පුවත්

අඩුවක් නොදකින රටේ  දිළිඳුකම

By In
  • ජූලි මාසයේදී පවුල් ලක්ෂ 14කට රුපියල් කෝටි 1130ක අස්වැසුම දීලා

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව පත් වූ සෑම රජයක්ම දිළිඳුකම පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. 1948 පෙබරවාරි හතර වනදා අපේ රටට   නිදහස ලැබීමත් සමඟ බලයට පැමිණි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජයෙන් පටන් ගෙන මේ දක්වා පත්වූ සෑම රජයක්ම මෙම දිළිඳුකම පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. අඩු ආදායම්ලාභී පවුල්වලට යම් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ආධාර වශයෙන් පිරිනැමීම සඳහා නිකුත් කළ ‘හාල් පොත’ ඒ පිළිබඳ පැරණිම වැඩපිළිවෙළ වන අතර මෙම සහනාධාර ක්‍රම ආණ්ඩු පිහිටුවීමට මෙන්ම බලයෙන් පහ කිරීමටද සමත්වූ බව නොරහසකි.

හාල් පොතේ සිට ජනසවිය දක්වා

දිළිඳුකම පිටුදැකීම යනු සදාකාලිකවම සහනාධාර දීම නොව දිළිඳු පවුල් ආර්ථික වශයෙන් නඟා සිටුවා, ඔවුන් යමක් කමක් ඇති පවුල් බවට පත් කිරීම බව මුලින්ම අවධාරණය කළේ, 1988 ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දුන් ජනසවිය  වැඩසටහනයි. වසර දෙකක් වැනි නිශ්චිත කාලසීමාවක් සඳහා සහනාධාර ලබා දී ඔවුන් එම කාලය තුළ ආදායම් උත්පාදන මාර්ගවලට යොමු කර ගැනීම මගින් පවුලේ ආර්ථික ශක්තිය  ගොඩනැඟීම මෙමගින්  අරමුණු කෙරිණ.

1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි වියෝවත් සමඟ මෙම ව්‍යාපෘතිය අකර්මණ්‍ය වූ නමුත් ඉන් පසුව 1994 දී ජනාධිපති ධූරයට  පත් චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් රජය මෙම ජනසවිය වැඩසටහන වෙනුවට එයට සමාන වූ සමෘද්ධි වැඩසටහන ආරම්භ කළේය. එය මෑතක් වන තුරුම පැවැති අතර පසුගිය රජය සමයේ සිට  එය  අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙයි. අස්වැසුම එයට වඩා පුළුල් පරාසයක් තුළ ක්‍රියාත්මක කිරීම අරමුණු කර තිබේ.

2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2002 සම්මත වූ පනත අනුව 2016 පෙබරවාරි මාසයේ 02 වනදා නිකුත් වූ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම මණ්ඩලය ගැසට් කර තිබේ. නමුත් ඒ යටතේ සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක විම ආරම්භ වන්නේ 2022 වසරේදීය.

වසර 77කට වැඩි කාලයක් විවිධ නම්වලින් සහනාධාර ක්‍රමයන් ක්‍රියාත්මක වුවද සහනාධාර ඉල්ලුම් කරන දිළිඳු පවුල්වල ප්‍රමාණය වැඩි වූවා මිස අඩු වීමක් දක්නට නොලැබෙයි.

අස්වැසුම කොයිබටද?

මෙම සහනාධාර ක්‍රියාවලියේ දැනට ක්‍රියාත්මක අස්වැසුම සහනාධාර ක්‍රමයේ තත්වය කෙබඳුද යන්න සොයා බැලීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ‍ අයිතිවාසිකම් පනත යටතේ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් ලබා ගත් තොරතුරු අනුව 2025 ජූලි මාසයේදී පමණක් අස්වැසුම ප්‍රතිලාභ ලෙස රුපියල් කෝටි 1130කට ආසන්න මුදලක් ගෙවා තිබේ.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ තොරතුරු නිලධාරී සහ සහකාර කොමසාරිස් එම්.ඒ.ඊ. ප්‍රනාන්දු මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2025 ජූලි මාසයේදී පවුල් 1,424,548ක් (දහ හතර ලක්ෂ විසි හතර දහස් පන්සිය හතළිස් අටක්) සඳහා රුපියල් 11,296,461,250ක (රුපියල් එක්දහස් එකසිය විසි නව කෝටි හැට හතර ලක්ෂ හැට එක් දහස් දෙසිය  පනහක) මුදලක්  සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 600,768 දෙනෙකු (හය ලක්ෂ හත්සිය හැට අටක්) සඳහා රුපියල් 3,003,840,000ක් (රුපියල් තුන්සිය කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක්) ද ගෙවා ඇති බව සඳහන් කර තිබේ.

නිදහස ලබා වසර 77කට වඩා  ගත වී ඇතත් තවමත් අප රට දිළිඳුභාවයෙන් ඈත්වී නොමැති බව මෙම දත්තවලින් මනාව පැහැදිලි වෙයි.

ආබාධ සහිත පුරවැසියන්

මෙම ගෙවීම් අතරින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධ සහිත වූවන් මෙන්ම රෝගාබාධවලට ගොදුරු වූවන් සඳහා ගෙවනු ලබන දීමනා සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය, අස්වැසුම සඳහා වැය කෙරෙන මුදලට සාපේක්ෂව අවම එකකි. එහෙත් එවැනි සුබසාධන වැඩපිළිවෙළක් පැවතීම වඩාත් අර්ථවත්ය. නිශ්චිත සංගණනයක් කර  නොමැති වුවත් දළ වශයෙන් විවිධ ආබාධවලට ලක්වූවන් ලක්ෂ 17ක් පමණ සිටින බවට ගණන් බලා ඇත.  එහෙත් ලබා දී ඇති තොරතුරු අනුව ආබාධ සහිත වූවන් 135,825 ක් සඳහා පමණක් මෙම දීමනාව ලබා දී ඇති බව පෙනේ. එය අදාළ දීමනාව ලැබිය යුතු අයගෙන් ඉත සුළු ප්‍රතිශතයකි. එමෙන්ම ඔටිසම් තත්වයේ දරුවන් විශාල පිරිසක් සිටින අතර ඔවුන්ගෙන්ද වැඩි පිරිසකට මෙම දීමනාව නොලැබෙන බව ඔටිසම් දරුවන්ගේ දෙමාපිය සංගමය පවසයි.

2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනතේ මූලික පරමාර්ථය වී ඇත්තේ මෙතෙක් විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කළ සහනාධාර ගෙවිම් විධිමක් ක්‍රමවේදයක් අනුව එක් ස්ථානයකින් ගෙවීමයි. ඒ අනුව තොරතුරු ඉල්ලීමට ලබා දී පිළිතුරු අනුව 2025 ජූලි මාසයේදී පමණක් වකුගඩු රෝගීන් 47,003ක් සඳහා රුපියල් 470,160,000ක මුදලක් ලබා දී තිබේ. ආබාධ සහිත වූවන් සඳහා ගෙවනු ලබන දීමනාව ලෙස පුද්ගලයින් 135,825 දෙනෙකුට රුපියල් 1,359,402,000ක මුදලක්ද ලබා දී තිබේ.  මෙයට අමතරව ආයතනගතව නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් 11,816 ක් සඳහා රුපියල් 23,632,000ක මුදලක්ද ලබා දී තිබේ.

අපේ රටේ පවතින දිළිඳුභාවය සම්බන්ධයෙන් වන කැඩපතක් ලෙස මෙම දත්ත දැක්විය හැකියි. මෙය ක්ෂණිකව මතුවූවක් නොවන අතර ගෙවී ගිය වසර 77 පුරාවට ඔඩු දුවමින් පැමිණි ගමන් මගේ එක් සන්ධිස්ථානයක් පමණි. නව රජය මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් හෙවත් සියලු දෙනා ඇති- හැකි පිරිසක් බවට පත් කරන්නට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු දැකීම ජනතා අපේක්ෂාවයි.

(මොහොමඩ් ආසික්)

පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *