පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

By In

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus A330-200 Wde-body) (4R-ALT) ගුවන් යානය පිළිබඳ තොරතුරු ලබාදීම  ‘වාණිජ රහසක්’ ලෙස හඳුන්වමින්, අදාළ තොරතුරු ඉල්ලීම ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඒ 2025 ජුනි 30 දිනැති, ලියාපදිංචි අංක 286 දරන ලිපිය මගිනි. මෙම තොරතුරු හෙළිදරව් නොකිරීම, මහජන මුදල් භාවිතයේ විනිවිදභාවය සහ වගකීම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව තීරණාත්මක කාල පරිච්ඡේදයක, මෙවැනි රහස්‍ය ගනුදෙනු පිළිබඳව පැන නගින සැක සංකා මඟින්, රාජ්‍ය ආයතනවල විනිවිදභාවය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය තවදුරටත් ඛාදනය වීමේ අවදානමක් ඇති වීම නොවැළැක්විය හැකි දෙයකි.

ඉල්ලීම සහ පිළිතුර

ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2025 ජුනි 6 වන දින තොරතුරු ඉල්ලීමක් යොමු කරන ලද අතර, එම ඉල්ලීම මඟින් නවතම එයාර්බස් A330-200 ගුවන් යානය සම්බන්ධයෙන් ප්‍රශ්න අංක හයක් යටතේ තොරතුරු ඉල්ලා තිබිණි. එහිදී  මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම, ගුවන් යානය ලබා ගත් රට සහ ආයතනය, නිෂ්පාදිත වර්ෂය සහ සමාගම සහ කල්බදු පදනම මත ගෙවන වාරික මුදල් පිළිබඳ තොරතුරු එම ප්‍රධාන ඉල්ලීම් අතර විය. මීට අමතරව 2023 සිට 2025 ජුනි 6 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම් සහ වියදම් පිළිබඳ වාර්ෂික තොරතුරු ඉල්ලීම් ද ඒ අතර වේ.

 ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 25(1) වගන්තිය ප්‍රකාරව ලබා දුන් පිළිතුර අනුව, ඔවුන් අදාළ ගුවන් යානය මිලදී ගෙන නොමැති බවත්, එය වසර 8ක කල්බදු (leasing) පදනම මත ලබා ගත් ගුවන් යානයක් බවත් සනාථ වී ඇති අතර ගුවන් යානය 2011 වසරේදී එයාර්බස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති බව ද එම පිළිතුරේ සඳහන් විය.

කෙසේ වෙතත්, මෙම ගනුදෙනුවේ වඩාත් තීරණාත්මක තොරතුරු වන අදාළ ගුවන් යානය වෙනුවෙන්  ගෙවිය යුතු  මාසික සහ වාර්ෂික වාරික ගෙවීම් මුදල කොපමණද යන්න  පිළිබඳ තොරතුරු ලබාදීම ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ, මෙම තොරතුරු ‘වාණිජ රහස්’ වන අතර, එය හෙළිකිරීමෙන් ගිවිසුම්කරුවන්ගේ තරඟකාරී තත්ත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි. මෙම ප්‍රතික්ෂේප කිරීම සඳහා පදනම් කරගෙන ඇත්තේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (ඈ) වගන්තියයි.

මහජන මුදල් සහ රහස්‍යභාවය

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය සන්තක ආයතනයක් වන අතර, එහි සියලුම ගනුදෙනු අවසානයේදී මහජන මුදල් හා සම්බන්ධ වේ. විශේෂයෙන්ම, වසර ගණනාවක් තිස්සේ පාඩු ලබන ආයතනයක් ලෙස, එහි සෑම ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුක්ත විය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ, නව ගුවන් යානයක් කල්බදු පදනම මත ලබා ගැනීමේ ගිවිසුමේ වාරික මුදල් ‘වාණිජ රහසක්’ ලෙස සලකා එය මහජනයාගෙන් වසන් කිරීම, බරපතළ ප්‍රශ්න රැසක් මතු කරයි.

2011 වසරේ නිෂ්පාදිත ගුවන් යානයක් වසර 8ක් වැනි දීර්ඝ කාලයක් සඳහා කල්බදු පදනම මත ලබා ගැනීම, සහ ඊට අදාළ මාසික වාරික මුදල කොපමණද යන්න පිළිබඳ තොරතුරු ලබා නොදීම ගනුදෙනුවේ සාධාරණත්වය සහ වාණිජමය වශයෙන් එහි ලාභදායිත්වය පිළිබඳව සැක මතු කරයි. මෙම ගනුදෙනුව සඳහා වැය වන මුදල, දැනටමත් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වයට තවත් බරක් වේද? යන්න මෙරට බදු ගෙවන පුරවැසියන්ට පැහැදිලිව දැනගැනීමේ අයිතියද මේ තුළින් ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම අහුරා තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (ඈ) වගන්තිය, වාණිජ රහස් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපාදන සපයන නමුත් රාජ්‍ය ආයතනයක ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහජන මුදල් වැය වන විට, එම වගන්තිය අදාළ කර ගත හැකි සීමා පිළිබඳව තවදුරටත් විවාද කළ යුතුව තිබේ. එමෙන්ම තොරතුරු පනතේ 5(4) වගන්තිය මගින්ද පොදු යහපත යන කාරණා සම්බන්ධයෙන් දැඩි සේ අවධාරණයට ලක් කර තිබේ. විශේෂයෙන්ම, මහජනතාවට අදාළ තොරතුරු දැනගැනීමේ අයිතිය, වාණිජ රහස්වලට වඩා ඉහළින් තැබිය යුතු අවස්ථා ඇති බව පෙන්වා දිය යුතු වේ.

තොරතුරු වසන් කිරීමේ උත්සාහයක්?

මෙම තොරතුරු ඉල්ලීමේදී, 2023 සිට 2025 ජුනි 6 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාර්ෂික ආදායම්-වියදම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද ඉල්ලා තිබිණි. නමුත් ඊට පිළිතුරු ලෙස, ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ, අදාළ වාර්ෂික වාර්තා ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති බවයි. www.srilankan.com/en_uk/plan-and-book/right-to-information මෙමගින්, තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයාට තමන්ට අවශ්‍ය නිශ්චිත තොරතුරු ලබා දීම වෙනුවට, වාර්ෂික වාර්තාවක් පෙන්වා දී ඇත. වාර්ෂික වාර්තාවල සාමාන්‍යයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් අඩංගු වන අතර, ඉල්ලූ නිශ්චිත තොරතුරු සොයා ගැනීම අපහසු විය හැකිය. මෙය සෘජු පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය.

පුළුල් සංවාදයක් අවශ්‍යයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම ගනුදෙනුව ඔස්සේ, රාජ්‍ය ආයතනවල මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය පිළිබඳව පුළුල් විවාදයක් ඇති කළ යුතුය. මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සහ රාජ්‍ය ආයතනවල වගවීම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ක්‍රියා කලාපය පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු බව පෙනී යයි.

 එමෙන්ම මෙම ප්‍රතික්ෂේප කිරීමට එදිරිව අදාළ පොදු අධිකාරියේ නම්කළ නිලධාරියා වෙත                                                  ද 2025.07.03 දිනැතිව  අභියාචනයක් යොමු කරන ලද නමුත් ඒ සදහා ද කිසිදු ප්‍රතිචාරයක් 2025.08.09 දින තෙක් අදාළ පොදු අධිකාරිය දක්වා නොමැත. කෙසේ නමුත් 2025.08.06 දිනැතිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවට මෙම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන අතර එවැනි අභියාචනයකදී කොමිසම විසින් කුමන තීරණයක් ගනීද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වනු ඇත. මෙම සිදුවීම, රාජ්‍ය ආයතනවලට තොරතුරු ලබා දීමට ඇති වගකීම සහ මහජන මුදල් භාවිතයේදී පවත්වාගත යුතු විනිවිදභාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට නව අභියෝගයක් එල්ල කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *