පුවත්

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන්  වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ  සියයට 35කටත් වඩා අඩුවෙන්

By In

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

    පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හි පැවති  පාර්ලිමේන්තු මහ මැතිවරණ සඳහා ඉදිරිපත්වූ සියලුම පක්ෂවල අපේක්ෂකයින්ගෙන්  තම වත්කම් හා බැරකම් ප්‍රකාශකොට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම්දුන්  සංඛ්‍යාව සියයට 35 කටත් අඩු සංඛ්‍යාවක් බව තොරතුරු දැනගැනීමේ පනත මගින් මැතිවරණ කොමිසන් සභාව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.

 මේ ආකාරයෙන් 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ සියලු පක්ෂ අපේක්ෂකයින්  අතරින් තම වත්කම් හා බැරකම් ලබාදී ඇත්තේ සියයට 35ක් (35%) වන අතර එය 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සියයට 29 (29%) ක් දක්වා අඩුවීමක් ද සිදුවී ඇති බව එම තොරතුරු මගින්  අනාවරණය වේ.

1988 අංක 74 දරන  වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ( සංශෝධිත ) පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ විධිවිධානවලට අනුව ඔහු හෝ ඇය නාම යෝජනා කරන දිනයේ දී හෝ මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පසුව පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට පෙර   වත්කම් හා බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිලධාරිවරයාට හෝ මැතිවරණ කොමිසන් සභාව වෙත භාරදිය යුතු ය.

  එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී 2020 අගෝස්තු මස 12 වන දින එකල සිටි මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ සියලු අපේක්ෂකයින්හට නාම  යෝජනා කාල සීමාවේ දී හා ඡන්ද විමසීම් දිනට පෙර ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකශ භාරදීමට අපොහොසත්වී ඇති සියලුම දෙනා තම වත්කම් හා බැරකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද දන්වා තිබේ.

කෙසේ නමුත් 2015  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂ 35 ක අපේක්ෂකයින් 9170 ක් ඉදිරිපත්වී ඇති අතර ඉන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ 3281 දෙනෙකු පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 35(35%)කි.

එමෙන්ම 2015  පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්වූ සමස්ත පක්ෂවලින් ප්‍රධාන දේශපාලන පක්ෂ 10ක්  තෝරාගනිමින් කළ  විමර්ශනයේදී අනාවරණය වූයේ ඒ අතරින් ඉදිරිපත්වූ අපේක්ෂකයින් 2620 දෙනෙකුගෙන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 1519 දෙනෙකු පමණක් බව ය. එය ප්‍රතිශයක්ලෙස සියයට 57ක් (57%) වේ.

එමෙන්ම  2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂ 40ක අපේක්ෂකයින් 10480 ක් ඉදිරිපත්වී ඇති අතර ඉන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ 3097 දෙනෙකු පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 29කි.

ඒ අතරින්  2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ සමස්ත පක්ෂවලින් ප්‍රධාන දේශපාලන පක්ෂ 11ක්  තෝරාගනිමින් කළ  විමර්ශනයේ දී අනාවරණය වූයේ ඒ අතරින් ඉදිරිපත්වූ අපේක්ෂකයින් 2882කින්  වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 1638 දෙනෙකු පමණක් බව ය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 56ක් (56%) වේ.

මෙම දත්ත විශ්ලේෂණයේදී තහවුරු වන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව 2020 වර්ෂයේදී තම වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තවත් සියයට 06 (6%)කින් පමණ අඩු වී ඇති බවයි.

   කෙසේ නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් ජාතික මැතිවරණ රසික පිරිස් මහතාගෙන් සිදුකළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොමිසන් සභාව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරික්ෂා කිරීමකින් තොරව ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

”නෛතික කාරණයක් ලෙස මෙය එළියට ගන්න එක විතරක් සිදුකරලා වැඩක් නෑ. මොකද අපේක්ෂකයෝ සීමිත නම් අපිට මේක ඉක්මණින් කරන්න පුළුවන්. නමුත් අපේක්ෂකයෝ සංඛ්‍යාව අසීමිත වීම තුල මේක අපහසු වෙලා තියෙන්නේ සමහර වෙලාවට දිස්ත්‍රික්ක අපේක්ෂකයෝ ගණනට වඩා  ඒ පක්ෂය ගත්ත ඡන්ද ගණන අඩුයි. ඇතැම්විට අපේක්ෂකයෝ 25යි ඡන්ද පහළොවයි. ඒ වගේ ක්‍රියා කරන දේශපාලන පක්ෂ සහ සංවිධානත් එක්ක තමයි අපි මේ වැඩ කරන්නේ. මේ නිසා තමයි මැතිවරණ කොමිසන් සභාව තීරණය කරලා තියෙන්නේ ඇප මුදල් වැඩි කරන්න”

”ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තරඟකාරී විකල්පයක්. තරඟකාරී විකල්පයක තියෙන්න ඕනේ තරඟකාරිත්වය තුලින්, ඉල්ලන කෙනාට තමන්ට සාධාරණව ඡන්ද ගන්න පුළුවන් ”  බවයි මැතිවරණ කොමිසන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් ජාතික මැතිවරණ  රසික  පිරිස් මහතා අවධාරණය කරන්නේ.

වරප්‍රසාද  ගන්නත් පක්ෂ පිහුටුවනවා

 විශේෂයෙන්ම වත්කම්, බැරකම් ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් ඉහත සංඛ්‍යාලේඛන පරික්ෂා කිරීමේදී පැහැදිලිව අනාවරණය වන දෙයක් වන්නේ ප්‍රධාන වශයෙන් තරඟයේ ඉන්න පක්ෂවල පිරිස් පමණක් විශේෂයන්ම වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන බවයි. අනෙකුත් බොහෝ පක්ෂ සිදුකරන්නේ ප්‍රධාන පක්ෂය වෙනුවෙන්ම වෙනත් පක්ෂ යොදාගනිමින් අනුරුවක් ලෙස පෙනී සිටීම ය. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ යම් අයුරකින් තම ප්‍රධාන පක්ෂය ප්‍රතික්ෂේප වූ අවස්ථාවන්හි ඒ වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත තම නියෝජිතයින් පත් කරගැනීම වේ.

  2018 පෙබරවාරි මස 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගරසභාව සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමඟ “මෝටර් සයිකලය” ලකුණින් මහරගම නගර සභාවට තරඟ කළ ස්වාධීන කණ්ඩායම සිය දේශපාලන අරමුණ වෙනුවෙන් එකඟකරවා ගන්නට පොදුජන පෙරමුණ කටයුතු කිරීම එක් නිදසුනකි.

  පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී  මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරමින් ගමන්ගත් වාහන කීපයක් පරික්ෂා කිරීමේදී ආදාල වාහනවල ගමන්ගත් අයෙකු කියා සිටියේ තමන් පක්ෂයක අපේක්ෂකයෙකු බවයි. නමුත් ඔහු ප්‍රදර්ශනය කරමින් සිටියේ වෙනත් ප්‍රධාන පක්ෂයකට අයත් ප්‍රචාරක පුවරු ය. එය ඉහත කාරණාවට කදිම නිදසුනකි.

 එමෙන්ම විවිධ ප්‍රතිලාබ ලබාගැනීමේ අරමුණින් පක්ෂ පිහිටුවා ගනිමින් මේ ආකාරයෙන් පෙනී සිටින බවයි  මැතිවරණ කොමිසන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ ” සමහර වෙලාවට නොමිලයේ මාධ්‍ය තුල කතාකිරීමට අවස්ථාව ද ඔවුන්ට ලබාදෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පෙනී සිටිමින් විවිධ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින අය ද ඉන්නවා. සමහර  අය තමන් පක්ෂයක අපේක්ෂකයෙකු බව වත් දන්නේ නෑ”

” ලංකාවේ දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සිතු පැතු සම්පත්දෙන අශ්ටපල රුකක් වගේ දෙයක් සමහර පක්ෂවල ඉන්න අය ත්‍රිවිල් එකකට පුරවන්න පුලුවන් ,මේ ගොල්ලන්ගේ අරමුණ රාජතාන්ත්‍රික වසයෙන් වරප්‍රසාද ලබාගැනීම,පමණක් වෙලාවට ජනාධිපතිවරනයට ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාවෙන් ඊලග ඡන්දයෙන්  දිනන්න ” බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථනයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පෙන්වා දෙන්නේ

 සිදුවන මුදල් නාස්තිය

 මේ  ආකාරයෙන් වැඩි වශයෙන් අපේක්ෂකයින් ඉදිරිපත්වීම තුල ඒ වැඩි වන ප්‍රමාණය අනුව දිස්ත්‍රික්කයක ඡන්ද පත්‍රිකාවක  කඩදාසි ප්‍රමාණය වැඩි කිරීමට ද සිදු වේ. එමෙන්ම සෑම ඡන්ද දායකයෙකුගේ නිවසකටම ඒ අයගේ නම් ඇතුලත් කරලා පත්‍රිකාවක් යැවිය යුතු අතර එහි ප්‍රමාණය ද  වැඩි කළ යුතු වේ. ඊට පරිබාහිරව ඒ ඒ අපේක්ෂකයින්හට ලබාදිය යුතු පහසුකම් වෙනුවෙන් ද ඡන්දය ගණන් කරන තෙක් ලබාදිය යුතු වේ. ඒ සඳහා ඔවුන්ගේ මුදල් නාස්ති නොවන  අතර එය මහජනතාවගෙන් රජය අය  කරන බදු මුදල්වලින් වැය කිරීම සිදු වේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථනයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක

  ” ශ්‍රී ලංකාවේ 1977 පසුව පැවති  සෑම මැතිවරණයකදීම මෙම වත්කම් හා බැරකම් ප්‍රකශ ලබාදීම සාමාන්‍යයෙන් සියයට 70 (70%) හැටක ප්‍රතිශතයක තිබුනා නමුත් වර්තමානය 2010  පසුව තමයි මේ වගේ අවම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ මේකට බලපාන ප්‍රධානතම හේතුව තමයි ශ්‍රී ලංකාවේ මැතිවරණ නිතිය යාවත්කාලින නොවීම ,ඒ මෙන්ම වත්කම් බැරකම් ලබදුන්නායැයි ඔවුන්ට සමජයෙන් ලැබෙන ප්‍රතිලාබයකුත් නෑ ඔවුන් නීතියට අවනතවීම පමණයි සිදුවෙලා තියෙන්නේ අඩුම ගානේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසන් සබාව මේගැන ප්‍රචලිත කරන්නේ නෑ එහෙම කරනවානම් නොදුන්නා අයට යම් දිරියක් ලැබෙනවා දෙන්න ඒ වගේම දුන්න අයටත් යම් ගෞරවයක් ලැබෙන්න ඕන ”

නීති වෙනස් විය යුතුයි

  ” ඒවගේම  ලංකාවේ වත්කම් හා බැරකම් නොදුන්නාය කියා සමාජයට වන අවගනයක් හෝ පාඩුවක් හෝ කිසිම කරුණක් නෑ ,මොකද ලංකාවේ මේක අරගෙන මැතිවරණ කොමිසමේ පෙට්ටගමක දානවා අඩුමගානේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයවත් මේක නිරික්ශ්නයකට ලක්කරන්නේ නෑ ,එහෙම බලයක් නෑ ,යම් පුරවන කඩදාසියක් කිසිදු නියාමනයකට ,කිසිදු බලපෑමකට හසු නොවනසේ පෙට්ටගමක දමලා ඉඩ අහුරා ගන්නවට වඩා මෙය නොගන සිටීම හොදයි”

 ” යම් හෙයකින් ලබාගන්නා මේ වත්කම් බැරකම් ලබාගෙන ඒවා ජනගත කිරීමට නිතිය හදන තෙක් ඔය ලබාදෙන සියයට 29 පවා මෙය ලබාදෙන එක කාලය නස්තිකිරීමක් කියලයි මම හිතන්නේ.මේක නතර කරන්න ඕනනම් ,ලංකාවේ මැතිවරණ නිතිය යාවත්කාලින කරන්න ඕන වගේම ඇප මුදල වැඩි කරන්න ඕන මොකද ඇප මුදල් වැඩි කරන්නේ නැති නිසා ලොකු පක්ෂ සදහා රුකුල් දෙන්නේ පොඩි පක්ෂ නම්කරනවා , බොහෝ අවස්ථාවන්හි ජනාධිපතිවරණය වැනි මැතිවරණය තුලදී මේ අටවා ගන්න පක්ෂය පක්ෂයම විකුනනවා රුපියල් කොටි 10 කට 12කට ,මේ නීති වෙනස් වෙන්න ඕන කියල අපි මැතිවරණ සංවිධාන වසයෙන් ඉල්ලීම්ද කරලා තියෙනවා” බවද මංජුල ගජනායක මහතා අවධාරණය කළේය

පුවත්

වසර 4ට උප්පැන්න සහතික සංශෝධන එක්ලක්ෂ තිස්දාහක් !

2015 සිට 2019 දක්වා නිකුත් කළ සහතිකවලින් 18%කට සංශෝධන   සංශෝධනවලින් 30%ක් රෙජිස්ට්‍රාර්වරුන්ගේ වැරදි නිසා ඉදිරියේදී ජාතික උප්පැන්න සහතිකයක් – රෙජිස්ට්‍රාර්…

By In
පුවත්

වසර 11ක් ගෙවී ගියද තවමත් නිදහස් නොවූ සිලාවතුරෙයි ඉඩම්

කේ.ප්‍රසන්නා 2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වීමෙන් පසු ජනතාවගේ ජීවනෝපාය, ආර්ථිකය, යටිතල පහසුකම්, ඉඩම් නිදහස් කිරීම සහ නැවත පදිංචි…

By In
පුවත්

පුරවැසියෙකු ද නැද්ද යන්න පිලිබද තොරතුරු අයදුම්පත්‍රයේ සටහන් කර තිබේ නම් තොරතුරු ලබාදිය යුතු බව තොරතුරු කොමිසම පේරාදෙණිය ශික්ෂණ රෝහලට නියෝග කර තිබේ.

අදාළ ශික්ෂණ රෝහල කර ඇති දැනුම්දීමක් පිළිබද තොරතුරු අයදුම්කරුවෙකුගේ අභියාචනයක් සලකා බලමින් තොරතුරු කොමිසම එම නියෝගය නිකුත් කර ඇත. රාහුල්…

By In
පුවත්

”සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ එක්දින සමාරම්භක උත්සවයට හා ප්‍රවර්ධනයට වියදම රැපියල් ලක්ෂ 89ක්.

මෙහි කිසිම වැඩක් නැති වියදමක් දරල නෑ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   පරිසර අමාත්‍යාංශයේ හා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *