Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

By In
  • මොහොමඩ් ආසික්

ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම කාන්තාවන්ද  කොපමණ නම් හමු වී ඇත්ද? අපේ දෑසට එම දසුන්  හසු වී නොවී දිව යන අප ඔවුන් ගැන මොහොතක් හෝ මෙනෙහි කළෙමුද?  ඔවුන් මාර්ගය අයිනේ  වාඩි වී  යමක් යදින්නේ ඔවුන්ගේ මේ අසාමාන්‍ය අසනීපය හේතුවෙන්  කිසිවක් කර ගත නොහැකි  කිසාවෙනි. මොකක්ද මේ රෝගය මේ තමයි අප බොහෝ දෙනෙකු අඩුවෙන් කතා කරන බරවා රෝගය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන ආකාරයට ලොව පුරා පුද්ගලයින් මිලියන 120 ක් මෙම බරවා රෝගයට ගොදුරුව සිටිති. එයින් මිලියන 40 කට වැඩි පිරිසත් ශරීරයේ ඇතිව ඇති විවිධ විකෘතිතා හේතුවෙන් පිඩාවට පත්ව සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණයේ  ප්‍රතිඵලයයි. මෙයට අමතරව රටවල් 54 ක පුද්ගලයින් මිලියන 947 ක් වසා ගැටිති  ඉදිමීමේ හෙවත් (lymphatic filariasis) රෝගී තත්වයෙන් පෙළෙන බවත් එම සංවිධානය තව  දුරටත් ප්‍රකාශ කර තිබේ.

 ලෝකයේ  රටවල් රැසක  විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති මෙම බරවා රෝගය  ශ්‍රී ලංකාවට බල පා ඇති අයුරු පිළිබඳව විමසා බලන්නට 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම්  පනත උපයෝගි කර ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  තොරතුරු ඉල්ලා සිටි අතර ඒ අනුව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්‍.එම්. ආනල්ඩ් මහතා විසින් එවා ඇති තොරතුරු මෙම ලිපියට පාදක කර ගැනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ සටහනක්  අනුව බරවා රෝගය ලෝකයෙන් තුරන් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය  එය අවසන් කළ යුතු වසර ලෙස 2020  ඉලක්කයක් ලබා දී තිබිණ. එසේ වුවත් ශ්‍රී ලංකාව  නියමිත දිනට වසර හතරකට පෙර එනම් 2016 ජූලි මස 21 වනදා බරවා රෝගය තුරන් කළ රටත් ලෙස  ලෝක  සෞඛ්‍ය සංවිධාය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.  ඒ සඳහා වන සහතිකය  සහ සම්මානය එවක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ලබා ගනු ලැබුවේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ වෙනුවෙන්  පැවති උත්සවයකදී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ  අධ්‍යක්ෂිකා පූනම් කෙත්‍රපල් සිං මහත්මිය අතිනි. 

ශ්‍රී ලංකාව බරවා රෝගය එලෙස තුරන් කළ රටක්  ලෙස සහතික ලැබ  තිබුණද පසු කාලයේ   දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් යළිත්  බරවා  රෝගය මතු වන්නට විය . සෞඛ්‍ය  අමාත්‍යාංශය මගින් ලබා දී ඇති තොරතුරුවලට අනුව මේ වන විට  වාර්ෂිකව බරවා රෝගය නිසා අත් පා ඉදිමුණු  නව රෝගීන් 600 ත් 700 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ප්‍රකාශ කර තිබේ.

