– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් සිදු කරනු ලැබූ නිල විදෙස් සංචාරයන් තුනක වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරමින් සිටී.
අදාල කාල සීමාව තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානයක 2024 දෙසැම්බර් 15 සිට 2024. දෙසැම්බර් 18 දක්වා සිදු කළ ඉන්දීය සංචාරය, 2025 ජනවාරි 13 සිට 2025 ජනවාරි 16 දක්වා කාලය තුළ සිදු කළ චීන සංචාරය සහ 2025 පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වූ ලෝක රාජ්‍ය සමුඵව (WGS)- වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය යන නිල සංචාර තුනේදී සිදු කළ වියදම් තොරතුරු ඉල්ලා 2025.02.28 දින යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට 2025.04.16 දින වන තෙක් තොරතුරු ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර නොමැත.
කෙසේ නමුත් 2025.02.28 යොමුකළ තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව පවසමින් 2025.03.03 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් PS/RTI/01/2025/72, PS/RTI/01/2025/73, PS/RTI /01/2025/73,ලිපි අංක යටතේ ලිපි නිකුත් කර තිබුණද අදාළ කාල සීමාව තුළදී තොරතුරු ලබා දීමට කටයුතු නොකරන ලදී. නමුත් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 25 (1) වගන්තියට අනුව තොරතුරු ඉල්ලීමක් සිදු කර වැඩ කරන දින 14ක් තුළ අදාළ තොරතුරු ලබාදීමට පොදු අධිකාරිය විසින් කටයුතු කළ යුතු අතර එම කාලය තු තොරතුරු ලබා දීමට නොහැකිනම් පනතේ 25(6)(5) වගන්තිය යටතේ එම තොරතුරු ලබාදීමට නොහැකි කාරණා ද ඇතුළත් කරමින් ඒ බව තොරතුරු ඉල්ලිම්කරුට දැනුවත් කළ යුතුය, එසේ නොමැතිව එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් ඒ බව අදාළ පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව සිදු කළ යුතුය.
මේ ආකාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව පමණක් දන්වමින් එවන ලද ලිපියෙන් පසුව අදාළ කාල සිමාවන්හිදී ඉහත සඳහන් කරනු ලැබූ පනතේ රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා, ඒ සම්බන්ධයෙන් අදාළ පොදු අධිකාරියේ නම් කළ නිලධාරියා වෙත 2025.03.26 දිනැතිව අභියාචනා අයදුම්පතක් යොමුකළ අතර 2025.04.01 දිනැතිව එම තොරතුරු ඉල්ලීම ලැබුණු පමණක් දන්වා ඇත. අදාළ තොරතුරු ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාල මෙතෙක් කටයුතු නොකරන්නේ කුමන කාරණයක් වසන් කිරීමේ අරමුණින්ද යන්න පුරවැසියන් තුළ සැකයක් ඇති කරන්නකි.
විශේෂයෙන්ම ජනතිපති අනුරකුමාර දිසානායක විසින් 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළදී නිල විදේශ සංචාර වෙනුවෙන් වැයකර ඇත්තේ රුපියල් මිලියන 1.8ක පමණ මුදලක් බව පවසමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් 2025.02.27 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්ද සිදුකරන ලදී, පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය වරිය සිදුකළ කරුණු දැක්වීම තුල පසුගිය ජනාධිපති වරුන් සිදු කළ විදේශ සංචාර වෙනුවෙන් කළ වියදම් සම්බන්ධයෙන්ද කරුණු දක්වන ලද අතර කෙසේ නමුත් එම හිටපු ජනාධිපතිවරුන් තම ධුර කාලයන් තුළදී ඒ ආකාරයෙන් සිදු කරනු ලැබූ විදේශ සංචාර වියදම් සම්බන්ධ තොරතුරු ලියුම්කරු විසින් කාලීනව ලබා ගනිමින් මෙරට මහා ජනතාවට දැනගැනීමට සලස්වන ලද්දේ වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදීය.
කෙසේ නමුත් විනිවිධභාවය සහ අනෙකුත් දේශපාලඥයින්ගේ දූෂණ නාස්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් මේ ආකාරයෙන් සිදු කරන ලද විවේචන පසුගිය රජයන්හි බලය පවතින සමයේදීම අප විසින් තොරතුරු පනත යටතේ ලබාගත් නිල තොරතුරු අනුව දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව මාධ්‍යයේ කාර්යභාරයක් ලෙස සලකමින් විවේචන එල්ල කර තිබේ. එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛ තේමා පාඨයක් වන විනිවිධ භාවය, දුෂණය සම්බන්ධයෙන් වූ කරනා හමුවේ ආණ්ඩුව විසින් සිදුකරන ලද වියදම් තොරතුරු ලබා දීමට මේ ආකාරයෙන් ඒ ඒ රාජ්‍ය යාන්ත්‍රණ කල් මරන්නේනම් එසේ සිදුකරන්නේ කුමන කරුණක් වසන් කරන්නන්ටද යන්න දැඩි අවධානයට ලක්විය කරුණක් වේ.
ජනපති සමඟ විදේශ සංචාර ගිය ඇමති වියදම්
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ඉහත විදේශ සංචාර කීපයකට වර්තමාන ආණ්ඩුවේ ඇමති වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකුද සහභාගී වී සිටියහ. ඒ අතර 2025 ජනවාරි 13 සිට 2025 ජනවාරි 16 දක්වා කාලය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ චීන සංචාරයට සහභාගි වූ මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද ඒ අතර වේ. ඉහත ආකාරයෙන්ම අදාල විදේශ සංචාරයන් වෙනුවෙන් ජනාධිපතිවරයාට සේම මෙම ඇමතිවරුන් දෙදෙනා වෙනුවෙන් අදාල සංචාරය වෙනුවෙන් සිදුකරනු ලැබූ වියදම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා 2025.02.28 දිනැතිව යොමු කරන ලද තොරතුරු ඉල්ලුමටද ප්‍රතිචාර දක්වමින් මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දක්වා ඇත්තේ අදාළ අමාත්‍යංශයේ අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක වෙනුවෙන් අමාත්‍යංශ මගින් කිසිදු වියදමක් දරා නොමැති බවයි. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් 2025.03.24 දිනැති ලිපියක් මගින් අදාළ තොතුරු ලබා දීම වෙනුවෙන් තොතුරු පනතට අනුකුලව අමතර දින 21ක කාලයක් ඉල්ලා තිබේ.
ජනතාවට අවශ්‍ය තොරතුරු නිසි කලට ව්‍යස්ථාපිත කාලසීමාවට අනුව ලබා නොදීම මගින් රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් පුරවැසියන් තුළ සැකයක් මතු වීම නොවැළැක්විය හැක්කකි. සාධාරණ හේතුවකින් තොරව රටේ ව්‍යස්ථාපිත පුරවැසි අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධයන් රාජ්‍ය ආයතන තුළ සිදු වන මන්දගාමී ක්‍රියාකාරිත්වය අවම කරමින් පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම සමබන්ධයෙන්ද ජනතාවට වගකියන, වගවන රජයක මූලික කාර්යයක් බව ද පෙන්වා දිය යුතුය.