කොවිඞ් වසංගතයේ පැතිරයාමත් සමග කවරදාටත් වඩා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීමෙහි ලා සමස්ත ලෝකවාසීන්ගේ අවධානය යොමුව තිබේ. ඒ අතුරින් මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව තම දෑත් පිරිසිඳුව තබාගැනීම කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් ජනතාව කටයුතු කරනු දක්නට ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් හමුවීමත් සමග සියලුදෙනාම පාහේ අනිසි ලෙස කලබලයට පත් ව මුඛ ආවරණ සහ දෑත් පිරිසිඳුකාරක (Hand Sanitizer) මිල දී ගැනීමටත් නිවෙස් තුළ ගබඩා කර තබාගැනීමටත් පෙළඹුණු කාලසීමාවක් පැවතිණි. අදාළ නිෂ්පාදන සඳහා එකී කාලසීමාව තුළ අධි ඉල්ලුමක් පැවතියේ වෙළඳපළ කලු කඩ තත්ත්වයක් ද ඇති කරමිනි.
එහෙයින් නිවසේදී ම දෑත් පිරිසිඳුකාරක නිපදවා ගැනීමට ජනතාව උනන්දු කරවනු ලැබිණි. පවත්නා අධි ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළඳපල වෙත මුදාහැරිය යුතු නිසාත්, කාලීන වශයෙන් එම ද්‍රව්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් වූ නිසාත්, පවත්නා නිෂ්පාදන ආයතන වලට අමතරව තවත් නව නිෂ්පාදකයින් අදාළ ද්‍රව්‍ය නිපැයීමටත් වෙළඳපලට ප්‍රවේශ වීමට අවකාශ සකස් කරගන්නා ලදී. ඒ අනුව බොහෝ දුරට සුළු පරිමාණ නිෂ්පාදන ආයතනයන් බිහි වීම හා ගෘහාශ්‍රිතව මුහුණු ආවරණ හා දෑත් පිරිසිඳුකාරක නිපදවීමට පිරිස් යොමු විය. මේ අතරින් දෑත් පිරිසිඳුකාරක සම්බන්ධ තත්ත්වය විශේෂිත ය.
එසේ සුළු පරිමාණ වශයෙන් ගෘහාශ්‍රිතව කරනු ලැබූ නිෂ්පාදනයන් මගින් වෙළඳපලෙහි පැවති ඉල්ලුම සමනය කිරීමට හැකි වුවත් ඒවාහි තත්ත්වය, ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ ගැටලු පැනනගින්නට විය. එහෙයින් සමට හා සෞඛ්‍යයට හිතකර දෑත් පිරිසිඳුකාරක තෝරා ගැනීමේ දී සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳ ගැටලු උද්ගත වන්නට විය. ඒ අනුව අප අදාළ කරුණු සොයාබැලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය වෙතින් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් තොරතුරු ඉල්ලීමක් කරන ලදී.
ඒ අනුව දෑත් පිරිසිඳුකාරක දියර නිපදවීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව දන්වා එවන ලදී. එනම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව දෑත් පිරීසිඳුකාරක නිපදවීම සඳහා විශේෂ විධි විධාන, උපදෙස් හෝ නිර්දේශ කිසිවක් නිකුත් කර නොමැති බවත් එම පනතෙහි ම 12 (1) වගන්තිය යටතේ දෑත් පිරිසිඳුකාරක සඳහා ප්‍රමිතීන් හෝ පිරිවිතරයන් අනිවාර්ය කර නොමැති බවත්, අදාළ නිෂ්පාදන ආයතනයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි ලියාපදිංචි කිරීමක් සිදු කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් පැහැදිලිව දක්වා ඇත.
එහෙයින් දෑත් පිරිසිඳුකාරක නිෂ්පාදනය ලියාපදිංචි කිරීමක් හෝ යම් ආකාරයකින් නියාමනයකට ලක් කරන්නේ ද යන බව සෙයාබැලීම සඳහා දුරකථනය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි තොරතුරු නිලධාරී සම්බන්ධ කර ගැණුනි. එහි දී ඔවුන් තම ආයතනය යටතේ දෑත් පිරිසඳුකාරක නිෂ්පාදනය හා ආනයනය කිරීමේදී යම් යම් කරුණු සළකා බලා එය නියාමනයට ලක් කරන බවත්, එය ආයතනයෙහි නිල වෙබ් අඩවියෙහි ‘ලියාපදිංචි කළ විලේපන’ කාණ්ඩය යටතේ දක්වා ඇති බවත් පෙන්වා දෙන ලදී. එහි දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි දෑත් පිරිසිඳුකාරක සන්නාම 22ක් විස්තරාත්මකව සඳහන් කොට ඇත.
දෑත් පිරිසඳුකාරක සහ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයන්ගේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ප්‍රමිතීන් පිළිබඳ පිරික්සීමක් ද තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයෙන් සිදු කරන ලදී. එම ආයතනය විසින් දෑත් පිරිසිඳුකාරක සඳහා ‘(මධ්‍යසාර පදනම් වූ) අත් සනීපාරක්‍ෂක’ යන ප්‍රමිති කාණ්ඩය යටතේ ISO 1657:2020 යන ප්‍රමිතිය ලබා දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර ඇති Guide To Local Production – WHO Recommended Handrub Formulation 2010 හි වර්ගීකරණයට අනුව මෙම නිෂ්පාදන ‘දියර’ ගණයට අයත් වන අතර ඒවා නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයන්හි ප්‍රමිතීන් නිර්ණය කිරීමේ දී ඉහත ලේඛනයෙහි නිර්දේශිත අමුද්‍රව්‍ය සහ ශ්‍රී ලංකා ප්‍රමිති 457:2017 I කොටසෙහි විලේපන වර්ගීකරණය යටතේ එන සීමාවන්ට යටත් කරන ලද ද්‍රව්‍ය සහ අනුමත වර්ණක, කල් තබාගැනීමේ ද්‍රව්‍ය සහ පාරජම්බුල පෙරහන්කාරක (UV Filters) ද්‍රව්‍යයන්ට අදාළ ප්‍රමිති පිරිවිතරයන් සළකා බලා තිබේ.
WHO Guidelines in Hand Hygiene in Healthcare යන ප්‍රකාශනයෙහි සඳහන් කර ඇති පරිදි දෑත් පිරිසිඳුකාරකයක අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය 60්% – 80්% ත් අතර පවතී නම් එය ඵලදායී බවින් ඉහළ වේ. මධ්‍යසාර, ජලයට සාපේක්‍ෂව පූර්ණ වශයෙන් පිරිසිඳුකරණයක් සිදු නොකළ ද එතනෝල් සහ අයිසොප්‍රොපයිල් මධ්‍යසාර සම මතුපිට ඇති බැක්ටීරියා වර්ග වල ජෛව්‍යය භාවය අවම කරයි. දෑත් පිරිසිඳුකාරක නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් එතනෝල් (Ethanol), අයිසොප්‍රොපයිල් (Isopropyl), ග්ලිසරෝල් (Glycerol) හයිඩ්‍රජන් පැරොක්සයිඞ් (Hydrogen Peroxide) යන සංඝටක යොදාගන්නා අතර ඒවා වඩා සඵල ලෙස සංයෝජනය කරගත හැකි ආකාරයෙහි පරිමාණයන් පහත වගුව මගින් පෙන්වා දිය හැක.
මෙහි දී විශේෂ වශයෙන් ම අවධානය යොමු කළ යුතු කරුණක් නම්, දෑත් පිරිසිඳුකාරක නිෂ්පාදනය සඳහා එතනෝල් වෙනුවට මෙතනෝල් (Methanol) යොදාගැනීමයි. මෙම සංයෝග දෙක ම සාපේක්‍ෂව සමාන ගති ලක්‍ෂණ හා ප්‍රතික්‍රියාවන් දක්වන හෙයින් මෙකී සංයෝගයන් පිළිබඳ නිසි දැනුමක් හෝ අත්දැකීමක් නොමැති නිෂ්පාදකයින් විසින් දෑත් පිරිසිඳුකාරක නිපදවීමේ දී එම සංයෝග පටලවා ගැනීමයි. මෙය බොහෝ දුරට සිදු වීමට අවකාශ ඇත්තේ සුළු පරිමාණ හෝ ගෘහාශ්‍රිත නිෂ්පාදන ආයතනයන් හි දී ය. මෙතනෝල් මධ්‍යසාර මිනිසාට විෂ සහිත වන අතර එය සම හරහා ශරීර අභ්‍යන්තරයට ගමන් කිරීම තුළින් ඉතා අහිතකර ප්‍රතිඵල අත් විය හැකි ය. එහෙයින් දෑත් පිරිසිඳුකාරකයක් මිලට ගැනීමේ දී අවශ්‍යයෙන් ම එහි සංයුතිය පරීක්‍ෂා කර බැලීම නුවණට හුරු ය.
කෙසේ වෙතත් දෑත් පිරිසිඳුකාරකයක් මිලට ගෙන භාවිතා කිරීමේ දී ඉහත දක්වා ඇති සටහනෙහි සඳහන් වන සංයෝජන පරිමාණයන් සහිත නිෂ්පාදනයක් තෝරා ගැනීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව පැහැදිලි වනු ඇති. නැතහොත් අප සෞඛ්‍යාරක්‍ෂාව පිණිස භාවිත කරනු ලබන දෙයින් ම අපගේ සෞඛයයට තර්ජනයක් එල්ල විය හැකි ය. ජලය නොමැති ම අවස්ථාවක බැක්ටීරියා සහ විෂබීජයන්ගෙන් යම් ආකාරයක ආරක්‍ෂාවක් ලබාගන්නට අදහස් කරන්නේ නම් මිස, හැකි සෑම අවස්ථාවක ම සබන් සහ ජලය යොදාගෙන දෑත් පිරිසිඳු කරගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය බලධාරීන් පුන පුනා ඉල්ලා සිටිනුයේ එහෙයිනි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත පරිශීලනය කිරීම සඳහා සබැඳිය : http://www.caa.gov.lk/web/images/Act/CAA_Act_S.pdf
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි දෑත් පිරිසිඳුකාරක සන්නාම පරිශීලනය කිරීම සඳහා සබැඳිය : https://nmra.gov.lk/index.php?option=com_cosmetics&view=cosmetics&Itemid=242&lang=en#