දිවයිනේ පළාත් තුනක  දිස්ත්‍රික්ක අටක් බරවා රෝගය වැඩි වශයෙන් වාර්තා වන අවදානම්  ප්‍රදේශ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය විසින් හඳුනා ගෙන තිබේ. ඒ අතරත් වැඩිම බලපෑම ඇතිව ඇත්තේ දකුණු පළාතටයි. දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනද, බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ, සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනද , වයඹ පළාතේ කුරුණෑගල  සහ පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකද ඇතුලත්ව දිවයිනේ දිස්ත්‍රික්ක අටත් බරවා අවදානම් දිස්ත්‍රික්ක ලෙස  හඳුනාගෙන  තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ලබා දී ඇති තොරතුරු වලට අනුව ශ්‍රී  ලංකාව තුල  බරවා පරිපෝෂිතයින් වර්ග දෙකක් හඳුනා ගැනීමට හැකි වෙයි. Wuchereria bancrofti  සහ Brugia malayi  එම වර්ග දෙක වෙයි.  රට තුල මින් පෙර පැවැති ප්‍රවණතාවය  වන්නේ වාර්තා වන මුළු රෝගීන්ගෙන් සියයට 90 කටම රෝගය බෝ කර ඇත්තේ Wuchereria bancrofti  නැමැති පරපෝෂිතයා  වූ නමුත් 2023 දී වාර්තා වි  ඇති රෝගින්ගෙන් සියයට 66 ක්ම  Brugia malayi   පරපෝෂිතයා  නිසා රෝගී වූ රෝගීන්ය.මෙම ආසාදිතයින් පසුගිය කාලවල පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පමණක්  වාර්තා වුවත් 2022 න් පසුව දිස්ත්‍රික් අටෙන්ම වාර්තා වන බව ලබා දී ඇති තොරතුරවල සඳහන් වෙයි. බරවා රෝගය බෝ කරන මදුරුවන් වර්ග දෙකක් වන අතර ග්‍රාමිය පරපෝෂිතයා ලෙසත් නාගරික පරපෝෂිතයා ලෙසත් එම වර්ග දෙක සඳහන් වෙයි. ග්‍රාමීය වාහකයා  masonia  ගණයට අයත් වන අතර නාගරික වාහකයා culex quinqucfaciatus 

ශ්‍රී ලංකාවේ  බරවා රෝගය වාර්තා වන දිස්ත්‍රික්ක අට තුල බරවා  ආවේක්ෂණ වැඩසටහන් රැසක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් විමෙන් සිදු වෙයි. බරවා  ආසාදිතයින්  මූලික අවස්ථාවේ හඳුනා ගැනීමට ඇති ප්‍රධානතම  මාර්ගය වන්නේ රාත්‍රී කාලයේ ලේ සාම්පල පරීක්ෂා කිරීමයි. ඒ අනුව මෙම දිස්ත්‍රික්ක අට තුල අහඹු ලෙස රාත්‍රි කාලයේ ලේ සාම්පල පරීක්ෂා කරනු ලබන අතර එලෙස පරීක්ෂා කිරීමෙන්  2023 වසරේ  ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා  හඳුනා ගෙන ඇති රෝගීන් ගණන ලබා  දී ඇති තොරතුරුවල මෙසේ සඳහන් වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 ක් මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දෙකක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගින්  තුනක්,කළුතර  දිස්ත්‍රික්කයෙන් එක් රෝගියෙක්  සහ පුත්තලම  දිස්ත්‍රික්කයෙන් රෝගීන්  දෙදෙනෙකු  වශයෙන් රෝගීන් 23 දෙනෙකු හඳුනා ගෙන තිබේ. කෙසේ නමුත් මෙම කාලය තුල කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වි නොමැති විමද විශේෂත්වයක් වෙයි.

බරවා රෝගීන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය විසින් නිති පතා සිදු කරනු ලබන රාත්‍රි රුධිර පටල පරීක්ෂාව මගින් 2018 වසරේ සිට 2023 වසර දක්වා  හඳුනා  ගත්  රෝගීන් ගණන ලබා දී ඇති තොරතුරුවල මෙලෙස සඳහන් වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 37  ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 22 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 139 ක් මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 56 ක්  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්  රෝගීන් 11 ක්,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන්  හතරක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 වශයෙන් බරවා රෝගීන් වාර්තා වි තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2023 වසරේ රාත්‍රි කාලයේ  සිදු කළ රුධිර සාම්පල පරීක්ෂාව අනුව  වැඩි ආසාදනයක් සහිත රෝගීන් වාර්තා වන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස , ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, හික්කඩුව, බොපේ පෝද්දල, කරන්දෙණිය, හබරාදුව සහ බලපිටිය, මාතර දිස්ත්‍රික්කයේ මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ බොරලැස්ගමුව, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර,  නාගොඩ,  සහ බේරුවල, පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස  14 ක් හඳුනා ගෙන ඇති බව  ලබා දී ඇති තොරතුරුවල සඳඑහන් වෙයි.

1939 දී බරවා රෝගය හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලැබූ   ලේ පටල පරීක්ෂාවන්වලදී  පරීක්ෂා කරන ප්‍රමාණයෙන් සියයට 20 කට වැඩි ආසාදිතයින් හමු වුවද මේ වන විට වාර්තා වන්නේ   පරීක්ෂා කරන ප්‍රමාණයෙන්  සියයට  0.003 කටත් වඩා අඩුවෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය  රුවන් රත්නායක මහතා සඳහන් කරන්නේ ජනතාවගේද සහාය ඇතිව 2030 වන විට බරවා රෝගය ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කළ  හැකි බවයි.  2016 දී අප රටින් තුරන් කළ බව කියන බරවා රෝගය තව දුරටත් වාර්තා විම  සම්පූර්ණයෙන් නවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගේද සහාය ඇතිව දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටියි. 

තොරතුරු දැන ගැනීමේ පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමට ලැබුණු තොරතුරු අනුව, 

මෙම රෝගය නැති කර ගැනීම සඳහා ජාතික බරවා මර්දන ව්‍යාපාරය මගින්, තෝරා ගත් ග්‍රාම නිලධාරි වසම්වල රාත්‍රි කාලයේ ලේ සාම්පල පරීක්ෂා කිරිම,අවදානම් කලාපවල එක් දින ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, කීට විද්‍යා පරීක්ෂණ සිදු කිරීම, බරවා රෝගය හේතුවෙන් අත්පා ඉදිමුණු රෝගීන් සඳහා සායනික පහසුකම් සැපයීම, විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින්ගේ ලේ පරීක්ෂා කර ආසාදිත නම් ප්‍රතිකාර ලබා දීම, මෙම රෝගය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දීම, බරවා මර්දන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, බරවා රෝගය සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමීක්ෂණ සිදු කිරීම, සහ ගෘහස්ථව ඇති කරන සුරතල් සතුන් බරවා පරීක්ෂණනවලට ලක් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය විසින්  බරවාවලින් නිදහස් ලංකාවක් බිහි කිරීම සඳහා සිදු කරන වැඩසටහන්වලින් කිහිපයක් වෙයි. 

බරවා යන්න සාමාන්‍ය රෝගයක් වුවත් එහි රෝග ලක්ෂණ අනුව බිහිසුණු රෝගයකි. මෙම රෝගයෙන් ලංකාව මුදා ගැනීම සඳහා ජනතාව ගේ සහාය  වැඩි වැඩියෙන් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අපේක්ෂාවයි.. රාත්‍රි කාලයේ ලේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා නිවෙස්වලට එන මහංජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ජනතාවගේ සහාය ජාතික බරවා මර්දන ව්‍යාපාරය අපෙක්ෂා කරයි. 

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව කරන ලද ඉල්ලීමට ලැබුණු පිළිතුර අනුව අ‌පේ රට බරවා තුරන් කළ රටක් වුවත් තව දුරටත් බරවා වාර්තා වන රටක් වෙයි. මෙම රෝගය බෝ කරන culex නම් වන මදුරු විශේෂ බෝවන්නේ අපිරිසිදු ජලය රැඳී ඇති කාණු, කැඩී ගිය වැසිකිලි වළවල් වැනි ස්ථානවල වන අතර mansonia  වර්ගයේ මදුරුවන් බෝවන්නේ සැල්විනියා ජපන් ජබර වැනි ජලජ ශාඛ ඇති ජලාශ්‍රිත තැන්වලය. මෙම ස්ථාන  නිරත්නරයෙන් පිරිසිදු කිරිමත් ජලය රැඳෙන  ස්ථානවල මදුරු කීටයින් ඇති විම වැළැක්වීමට පියවර  ගැනීමත් සිදු කළ යුතු වෙයි. 

Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *