සිදු කර නොමැති බැවින් ලේඛනවල පිටපත් ලබා දිය නොහැක” යන පිළිතුර ලැබීම කනගාටුවට කරුණකි. එමගින් විනිවිදභාවය පිළිබඳ ගැටලු මතු කරයි. වියදම් පියවූ බව සඳහන් කළත්, නිල ලේඛන RTI යටතේ ලබා දීමට නොහැකි වීම, එම මුදල් පියවීමේ ක්‍රියාවලියේ සත්‍යතාව සහ විධිමත්භාවය පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ප්‍රවාහන වියදම් පියවා ඇත්තේ කවදාද, කොපමණ මුදලක්ද, සහ එම ගණනය කිරීම් සිදු කළේ කෙසේද යන්න පිළිබඳව විගණන වාර්තා ප්‍රමාද වීම මහජනතාවගේ විශ්වාසය පළුදු කිරීමට හේතුවකි. දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය වාහන භාවිත කර, පසුව වියදම් ප්‍රතිපූරණය කිරීම නීත්‍යානුකූල යැයි උපකල්පනය කළද එම ක්‍රියාවලිය විධිමත් ලෙස හා කඩිනමින් විගණනය කර ප්‍රසිද්ධියට පත් කිරීම විනිවිද භාවයකින් යුතු රජයක වගකීමකි.

කෙසේ නමුත්, ජනාධිපතිවරයා රාජකාරී නොවන කටයුතු සඳහා රජයේ වාහන භාවිත කිරීමේදී, විශේෂයෙන්ම මැතිවරණ කාලවලදී අදාළ වන විධිවිධාන සහ මැතිවරණ නීතිවලට අනුකූල වීම තීරණාත්මක වේ. වියදම් ප්‍රතිපූරණය කිරීමෙන් මෙම භාවිතය නීත්‍යානුකූල වන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි නීතිමය අර්ථකථනයක් තිබිය යුතුය.

එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලන රැලි වලට සහභාගි වීමේදී මෙන්ම ඒ සදහා ගමන් කිරීමේදී යොදාගනු ලබන ආරක්ෂක රථ පවා නඩත්තු වන්නේ මහජන බදුමුදලිනි. රාජකාරි හෝ එසේ නොවන අවස්ථාවලදී පවා රාජ්‍ය නායකයාට ආරක්ෂාව සැලසීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවට විවාදයක් නැතත්, ඒ සඳහා සිදු කරන වියදම් සම්බන්ධයෙන් දැනගැනීමේ අයිතිය පුරවැසියන් සතුය.

පිළිතුරු නැති තවත් ප්‍රශ්න

ජනාධිපතිවරයාගේ දේශීය සංචාර, ගුවන් ගමන් සහ නවාතැන්/ආහාර වියදම් සම්බන්ධයෙන් සිදු කළ විමසීමටද ජනාධිපති ලේකම් කාර්යාලය සාධනීය පිළිතුරක් ලබා දී නොමැත. මෙහිදීද ජනාධිපති ලේකම් කාර්යාලය  විසින් ලබා දී ඇති පිළිතුරු විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ බොහෝ තොරතුරු “දේශීය සංචාර ලෙස ශීර්ෂගත කරන ලද දත්ත මෙම කාර්යාලයේ නැත” හෝ “අදාළ නොවේ” ලෙස බැහැර කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම තොරතුරු ඉල්ලීම තුළ නවාතැන් හා ආහාර පහසුකම් සම්බන්ධ වියදම් පිළිබඳව අසන ලද ප්‍රශ්නයට ලැබුණු පිළිතුර විශේෂයෙන් වැදගත්ය: “ජනාධිපති කාර්යාලය කිසිදු වියදමක් දරා නැත. එබැවින් මෙය මෙම කාර්යාලය සතු තොරතුරක් නොවේ.” මින් ඇඟවුම් කරන්නේ එම සංචාර සඳහා නවාතැන් හා ආහාර පහසුකම්වල වියදම් වෙනත් ආයතන, පක්ෂ අරමුදල්, හෝ පුද්ගලික අරමුදල් මගින් දරා ඇති බවයි. රාජ්‍ය වියදම් අවම කිරීමේදී මෙම ක්‍රියාවලිය යහපත් වුවත්, මහජන නියෝජිතයෙකු, රටේ විධායක ජනාධිපති ලෙස එම වියදම්වල මූලාශ්‍ර පිළිබඳව යම් මට්ටමක විනිවිදභාවයක් පවත්වා ගැනීම වැදගත් වේ. මන්දයත්, මෙහිදී තෙවන පාර්ශවීය අරමුදල්වල සදාචාරාත්මකභාවය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතු විය හැකි බැවිනි.

තොරතුරු විශ්ලේෂණයට අනුව, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය වාහන භාවිතය සඳහා වූ වියදම් ප්‍රතිපූරණය කිරීමේ ප්‍රතිපත්තිය යහපත් වුවද, විගණන ප්‍රමාදය හේතුවෙන් සමස්ත ක්‍රියාවලියේ විනිවිදභාවය ගැටලුසහගත බව පෙන්වා දිය හැකිය. විශේෂයෙන් මෙය විනිවිදභාවය සම්බන්ධයෙන් නිරතුරුව අවධාරණය කරන රජයකින් අපේක්ෂා නොකළහැකි තත්ත්වයකි. එබැවින් මෙම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ  වගකීමක් නොවේද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *