– මෙහොමඩ් ආසික්
2019 වසරේ සිට 2021 වසර දක්වා ලොව පුරා පැතිරී ගිය කොවිඩ් 19 වසංගතය ලෝකයම උඩුයටිකුරු කරන්නට සමත් වූ බව නොරහසකි. ලෝකයේ දියුණුම රටවල් මෙන්ම දිළිඳු රටවල්ද එයින් එක සේ පීඩාවට පත් විය. පෙර අත්දැකීම් නොතිබූ නිරෝධායනය, නිරෝධායන ඇඳිරි නීතිය, සංචරණ සීමා වැනි තත්ත්වයන්ට හුරු වන්නට ලෝකයේ ජනතාවට සිදු විය.
2019 දෙසැම්බර් මාසයේදී චීනයෙන් හඳුනා ගත් මුල්ම කොවිඩ් ආසාදිත කොරෝනා රෝගියාගෙන් පටන් ගෙන 2024 අප්‍රේල් මාසයේ 13 වන දින දක්වා ලෝකය පුරා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව වර්ල්ඩ් මීටර් වෙබ් අඩවිය පවසන ආකාරයට 704,753,890ක් (ආසන්න වශයෙන් මිලියන 700ක්) ලෙස වාර්තා වී ඇති අතර එම කාලය තුල ලෝකය පුරා වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 7,010,681ක් (ආසන්න වශයෙන් මිලියන 7ක්) වෙයි. මෙම දත්ත අනුව සමස්ත ආසාදිතයින්ගෙන් සියයට එකකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව පෙන්නුම් කරයි. ආසාදිත රෝගීන් 675,619,811ක් (ආසන්න වශයෙන් මිලියන 675ක්) සුවය ලබා ඇති බවත් එම දත්තවල සඳහන් වෙයි.
මෙම ජගත් තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට අනුව 2024 .11.30 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 672,812ක් වන අතර, වාර්තා වී ඇති මරණ ගණන 16,907කි. ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන රෝගීන්ගෙන් සියයට 2.5කි. ජාත්‍යන්තර දත්ත අනුව බැලීමේදී මෙය පැසසිය යුතු පාලනයක් වුවද තරමක ඉහළ අගයකි.
දේශපාලන වෛරසය
කොවිඩ් 19 වෛරසය මර්දනයට මුලින් රජය ගත් උත්සාහයන් ප්‍රශස්ත මට්ටමේ තිබිණ. එසේ වුවත් පසු කාලීනව කොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලනමය හේතු මත ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා වෛරසය මර්දනයට ගත් උත්සාහයන් කැපවීම් සියල්ල යටපත් කරන්නට සමත්ව තිබේ. ලෝකයේ කිසිදු රටක් නොකළ, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනිවාර්ය නොකළ කොවිඩ් මරණ අනිවාර්ය ආදාහනය කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය මුළුමනින්ම දේශපාලන තීරණයක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. අද වන විටත් එම බලහත්කාරී ආදාහනයේ කම්පනයන් මැකී ගොස් නොමැත.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළෙමු. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් ලබා දී ඇති තොරතුරු මත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනර්ල්ඩ් මහතාගේ අත්සනින් යුතුව පිළිතුරු ලබා දී තිබේ. එහෙත් එම තොරතුරුවලින්, කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු සියල්ල මඟ හැර තිබේ.
ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති මුළු කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 16,817ක් බව සඳහන් වෙයි. (වෙබ් අඩවියේ සඳහන් මරණ සංඛ්‍යාව සහ මෙම ගණන අතර මරණ 90ක වෙනසක් පවතී) ලබා දී ඇති දත්ත අනුව දිස්ත්‍රික්ක අනුව වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මෙසේය:
කොළඹ 3335, ගම්පහ 3136, කළුතර 1543, මහනුවර 835, මාතලේ 288, නුවරඑළිය 329, ගාල්ල 895, මාතර 404, හම්බන්තොට 237, යාපනය 386, මන්නාරම 31, මුලතිව් 44, වව්නියාව 154, කිලිනොච්චිය 71, අම්පාර 159, මඩකලපුව 248, ත්‍රිකුණාමලය 228, කල්මුණේ 112, කුරුණෑගල 1065, පුත්තලම 383, අනුරාධපුරය 469, පොළොන්නරව 258, බදුල්ල 505, මොණරාගල 243, කෑගල්ල 558 සහ රත්නපුරය 895ක් වශයෙනි.
ඒඅතර පිරිමි පුද්ගල මරණ 7,341ක් සහ කාන්තා පුද්ගල මරණ 9,476ක් වාර්තා වී ඇති බවත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 12,515ක් සහ 60ට අඩු පුද්ගලයින්ගේ මරණ 4,302ක්ද වශයෙන් වාර්තා වී ඇති බවත් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.
තොරතුරුත් ආදාහනය කළාද?
තොරතුරු දැන ගැනීමේ පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමේ වැදගත්ම ප්‍රශ්න වූයේ, මෙම මරණවලින් මෘත දේහ කීයක් භූමදානය කරන ලද්දේද? එම සංඛ්‍යා දිස්ත්‍රික් මට්ටමින් කොපමණද? කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියයෑම නිසා ආදාහනය කරනු ලැබූ මෘත දේහ ප්‍රමාණය ජාතින් අනුව කොපමණද? කොවිඩ් මරණ ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිර්දේශය ලබා දුන් කමිටුව කුමක්ද? එහි සාමාජිකයින් කවුද යන්නයි. නමුත් මෙම ප්‍රශ්නවලට අදාළව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහතාගේ අත්සනින් එවා ඇති තොරතුරුවල සඳහන්ව ඇත්තේ “ඉහත සඳහන් ප්‍රශ්නවලට අදාළ තොරතුරු මෙම ආයතනයේ නොමැති බව දන්වා සිටිමි” යන්නයි. මෙම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති නම් ඇත්තේ කොහේද යන්න සොයා බැලීම වටී. ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බරපතල සෞඛ්‍ය ගැටලුවකට අදාළ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැතැයි කීම පිළිගත හැකිද?
ආගමික විශ්වාසයන් මත මුස්ලිම් ජනතාවට ආදාහනය තහනම් දෙයකි. ඒ වගේම ක්‍රිස්තියානි ජනතාවද ආදාහනය සිදු නොකරයි. ඒ නිසාම ආගමික විශ්වාසයන්ට ගරු කරමින් සහ සෞඛ්‍යමය තත්වයන් සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කළේ නැත. නමුත් ශ්‍රී ලංකාවේ එවක පැවැති රජය මුළුමනින්ම දේශපාලන හේතු මත මෙම තීරණය ගනු ලැබුවේ මුස්ලිම් ජතාවගෙන් පළි ගැනීමට බව අදත් මුස්ලිම් ජනතාව තුළ පවතින මතයයි. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ 2019 දී බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට මුස්ලිම් ජනතාවගේ සහාය ප්‍රමාණවත් ලෙස නොලැබීම බවත් ඔවුහු සඳහන් කරති. කෙසේ නමුත් පසුගිය රජයෙන් සිදු වූ අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා මුස්ලිම් ජනතාවද වැඩි වශයෙන් ඡන්දය ලබා දී නව රජයක් බලයට පත් කර තිබේ. මෙම රජයෙන්වත් මේ බලහත්කාරී ආදාහනයට සාධාරණයක් ඉටු කළ යුතු බව මෙරට මුස්ලිම් ජනතාවගේ මතයයි. ඒ සඳහා ඔවුහු මේ වන විටත් සටන් කරමින් සිටිති. එසේ වුවත් වත්මන් රජය යටතේත් සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු පනතින් කළ ඉල්ලීමකට පවා එම තොරතුර නොමැති බව ප්‍රකාශ කිරීම තුලින් පෙනෙන්නේ මේ ගැටලුව විසඳීමට වර්තමාන රජයටවත් වුවමනාවක් නොමැති බවද?