Social, පුවත්

සද්ධන්ත කුලයේ නොනිමි අරගලය

By In
  • හර්ෂා  සුගතදාස

පසුගිය 3දා  හිමිදිරියේ කැකිරාව  වෙරුම්කුලම ගම්වා සින් අවදි වූයේ මහ විලා පයක හඬිනි. ඒ විලාපය නැඟුණේ වෙඩි වැදුණු අලියකුගෙනි (කෙණෙරක්). ගමේ සැරිසරමින් සිටි මෙම  කෙණෙරට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා  ඇති අතර වෙල්‍ යායක වැටී සිටි මෙම කෙණෙරගේ  මරළතෝනිය අසා  සිටින්නට නොහැකි තරම් ය. වේදනා බර  හඬ කෙමෙන් කෙමෙන් වියැකි යද්දී අවසන් සුසුම්පොද වාතලයට මුසු කළ මෙම කෙණෙරගේ මරණය ගම්වාසින් තුළ ඇති කළේ මහත් කම්පනයකි.  එය දෙගුණ තෙගුණ වූයේ කෙණෙරගේ කුසේ අලි පැටවකු සිටින බව පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය වීමයි. ගනේවැල්පොල  වනජීවි නිලධාරින් සඳහන් කළේ මෙම කෙණෙර අවුරුදු 10 – 15 ත් අතර වයසේ පසුවන බවයි.

ඒ අතරේදී අනුරාධපුර තිරප්පනේ උට්ටිමඩුව ප්‍රදේශයේ පදිංචි වී සිටි  හසිත  සඳරුවන් ජයරත්න මිය ගියේ අලි පහර දීමකිනි. 30 හැවිරිදි ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. මේ ආකාරයට අලි පහර දීමෙන් මරණයට පත්වෙන මිනිස්සු සිටිති. එමෙන්ම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මිය යන අලි ඇතුන්ද අපමණය.

උක්ත සිදුවීම පාදක කරගනිමින් තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ අයදුම්පතට එහි තොරතුරු නිලධාරී මංජුල අමරරත්න මහතා එවූ පිළිතුරු ලිපිය ඇසුරෙන් පහත ලිපිය  සකස් කෙරිණි.

අලි- මිනිස් ගැටුම නිසා  මෙතෙක් ඉතිහාසයේ වාර්තා  වූ  ඉහළම පුද්ගල මරණ සංඛ්‍යාවක් සහ ඉහළම වන අලි මරණ සංඛ්‍යාවක් වාර්තා  වූයේ 2022 වර්ෂයේ ය. ඒ පුද්ගල මරණ 145ක් සහ වන අලි මරණ 433ක් වශයෙනි. මෙම පුද්ගල මරණ වලින් 36ක් අනුරාධපුර වනජීවී කලාපයෙන්   වාර්තා  වූ අතර නැගෙනහිර කලාපයෙන් වාර්තා  වූ පුද්ගල මරණ සංඛ්‍යාව 32කි. 26ක් වාර්තා  වුයේ මහවැලි  කලාපයෙනි. වයඹ වනජීවී කලාපයෙන්  පුද්ගල මරණ 15ක් වාර්තා  වූ අතර දකුණු කලාපයෙන් වාර්තා  වූ මරණ ගණන 12කි. වනඅලි මරණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබෙන්නේ මහවැලි වනජීවී කලාපයෙනි. එය 82කි. නැගෙනහිර කලාපයෙන්  අලි මරණ 79ක්ද අනුරාධපුර කලාපයෙන් 76ක්ද වාර්තා  වී  තිබේ. වයඹ කලාපයේ සිදු වූ අලි මරණ ගණන 49කි. දකුණු කලාපයේ සිදු වූ අලි මරණ සංඛ්‍යාව 32කි. මෙම අලි මරණ සිදු වූ ආකාරය සැළකිල්ලට ගැනීමේදී  වෙඩි තැබීමෙන් අලි 58ක් මිය ගොස් තිබේ. හක්ක පටස් හේතුවෙන් අලි මරණ 55ක්ද  විදුලිසර වැදීමෙන් අලි මරණ 47ක්ද සිදු වී තිබේ. වගා  ළිංවලට වැටීමෙන් මරණයට පත් වූ අලි ගණන 18කි. දියේ ගිලීමෙන් මිය ගිය අලි ගණන 15කි. දුම්රියේ ගැටීමෙන් පමණක්  අලින් 14ක් මරණයට පත් වී ඇත. මහාමාර්ගයේ සිදු වූ  අනතුරුවලින් මිය ගිය අලින් ගණන 3කි. වෙනත් අනතුරු හේතුවෙන් අලින් 5ක් මිය ගොස් ඇති අතර විෂ ශරීරගතවීමෙන්   මරණයට පත් වූයේ එක් අලියකු පමණි. 

අලි -මිනිස් ගැටුමෙන් වැඩි වශයෙන් අලි ඇතුන් මිය යන රට ලෙස  ලංකාව බව කෝපා  කමිටුවේදී සඳහන් විය. එමෙන්ම අලි- මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ සිදුවන රටවල් අතරින් ලෝකයේ  දෙවැනි තැනට පත් වී ඇත්තේ ලංකාව ය.  මෙම තොරතුරුවලින් අනාවරණය වන්නේ මෙරට වෙසෙන  අලි ඇතුන් මෙන්ම මෙම සතුන් ජීවත්වන ප්‍රදේශවල වාසය කරන ජනතාවද දරුණු ඛේදවාචකයකට  මුහුණපා සිටින බව ය. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණය සිදු කළේ  2011 වසරේදීය වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2011 අගෝස්තූ 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට 12වන දින මධ්‍යම රාත්‍රිය දක්වා  පැය 24ක කාලපරිච්ඡේදයකදී කරන ලද නිරීක්ෂණ අනුව වන අලි 5,879ක් හඳුනා  ගෙන තිබේ. ඉන් 3,285ක්ම (55.9%) වැඩිහිටි සතුන් ය.  එමෙන්ම තරුණ අවදියේ පසුවන සතුන් 1,487ක් ( 25.3%)  ද  පැටවුන් 731ක් ( 12.4%) ද හා  ළදරු අවස්ථාවේ  සිටින කුඩාම සතුන් 376ක් ( 6.4%)  වශයෙන් ගහණය සමන්විතය. මෙම සමීක්ෂණයට අනුව අලි ගහණයේ අවම සංඛ්‍යාව  5,879ක් වන අතර එයින් 67.19%ක්   වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුව  යටතේ පවතින ආරක්ෂිත ප්‍රදේශ ජාලය තුළද 29.78%ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති රක්ෂිත ප්‍රදේශ තුළද  3.03%ක්  රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරව කුඩා  වනාන්තර ආශ්‍රිතව ජීවත් වන බව නිරීක්ෂණය විය.   

එහෙත් අලි සංගණනයෙන් පසුව ගෙවී ගිය වසර 12ට අලි ඇතුන් 3,685ක් මිය ගොස් තිබේ. ඒ අනුව අද වන විට මෙම සතුන්ගේ ගහණය  ශීඝ්‍රයෙන් පහළ යන බව පෙනේ. අලි ඇතුන්ගේ වාසස්ථාන  විනාශ කිරීම හේතුවෙන් අලින් ගම් වැදීම නිසා  අලි ඇතුන් ඝාතනය වන බව බොහෝ   දෙනකුගේ සරල අදහසකි. 

අලි මරණ සම්බන්ධ පැරණි වාර්තා  සැළකිල්ලට  ගත හොත් 1951 වසරේ සිට 1969 වසර දක්වා  ගෙවී ගිය වසර 19ක කාලය තුළ මිය ගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 1,163කි. එහි සාමන්‍ය අගය ගතහොත් වසරකට මිය ගොස් තිබෙන්නේ 61ක් පමණි. නමුත් 2004 වර්ෂයේ සිට 2023 අප්‍රේල් මාසය දක්වා  වූ වර්ෂ 19ක කාලය තුළ අලි ඇතුන් 5,010ක් මිය ගොස් තිබේ. මෙයින් අලි ඇතුන් 3,045ක්ම මියගොස් තිබෙන්නේ 2013 – 2022   කාලයේදී ය. 2004 – 2023 කාලයේ අලි ඇතුන්ගේ  මරණවල  සාමන්‍ය අගය  ගතහොත් 263කි .  ඒ අනුව වසරකට මිය යන අලි ඇතුන් සංඛ්‍යාව සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙය ඉතා  දරුණු  තත්ත්වයකි. 

2010 වර්ෂයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත අවසන් වනාන්තර සංගණනයට අදාළ වාර්තාවට අනුව මෙරට සමස්ත වන ආවරණය  හෙක්ටයාර් 19,51,473කි. එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%කි. මෙම වනාන්තර අතුරින් අලි ඇතුන් ප්‍රධාන  වශයෙන් ජීවත් වන්නේ  අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවලට අයත්  හෙක්ටයාර් 17,36,805ක් වැනි වපසරියක ය. එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 26.5%ක  ප්‍රතිශතයකි. අලි – ඇතුන්  ජීවත්වන ස්වභාවික පරිසර පද්ධති අඩු මට්ටමකින් පැවතීම සහ එම වනාන්තර එකිනෙක ජාල ගත නොවී ඛණ්ඩනය වූ වනාන්තර ලෙස පැවතීම ද අලි-මිනිස් ගැටුම වර්ධනයට හේතු වී ඇති බවට හඳුනා ගෙන ඇත.

අලි-  මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විවිධ ක්‍රියාමාර්ග  ගෙන තිබේ.  විදුලි වැට ඉදි කිරීම , අලි පලවා  හැරීම, අලි වෙඩි බෙදා දීම, ප්‍රචණ්ඩ වන අලි අල්ලා  ඉවත් කිරීම, වන අලින්ගෙන් සිදුවන හානි සඳහා  වන්දි ගෙවීම එකී ක්‍රියා මාර්ග ලෙස දැක්විය හැකිය. මීට අමතරව ජාලගත  නොවී වනාන්තර ඛණ්ඩනය වී තිබෙන අවස්ථා වලදී අලි සංක්‍රමණික   මාර්ග හඳුනා  ගැනීමට කටයුතු කර ඇත. එහෙත් මෙම ක්‍රියා මා ර්ග අලි- මිනිස් ගැටුම අවම කිරීම සඳහා  කොතෙක් දුරට බලපෑමක් කර තිබේදැයි වෙනමම විමසා  බැලිය යුතු කරුණකි. 

2010 වසරට පෙර වනාන්තරවල තත්ත්වය ජාලගත ආකාරයට පැවතියද එතැන් සිට අද දක්වා  මහා  පරිමාණ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා  දැවැන්ත වන විනාශයක් සිදු වී තිබේ.

මීට අමතරව වනෝද්‍යාන මැද පුරා  විද්‍යාසංරක්ෂණ පිහිටා  ඇත. ඇතැම් වනෝද්‍යාන තුළ පූජනීය  ස්ථාන පිහිටා  ඇත. යාල වනෝද්‍යානය මීට කදිම නිදසුනකි .එවැනි අවස්ථාවල අලි ඇතුන්ගේ නිදහසට බාධාවන සංසිද්ධි ඇති නොවේ යැයි කිව නොහැක්කේ  කෙසේද? නමුත් වනසංරක්ෂණ   දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ  ජාතික උද්‍යාන තුළ මානව ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තහනම් කිරීම, පුරාවිද්‍යා වටිනාකම් ආරක්ෂා  කිරීම හේතුවෙන් වනය සහ වනජීවීන් සංරක්ෂණය වන බවයි.

කෙසේ නමුදු අලි- මිනිස් ගැටුමට බලපාන  සාධක සරලව සාකච්ඡා  කළ නොහැකිබවත් එය පුළුල් ලෙස විග්‍රහ කළ යුතු බවත් මෙයින් පෙනී යනු ඇත. 

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *