පුවත්

ඉලක්කම් නෙවෙයි මිනිස්සු!!! රිය අනතුරු බරපතළ සමාජ ගැටලුවකි

By In

හර්ෂා සුගතදාස

වෙසක් පුන් පොහෝ දිනයට පෙර දවසේ, එනම් මැයි 11වෙනි ඉරුදින හිමිදිරියේ අප කාටත් අසන්නට ලැබුණේ හද කම්පා කරන පුවතකි. ඒ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදි ලංගම බස්රථයක් අඩි 350ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 22දෙනකු ජීවිතක්ෂයට පත්වූ පුවතයි. කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරෙන මෙම බස්රථය ගමන් ආරම්භ කර තිබෙන්නේ පෙරදා රාත්‍රී 10.00ටය.  අනතුරට පත්වන විට පාන්දර 4.30ට පමණ වූ අතර එය රියදුරු  පැය 6 ½ක්  අඛණ්ඩව ධාවනය කරමින්  පැමිණි වෙහෙසකර ගමනක්  විය හැකිය. අවුරුදු 17ක් මුළුල්ලේ සුක්කානම කරකවමින් චාරිකාවේ යෙදෙන බසයේ  රියදුරුගේ ඇස් තත්පරයකට  පියවුණා විය හැකිය. සමහරවිට වංගු සහිත දුෂ්කර මාර්ගයේ අධික වේගයෙන් ගමන් කළා විය හැකිය. නැතහොත් බසයේ තත්ත්වය අබලන් වීමට පුළුවන. හේතු කාරණා කුමක් වුවද බසයේ ගමන්කළ මගීන් 22 දෙනකුගේ ජීවිත අහිමි වී හමාරය. ඊට පෙර දිනයේ එනම් මැයි 10වැනිදා වැලිමඩ සිට  බණ්ඩාරවෙල දක්වා ගමන් ගත්  පුද්ගලික බස්රථයක් වැලිමඩ ඩයරබා  ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන  ප්‍රපාතයකට වැටීමෙන්  එක් අයකු මියගොස් 20දෙනෙක්  තුවාල ලැබූහ. පොලොන්නරුව – කොළඹ  අතර ධාවනය වන ශාන්ත අන්තෝනි පුද්ගලික  බස් රථ සේවයට අයත්  බස්රථ දෙකක් මින්නේරිය යුධ හමුදා කඳවුරු පරිශ්‍රය ආසන්නයේදි  මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනකු මිය ගොස් 40දෙනකු තුවාල ලැබූවේ මේ මාසය ආරම්භ වූ දා මය. සෑම දිනකම රිය අනතුරු විශාල ගණනක් සිදු වන රටක්  හැටියට ලංකාව ප්‍රසිද්ධ වී තිබේ.

යතුරුපැදි ඉදිරියෙන්ම!

මෙම අනතුරුවලට අනුව  ලංගම සහ පුද්ගලික බස්  වැඩි වශයෙන් අනතුරුවලට ලක්වන බව පෙනුණද ශ්‍රී ලංකා පොලිස් වාර්තාවලට අනුව  ලංකාවේ වැඩි වශයෙන් අනතුරුවලට ලක් වන්නේ මෝටර් සයිකල්ය. ඉන්පසුව ත්‍රිරෝද රථ ය. පොලිස් වාර්තාවලට අනුව අනතුරට පත්වන වාහන වර්ගය අනුව රිය අනතුරු මෙලෙස බෙදා දැක්විය හැකිය.

වාහනය කුමක් වුවත් අනතුරට පත්වීමෙන් අනතුරුව මිය යන්නේ මිනිසුන්ය. මිය යන අය සමහරවිට බස් මගීහු  හෝ වාහනයේ ගමන් කළ අය වෙති. නැතහොත් රියදුරෝ වෙති. තවත් අවස්ථාවක ජීවිතක්ෂයට පත්වෙන්නේ මහමඟ ගමන් කරන පදිකයෝ ය. එහෙත් මෝටර් සයිකල්අනතුරු බහුල නිසා වැඩිපුරම මිය ගොස් තිබෙන්නේ යතුරුපැදිකරුවන් ය. ඊට පසුව මගීන් සහ පදිකයන්ය.  එය මතු  දැක්වෙන ලේඛනයෙන් අපට සනාථ වේ.

මේවා හුදු ඉලක්කම් නොවේ. මේ හැම ඉලක්කමකින්ම නියෝජනය වන්නේ මනුෂ්‍ය ජීවිතයකි. රිය අනතුරු නිසා මරණයට පත්වන අය මගීන් හෝ පදිකයින් හෝ රියදුරන් වුවද ඒ මියගොස් තිබෙන්නේ අම්මා කෙනකුගේත්  තාත්තා කෙනකුගේත්  දරුවෙකි. ඇතැම්විට ඒ මව්පියන් රැකබලා ගන්නා එකම දරුවා විය හැකිය. සමහරවිට රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයා විවාහකයෙකු නම් බිරිඳ සහ දරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්වන්නේ නිරායාසයෙනි. නුදුරේදී සිදු වූ කොත්මලේ ගැරඬි ඇල්ල රිය අනතුරේ ඉතාමත් සංවේදි දර්ශනය වූයේ මවක් කොඳු ප්‍රදේශය බසයට යටවී තිබියදීත් නව මසක් වයසැති බිලිඳාගේ හිසට අත තබාගෙන සිය දරුවා ආරක්ෂා කරගන්නා. සිද්ධියයි.  එහෙත් අවාසනාවන්ත අයුරින් එකී මව ජීවිතය හැර ගියේ සිය පුතුගේ ජීවිතය බේරා ගනිමිනි. මෙම බස් අනතුරින් බිලිඳාගේ පියාද මරණයට පත් විය. මවත් පියාත් අහිමි වූ නව මසැති දරුවා  රැකබලා ගනිමින් පෝෂණය කිරීමට ඥාතීන් හට හැකියාවක් ඇතිදැයි අපි නොදනිමු.මෙම දරුවාගේ අනාගතය ගොඩනැඟෙන්නේ මාරක රිය අනතුරකින් මවත් පියාත් අහිමිවූ දරුවකු ලෙසිනි.  

යාපනයේ සංචාරය කර ආපසු එන අතරවාරයේදි  කුරුණෑගල අධිවේගී මාර්ගයේ මීරීගම ආසන්නයේ වෑන්රියක් ලොරියක පිටුපස ගැටීමෙන් කැලණිය සරසවියේ මහාචාර්යවරයකුත්  ඔහුගේ බිරිඳ සහ සොහොයුරකු මරණයට පත් වූයේ මුළු රටම කම්පා කරමිනි. එම අනතුර බොහෝදෙනකුගේ සිත්සතන්  සසල  කළේ වයස අවුරුදු 2ක් වූ තුන් නිවුන් දරුවන් මෙලොව තනි වූ නිසාය. කිසිම දිනක අම්මා සහ තාත්තා ගැන මතකයට නංවා ගත නොහැකි  එම තුන් නිවුන් දරුවන්ගේ අනාගතය විසඳෙන ආකාරය දන්නේ දෙවියන්ම පමණි. මේ ආකාරයට රිය අනතුරු හේතුවෙන් මගින් මියගිය අයගේ පමණක් නොව ජීවත්වන අයගේද ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරයි.

වසර 7කදී 18,000ක්!

රිය අනතුරු හේතුවෙන් ලංකාවේ දවසකට මරණයට පත්වන සංඛ්‍යාව  8කි. පොලිස් වාර්තාවන්ට අනුව වසර 7කදි  රිය අනතුරු නිසා මරණයට පත් වූ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහතින් දක්වා ඇත. එයින් අපේ රටේ රිය අනතුරු හේතුවෙන් කොපමණ ජීවිත අහිමි වනවාදැයි ඔබට අවබෝධ වනු ඇත.

දිනපතා මහමඟ සිදුවන රිය අනතුරු නිසා විශාල පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන බවද අප අමතක නොකළ යුතුය. බොහෝ දෙනා කතා කරන්නේ මියගිය අය සහ ඔවුන්ගේ පවුල් ගැන පමණි. නමුත් ආබාධිත තත්ත්වයන්ට පත්වන අය විඳින දුක්වේදනා සුළුපටු නැත. සමහරවිට  සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන්නේ පවුලේ එකම  ආදායම උපයන්නා විය හැකිය.  ඒ පුද්ගලයා බැංකු ණය ගෙන නිවසක් සාදා තිබේ නම් ණය ගෙවාගත නොහැකිව ඔවුන්ට නිවස පවා අහිමි විය හැකිය. පවුලේ ආදායම් තත්ත්වයේ ගැටලු නැතත් සදාකාලික ආබාධිත කෙනකු රැකබලා ගැනීම ලෙහෙසි පහසු නැත. ආබාධිත වූ තැනැත්තාට කවන්න පොවන්න කෙනෙකුගේ සහාය ලබාගැනීමට සිදුවන අවස්ථාද තිබේ. ඇතැම්විට පැම්පර්ස්වලට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. රෝහලට යෑමට වාහනයක් අත්‍යවශ්‍ය වේ. වාහන ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් පවුලේ අයට දරාගැනීමට හැකියාවක් නැති විය හැකිය. නොහික්මුණ රියදුරකුගේ වරදින් නොමැරී මැරෙමින් ජීවත්වන පුද්ගලයන්ගේ ජීවිත ඉතා කනගාටුදායකය.

මාධ්‍යවලට නොඑන අනතුරු

රිය අනතුරු පිළිබඳව ජනමාධ්‍යවලින් වාර්තා කිරීමේදි බොහෝදුරට ප්‍රමුඛත්වයක් හිමිවන්නේ මාරක අනතුරු සහ බරපතළ අනතුරුවලටය. සුළු තුවාල ලබන අනතුරු සහ තාප්පයක් කඩාගෙන යෑම වැනි අලාභහානි සිදුවන අනතුරුවලට වැදගත්කමක් හිමි නොවේ. එහෙත් ජනමාධ්‍යවලින් අනාවරණය නොවෙන පොලිස් පොතේ සටහන් වන රිය අනතුරු අපමණය. පොලිස් වාර්තාවල සඳහන් ආකාරයට වර්ෂ 7ක් මුළුල්ලේ සිදු වූ රිය අනතුරුවල  ස්වාභාවය අනුව මෙසේ  දැක්විය හැකිය.

ආර්ථිකට සිදු වන හානිය

අප මෙතෙක් කතා කළේ රිය අනතුරු නිසා මරණයට පත්වන අයගේ  සහ සදාකාලික ආබාධිත තත්ත්වයන්ට පත් වන අයගේ  පවුල්වලට සිදු කෙරෙන බලපෑම පමණි. එහෙත් එය රටේ ආර්ථිකයට කෙරෙන අහිතකර බලපෑම අවධානය යොමු කළ යුතු වැදගත් කරුණකි. වර්තමානයේ රිය අනතුරුවලින් දිවි අහිමි වන අය පිළිබඳව විමර්ශනය කරන විට වැඩි වශයෙන් මරණයට පත් වන්නේ තරුණ ප්‍රජාව බව මතු දැක්වෙන ලේඛනයෙන් තහවුරු කර ගත හැකිය. 

මේ අනුව රිය අනතුරුවලින් වැඩිපුරම මරණයට පත්වෙන්නේ  වයස අවුරුදු 16 – 65 අතර පසුවන පිරිස බව අපට  සාක්ෂාත් වේ.  මෙම ප්‍රජාව අයත් වන්නේ රටේ ආර්ථිකය පණ ගන්වන ශ්‍රම බලකායටය. රටක ශ්‍රම බලකාය මරණයට පත් වන විට රටේ සංවර්ධනයට උරදෙන පිරිසක් රටට අහිමි වනු ඇත. නව අදහස්, නව වැඩපිළිවෙළ, නව උත්පාදන හඳුන්වා දෙමින් රටක් සංවර්ධනය  කරා ඔසවා තැබෙන ශ්‍රම බලකාය රටකට අහිමි වන විට රටක් ගොඩනඟන්නේ කෙසේද? ආබාධිත, අකර්මණ්‍ය පිරිසකගේ ශුභසාධනය උදෙසා වැඩි පිරිවැයක් දරන්නට සිදුවීමත් රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැත. ඵලදායීතාව උකහාගත හැකි පිරිස අඩු වී ඵලදායීතාව අඩු පිරිසක් පෝෂණය කිරීමට සිදුවීමෙන් ආර්ථික සමබරතාව ගිලිහෙනු ඇත. රටේ සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට රජය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු වන්නේ එබැවිනි.

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *