රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ සභාපතිවරයාට හිමි වැටුප විශාල ප්‍රතිශතයකින් වැඩි කර ගෙන ඇති බවට පළවූ පුවත් පත් වාර්තා කීපයක් හා සමාජ ක්‍රියාකාරීන් කීප දෙනෙකු විසින් ඒ සම්බන්ධයෙන් සිදුකළ චෝදනාද පදනම් කර ගනිමිනි. නමුත් එම පුවත සාවද්‍ය බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව අදාළ මාධ්‍ය වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් අවස්ථා 04කදී ලබාගත් විවිධ තොරතුරු අනුව අනාවරණය වූයේ අදාළ සභාපතිවරයා ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති ලෙස කටයුතු කරන අතර, පළමු තනතුර සඳහා රුපියල් ලක්ෂ පහකට ආසන්නව පැවති වැටුප රුපියල් 6,25,000.00 දක්වා වැටුප වැඩි වී ඇත්තේ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති වරයා වශයෙන් කටයුතු කිරීමට අදාළව බවයි.
එමෙන්ම අදාළ සභාපතිවරයා විසින් පත්වීම් ලැබූ දින සිට මාස දෙකක පමණ කාලයක් එනම් දෙසැම්බර් 12 දක්වා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේන් (CPC) මෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම (CPSTL) යන ආයතන දෙක මගින්ම වැටුප් ලබාගෙන තිබේ. පසුව 2024.12.12 දිනැති ලිපියක් මගින් සභාපතිවරයා දන්වා ඇත්තේ CPCහි සභාපති ධුරය සඳහා එමගින් වැටුප් ලබා ගැනීමෙන් වැළකී සිටීමටත්, CPSTLහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරන ලද, වැටුප පමණක් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.
වැටුප් වැඩිවූ හැටි
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේන් (CPC) සභාපතිවරුන් වනුවෙන් වැටුප් හෝ දීමනා ලෙස මාසිකව ලබාදී තිබෙන මුදල් සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ 2017 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් 12 දක්වා වූ සභාපතිවරුන්ට මාසිකව 125,000 සිට අඩු වැඩි වශයෙන් රුපියල් 50,000 දක්වා මුදලක් ලබාදී ඇති බවයි, ඊට අමතරව දුරකථන බිල් මෙන්ම ඉන්ධනද ලබාදීම සිදු කර තිබේ. කෙසේ නමුත් 2017,05.31 දින සිට 2018.10.26 දින දක්වා CPC සභාපති ලෙස කටයුතු කරනු ලැබූ ධම්මික රණතුංග මහතා තමාට CPC මගින් හිමි වූ මාසික දීමනාව ලබාගෙන නොමැති බව CPC වෙතින් 2025.01.09 දිනැතිව HR/E/25/080 ලිපිය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.
එමෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේද (CPSTL) සභාපතිවරුන් ලෙස කටයුතු කර ඇත්තේ CPC සභාපති ලෙස කටයුතු කරන ලද සභාපතිවරුන්ම වන අතර වර්තමානයේද එසේම පවතී. ඒ අනුව CPSTL සභාපතිවරුන් වෙනුවෙන් මාසිකව ලබාදුන් වැටුප හෝ දීමනාව රුපියල් ලක්ෂ පහේ සිට අඩු වැඩි වශයෙන් ගෙවා ඇති අතර අවසාන වසයෙන් 2023 10.03 සිට 2024.09.25 දක්වා කාලය තුලදී CPSTLහි සභාපති ලෙස කටයුතු කරන ලද සාලිය වික්‍රමසූරිය මහතාට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ පහක මුදලක් පමණි. එමෙන්ම CPC සභාපති ලෙස ඔහු තම තනතුර වෙනුවෙන් මාසිකව රුපියල් 41,666.67ක මුදලක සිට රුපියල් ලක්ෂයක් දක්වා දීමනාවක් ලබාගෙන තිබේ. ඒ අනුව දළ වශයෙන් ඔහු CPC සභාපති ලෙස ලබාගත් වැඩිම දීමනා මුදල් වූ රුපියල් ලක්ෂයක මුදල මෙන්ම CPSTL සභාපති ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 5 ක මුදල එකතු කරනු ලැබුවත් එහි එකතුව රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලකි.
නව සභාපතිගේ වැටුප වැඩි වූ අයුරු
ඒ අනුව මෙම තොරතුරු මගින් තහවුරු වන කාරණාවක් වන්නේ නව රජය යටතේ පත්වූ නව සභාපතිවරයා CPC සභාපති ලෙස ලබාදෙන දීමනාව හෝ වැටුප ලබාගැනීම ප්‍රතික්ෂ කර ඇතත්, CPSTL සභාපති ලෙස ඔහුගේ වැටුප හෝ දීමනාව රුපියල් 625,000, ලෙස වැඩි වීම තුළ පෙර සිටි සභාපතිවරුන් ආයතන දෙක මගින්ම ලබාගත් වැටුප හෝ දීමනාවට වඩා වැඩි මුදලක් CPSTL සභාපති ලෙස වර්තමාන සභාපතිවරයා ලබා ගන්නා බවයි. නමුත් CPSTL මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් පෙන්වා දෙන්නේ එම වැටුප් වැඩි වීම, 2024.08.01 දින සිට බල පැවැත්වෙන පරිදි CPC / CPSTL සේවකයින්ට ලබාදී ඇති වැටුප් වැඩිවීම ගණනය කිරීම අනුව සිදු කර ඇති බවයි.
කෙසේ නමුත් ඊට අමතරව CPC සභාපති ලෙස ඔහු වෙනුවෙන් සංස්ථාවේ ස්වයං භාවිත ඉන්ධන වැය ශීර්ෂය යටතේ රුපියල් 50,000ක පමණ ඉන්ධන ලබාදෙන බව අදාළ තොරතුරුවල සඳහන් වේ. ඒ අනුව 2024දෙසැම්බර් මස ඉන්ධන ලීටර් 170.3ක්, 2025 ජනවාරි මස ඉන්ධන ලීටර් 198ක් මෙන්ම 2025 පෙබරවාරි 25 දක්වා ඉන්ධන ලීටර් 136.8ක්ද CPC සභාපතිගේ නිල රථය සඳහා ලබා දී තිබේ. ඊට අමතරව රුපියල් 6000ක දුරකථන දීමනාවක් මෙන්ම සිලින්ඩර් ධාරිතාව 2494ක් වූ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් කැම්රි වර්ගයේ මෝටර් රථයක් මෙන්ම රියදුරෙකුද ලබා දී තිබේ. එමෙන්ම CPSTL සභාපති ලෙස ඔහුට ආසන්න වශයෙන් රුපියල් 7880.12ක පමණ දුරකථන දීමනාවක්ද ලබාදී තිබේ. මෙම පහසුකම් පෙර සිටි සභාපතිවරුන්ටද අඩු වැඩි වශයෙන් ලබා දී තිබේන බවද පෙන්වා දිය යුත්තකි.
මේ අනුව පැහැදිලි වන්නේ වියදම් අවම කරගනිමින් මහජන මුදල් ඉතිරි කිරීමට කටයුතු කරන බවට හා ඉහළ තනතුරුවලට සුපිරි වරප්‍රසාද ලබා දීමේ ක්‍රමය වෙනස් කර තිබෙන බවට බොහෝ අවස්ථාවල ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කරනු ලැබුවත් බොහෝ රාජ්‍ය ආයතනවල පවතින පැරණි ක්‍රමවේදයන් වෙනස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි. CPC /CPSTL ආයතනවලට අදාළ මෙම සිදුවීම, එකී තත්ත්වය පිළිබඳ කදිම නිදර්ශනයකි. මේවා ගැන ක්ෂමාලාප නිවේදන නිකුත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් බවට පත්ව තිබේනම් එය දෛවයේ සරදමකි!