✍️ ජනක සුරංග
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ කාල වාකවානුව තුළ එය මෙරට අත්‍යවශ්‍ය සේවාවක් බවට ද රජය විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලදි. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම රක්ෂණ සමාගම් ලියාපදිංචි වන අතර එය සාමාන්‍ය රක්ෂණය හා දිගුකාලීන රක්ෂණය ලෙස පවත්වාගෙන යනු ලබයි. වාහන, දේපළ, භාණ්ඩ, මුදල් ආදිය මෙන්ම සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව තෙක් වූ විවිධ ආකාරයේ පාරිභෝගික රක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඉහත කී රාජ්‍ය හා පුද්ගලික අංශවල සමාගම් 28කට ආසන්න ප්‍රමාණයක් මෙරට තුළ ඊට අදාළ සේවා පහසුකම් සපයයි.
අපේ රටේ දිගුකාලීන ජීවිත රක්ෂණය හා බැඳි 45,000කට අධික රක්ෂණ නිලධාරීන් ප්‍රමාණයක් රටේ සමස්ත ජන ගහණයෙන් 15%කට ඉහළ ප්‍රතිශතයකට සිය සේවා සැපයීම සිදු කරයි. මේ වන විට රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදුකරනු ලබන මෙම කර්මාන්තය නියාමනය කිරීමට මුදල් අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පිහිටුවා තිබේ. නමුත් මෙකී රක්ෂණ කර්මාන්තය හා බැඳි වෙළඳපොළ, ලෝකයේ අනිකුත් දියුණු රටවල මෙන් වඩා විනිවිදභාවයෙන් හෝ ජනතා ප්‍රසාදයකින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. ඒ බව හොඳින් ගම්‍ය වන්නේ 28කට ආසන්න තරඟකාරී සමාගම් හා වෙනත් තැරැව්කාර සමාගම් තිබියදීත්, මුළු ජනගහනයෙන් අඩකට හෝ සිය සේවා ආවරණය සලසා දීමට දශක 6කට එහා ගිය මෙරට වාණිජ රක්ෂණ කර්මාන්තය තවමත් අපොහොසත් වී තිබීම හේතුවෙනි. පාරිභෝගික හිමිකම් ගෙවීම, වන්දි ලබා ගැනීම හා සමාගම්වලින් සේවා සලසා ගැනීමේ දී සිදු වන නොයෙක් ගැටලු හා අසාධාරණකම් වෙනුවෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නාමික මැදිහත් වීමක් තිබුණද, එ් පිළිබඳ ජනතාව තුළ එතරම් දැනුවත්භාවයක් ඇති බව නොපෙනේ. අදාළ මැදිහත්වීම් පිළිබඳ විනිවිදභාවයක් නොමැති වීම ඊට හේතුවයි. මේ නිසා, තොරතුරු පනත මගින් ඒ පිළිබඳව විමසා බැලීමට අදහස් කළෙමු.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මහජනතාව විසින් එක් එක් ජීවිත රක්ෂණ සමාගම්වලට එරෙහිව සිදු කළ පැමිණිලි පිළිබඳව රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමෙන් අනතුරුව, එම තොරතුරු ඉල්ලුම්කරුට අභිමත පරිදි ලබාදීම රක්ෂණ නියාමන කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කිරීමයි. 2021-2023 දක්වා වූ කාල පරාසය තුළ මෙසේ ලැබී ඇති පැමිණිලි එක් එක් සමාගම්වලට වෙන් වෙන් වශයෙන් ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම පොදු අධිකාරිය විසින් ඉවතලා තිබුණේ, අදාළ තොරතුරු මහජනතාවට හෙළිදරව් කිරීමෙන් ලාභය පදනම් කරගත් තරගකාරී ව්‍යාපාරයක නිරතවන රක්ෂණ සමාගම්වලට, සිය ව්‍යාපාර ගෙන යාමට දැඩි බාධාවක් එල්ලවන බව පවසමිනි. මේ හා සම්බන්ධ තවත් කාරණා කීපයක්ම තොරතුරු කොමිෂන් සභා විමර්ශනයේදී රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් ප්‍රකාශ කර සිටියත්, පසුගියදා නිකුත් කරන ලද එම අභියාචනා විමර්ශනයේ අවසාන තීන්දුවේදී කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවේ, තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මතු කරන ලද කාරණා, තොරතුරු පනතට අනුව තොරතුරු නිදහස් කිරීමෙන් වළක්වාලීමට තරම් පිළිගත හැකි කාරණා නොවන බවයි. මෙම තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම රක්ෂණ නියාමන කොමිෂන් සභාව දැඩි ව්‍යාකූලත්වයක් හා මැළිකමක් දැක්වූ අතර, මහජනතාවට වගකියන තම ආයතනයේ කාර්යභාරය පසෙකලා, මෙම තොරතුරු නිදහස් කිරීම සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් විසින් දරන මතය ද සාකච්ඡා කොට තිබිණි. අභියාචනය විභාග කරන ලද මුල් අවස්ථාවාදී කොමිසම විසින් අනාවරණය කරගනු ලැබුවේ, රක්ෂණ නියාමන කොමිෂන් සභාව, තොරතුරු කොමිෂන් සභාව වෙත නිකුත් කළ යුතු වාර්ෂික හා අර්ධ වාර්ෂික වාර්තා ද නිකුත් කිරීමට ක්‍රියා නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් මින් ඉදිරියට තොරතුරු පනතේ නියමය පරිදි නිසි පරිදි වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙස, අභියාචනා විමර්ශනය අතරතුර දී පොදු අධිකාරියට විශේෂ උපදෙස් ලබා දීම ද සිදු කෙරිණි.
ඒ අනුව තොරතුරු ඉල්ලීමේ සිට තොරතුරු නිදහස් කිරීමට තීන්දුව ලබා දෙන තුරු වසරකට අධික කාලයක් ගෙවා දැමීමට ද සිදු විය. පොදු අධිකාරීන් විසින් තොරතුරු හෙළිදරව් කිරීමේදී ප්‍රමුඛ කොට ගත යුත්තේ මහජන සුභ සිද්ධිය මිස පෞද්ගලික සමාගම් හෝ වෙනත් පාර්ශවවල ලාභ පරමාර්ථය කොටගත් පුද්ගලික හේතු හෝ එම කීර්ති නාමය ආදී කරුණු නොවන බව මෙම අභියාචනයේ දී පසක් වීම සැබෑ ජනතා ජයග්‍රහණයකි. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට රක්ෂණ සමාගම්වලට එදිරිව මහජනයා විසින් කරනු ලබන පැමිණිලිවල සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ තොරතුරු විනිවිදභාවයෙන් දැන ගැනීමට ජනතාවට අවස්ථාව උදා විය.