පුවත්

කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 92ක් කල් පැනලා  ඇ.ඩො. මිලියන 67ක් වතුරේ!

By In

– සජීව විජේවීර

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක්  නොතිබුණ ද එය පාලනය කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ හැකි ඉක්මණින් එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානය කො‍රෝනා වසංගතය ආරම්භයේ දී ම විද්‍යාත්මකව පිළිගත්තේය.

ඒ අනුව ලොව රටවල් කිහිපයක ඒ වනවිට පර්යේෂණ මට්ටමේ තිබූ එන්නත් කිහිපයක් කොරෝනා ‍වයිරසය මර්දනය කිරීම සඳහා කඩිනමින් වැඩිදියුණු කර භාවිතයට ගැනිණි. 

ලෝකයේ බලවත් සහ ධනවත් රටවල් එන්නත් නිෂ්පාදන සමාගම්වලින් මිලියන ගණන් මාත්‍රා ඇණවුම් කළ අතර ඉන්දියාව පවා ප්‍රකාශ කළේ තම රටේ නිෂ්පාදනය කරන එන්නත් රට වැසියන්ට ලබාදීමෙන් පසු ඉතිරි වුවහොත් පමණක් වෙනත් රටවලට අලෙවි කරන බවයි. 

මේ නිසා ශ්‍රී ලංකාවට සිදු වූයේ පරිත්‍යාග ලෙස එන්නත් ලැබෙන තුරු කොරෝනා මර්දන වැඩපිළිවෙළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට පමණක් සීමා කොට බලා සිටීමට ය. 

මේ නිසාම ලෝකයේ බොහෝ රටවල් කොරෝනා එන්නත් වැඩසටහන් ආරම්භ කර මාස දෙකකටත් වැඩි කාලයකට පසු ශ්‍රී ලංකාවේ එන්නත් වැඩසටහන ආරම්භ කෙරිණි. එනම් 2021 පෙබරවාරි මාසයේ මුල් සතියේ දී ය. එසේ ආරම්භ කළ ද එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් නිසි  කළමනාකරණයක් තිබුණු බවක් පෙනෙන්නට නැත. එමෙන් ම අවිධිමත් සැලසුම් හමුවේ එන්නත් ගෙන්වීම, බෙදාහැරී මෙන්ම එන්නත්කරණය ද අවුල් ජාලාවක් බවට පත්ව තිබිණි. 

අවිධිමත් සැලසුම් හා විවිධ මත

ශ්‍රී ලංකාවට ලැබුණු පළමු එන්නත් තොගය වූයේ ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු Oxford-AstraZeneca  එන්නත් මාත්‍රා 500,000ක ප්‍රමාණය බව 2016 අංක 12 දරණ තොරතුරු පනත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී අනාවරණය විය. එම එන්නත් තොගය මෙරටට ලැබී ඇත්තේ 2021 ජනවාරි 28 වැනිදා ය. 

රටේ අවදානම් කණ්ඩායම්වලට පළමුව එන්නත් කරන බව පැවසුව ද එවැනි කණ්ඩායම්වලට එන්නත් කර අවසන් කිරීමටත් පෙර පෙබරවාරි 16 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා දී තිබේ. 

එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් විවිධ විශේෂඥයන්ගේ අදහස් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමක දී අනාවරණය වූයේ වයස අවුරුදු 18ට ටවැඩි පුද්ගලයන් 450,000කට එන්නත් මාත්‍රා ලබාදීමෙන් වසංගතය පාලනය කළ හැකි බවට මතයක් තිබී ඇති බවයි. එම මතය ප්‍රකාශ කර ඇත්තේ එවකට කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි විසිනි. 

එවකට රජයේ ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ මතය වී ඇත්තේ වසංගතය පාලනය කිරීමට එන්නත් මිලියන 2.3ක් ලබාදිය යුතු බවයි. 

රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා ඇත්තේ වසංගතය පාලනය සඳහා ජනගහනයෙන් 60%ක් එන්නත් කළ යුතු බව යි.

එසේ වුව ද සෞඛ්‍ය අංශ සතුව එන්නත්කරණය සම්බන්ධයෙන් පැහැදිලි මතයක් තිබී නැත. 

සෞඛ්‍ය අමාත්‍යාංශය, යුද හමුදාව ආදී ආයතනවල ප්‍රධානීන් විසින් පවත්වන ලද කොරෝනා මර්දන වැඩසටහෙනේ විවිධ සාකච්ඡාවල දී ඉදිරිපත් ව ඇති මේ එකිනෙකට වෙනස් මතවලින් පැහිදිලි වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට, එන්නත්කරණය මගින් වසංගතය පාලනය කිරීම පිළිබඳ නිසි අවබෝධයක් හෝ විධිමත් සැලසුමක් හෝ තිබී නැති බවයි. 

නොමිලේ මාත්‍රා ලක්ෂ 78ක්

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ලද විමසීමක දී අනාවරණය වන්නේ COVAX වැඩසටහන යටතේ ලංකාවට පරිත්‍යාග ලෙස එන්නත් 4,308,360ක් ලැබී ඇති බවයි. එමෙන් ම සෘජු පරිත්‍යාග ලෙස ද එන්නත් මාත්‍රා 3,505,000ක් ලැබී ඇති බව තොරතුරු පනතින් කරන ලද විමසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී ලබාදුන් පිළිතුරු ලේඛනවලින් තහවරු වෙයි. 

මේ අනුව ශ්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන් පමණක් එන්නත් මාත්‍රා 7,813,360ක් ලැබී ඇත.

තොරතුරු පනතින් කරන ලද විමසීමට ලැබුණු පිළිතුරු අනව සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් මිල දී ගෙන ඇත්තේ පහත සඳහන් ආකාරයෙනි.

එන්නත    මිල දී ගත් රටමිල දී ගත් මාත්‍රා ගණන
ඇස්ට්‍රාසෙනිකා  ඉන්දියාව500,000
ස්පුට්නික් 5  රුසියාව330,000
ෆයිසර්නෙදර්ලන්තය18,999,630  
සයිනොෆාම්චීනය  23,000,000
එකතුව  42,334,630

මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ පරිත්‍යාග වශයෙන් සහ මිලදී ගැනීම් මගින් කොරෝනා එන්නත් මාත්‍රා 50,147,990 ක් ලංකාවට ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දුන්නේ අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට එන්නත් මාත්‍රා දෙකක් සහ අවුරුදු 12-18ත් අතර ළමයින්ට එක් මාත්‍රාවක් වශයෙනි.

2020 ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාවේ එවකට අවුරුදු 12ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව 17,269,000කි. ඒ සංඛ්‍යාවෙන් වයස අවුරුදු 12-18ත් අතර පසුවන 1,769,500කට ලැබිය යුතු වන්නේ එක් එන්නත් මාත්‍රාවක් පමණි. එන්නත් මාත්‍රා දෙක බැගින් ලබාගත යුතු සංඛ්‍යාව 15,499,500කි. ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සමස්ත එන්නත් සංඛ්‍යාව වන්නේ එන්නත් මාත්‍රා 32,768,500කි. පරිත්‍යාග ලෙස ලැබුණු සහ රජය විසින් මිල දී ගත් එන්නත්වල සමස්ත එකතුව 50,147,990ක් වන බැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ම නිර්දේශ කළ එන්නත්කරණ වැඩසටහනට අනුව අවශ්‍යකරන එන්නත් ප්‍රමාණයට වඩා එන්නත් විශාල ප්‍රමාණයක් (17,379,490) අතිරේක ව ගෙන්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව එන්නත් මාත්‍රා 03ක් ලබාගැනීම නිර්දේශ කළේ ය. ඒ අනුව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ද ඇති තරම් එන්නත් ප්‍රමාණයක් තිබූ බැවින් එන්නත් මාත්‍රා තුනක් ජනතාවට ලබා දීම නිර්දේශ කෙරිණි.

කිසිම සැලැස්මක් නොතිබුණ ද රටේ වසංගතය පාලනය කළ බවට රජය ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය සහ වෙනත් නිෂ්පාදන සහ අවිද්‍යාත්මක ‍ක්‍රම කෙරෙහි ජනතාව නැඹුරුවීමට පෙලැඹවීම යන කරුණු හේතුවෙන් අදටත් තුන්වැනි මාත්‍රාව සහ හතරවැනි මාත්‍රාව ලබා නොගත් බොහෝ පිරිසක් සමාජයේ වෙසෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මෙම එන්නත් සම්බන්ධ තොරතුරු අඩංගු වීම අනිවාර්ය අවශ්‍යතාවකි. 2016 අංක 12 තොරතුරු පනත අනුව ඒවා ප්‍රගාමී තොරතුරු ය. 

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ එම තොරතුරු සඳහන් කර ඇත.

කල් ඉකුත් වූ මාත්‍රා ලක්ෂ 92ක්

ඒ අනුව,  ශ්‍රී ලාංකිකයන් සඳහා එන්නත් මාත්‍රා 40,116,590ක් ලබාදී තිබෙන අතර මාත්‍රා 10,031,400ක් ඉතිරිව  තිබී ඇත. කොරෝනා එන්නත් මිල දී ගැනීම සඳහා රජය අමෙරිකානු ඩොලර්  327,156,003ක මුදලක් වැය කර ඇති බව ද වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2023 ජූලි වනවිට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 75ක් කල් ඉකුත්වීම නිසා භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව තිබූ බවයි.

ෆයිසර් එක් එන්නත් මාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් 6.75ක පිරිවැයක් දරා ඇති අතර එන්නත් ලක්ෂ 75ක් කල් ඉකුත්වීම නිසා සිදුව ඇති පාඩුව ඇමෙරිකානු ඩොලර් 50,625,000කි.

මීට අමතරව ශ්‍රී ලංකාව මිල දී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක් ද ඉතිරිව ඇත.

සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකා රජය වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 8.391කි. ඒ අනුව භාවිතයට නොගෙන කල් ඉකුත් වූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 17හි වටිනාකම අමෙරිකානු ඩොලර් 14,264,700කි.

එන්නතේ නම  එක් එන්නතක් සඳහා පිරිවැය (ඇමෙරිකානු ඩොලර්)
ඇස්ට්‍රාසෙනිකා  5.25
ස්පුට්නික් 5  5 9.95
ෆයිසර්  6.75
සයිනොෆාම්  8.391

කරුණු විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ශ්‍රී ලංකා රජය ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් වඩා අඩු මුදලකට මිල දී ගැනීමට හැකියාව තිබිය දී චීනයෙන් සයිනොෆාර්ම් එන්නත් ගෙන්වාගෙන ඇති බව යි. නෙදර්ලන්තයෙන් ගෙන්වූ ෆයිසර් එන්නත් ගබඩාවල කල් ඉකුත්වීමට ඉඩ හැර, වැඩි මුදලක් ගෙවා චීනයෙන් ගෙන්වූ එන්නත් ද ප්‍රයෝජනයට නොගෙන කල් ඉකුත් වී තිබේ.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සිදු කළ එන්නත්කරණ ක්‍රියාවලියට නිසි සැලැස්මක් නොතිබූ බවට එයම හොඳ උදාහරණයකි.

නිසි සැලසුමක් නොමැතිව එන්නත්කරණ වැඩසටහන අනවශ්‍ය පරිදි ප්‍රමාද කළ රජය මෙරට ජනතාවට එන්නත් හිඟයක් ද මවා පෙන්වූයේ කොරෝනා මර්දන එන්නත ලබාගැනීම අතිශ්‍ය දුෂ්කර කාර්යයක් බවට පත් කරමිනි. වරු ගණන්, කිලෝ මීටර ගණන් දිගැති පෝලිම්වල සිටිමින් එන්නත් ලබාගැනීමට ජනතාව පොරකද්දී රජය කිසිම වග විභාගයකින් තොරව මහජනතාවගේ මුදල් අවභාවිත කරමින් රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් මෙරටට ගෙන්වා ඇත. 

මේ මුදල් විනාශ කළ පාලකයෝ අද නැත. නමුත් සැලසුම් සකස් කර ඒවාට උඩගෙඩි දුන් නිලධාරීන් අදටත් යෙහෙන් වැජෙඹෙති. 

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ දී නොතිබූ එන්නත් හිඟයක් මවා පෙන්වා එන්නත් ගබඩාවල කල් ඉකුත්වන තැනට පත්කර ඇති බව අනාවරණය වූයේ 2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ අප කළ විමසීමේ දී ය. 

පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

– මොහොමඩ් ආසික් ‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක්…

By In
පුවත්

කියපු හැටියට වඩා කරන හැටි වෙනස්ද?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මහජනතාවට ඇති ව්‍යස්ථාපිත බලය මැතිවරණ හෝ ජනමත විචාරනවලදී ක්‍රියාත්මක කිරීමෙන් පසු, එම බලය ක්‍රියාවට නංවන්නේ මහජන නියෝජිතයින්ය….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *