- ඉල්ලුවේ 2005 සිට 2024 දක්වා ජනාධිපතිවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවවල වියදම්
- ගෝල්ෆේස් පිටියේ ප්‍රදර්ශනය කළ වාහන ගැනත් ඉල්ලූ තොරතුරු තාම නෑ
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
මෙතෙක් පැවති ආණ්ඩු, විවිධ උත්සව කටයුතු සඳහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළද වර්තමාන රජය ඒ ආකාරයෙන් කටයුතු නොකරමින් විශාල මුදලක් ඉතිරි කර දීමට කටයුතු කරන බව නිතර අසන්නට ලැබෙන කරුණකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමේ උත්සවය එම ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රමුඛතම උදාහරණයයි.
මෙබඳු අවස්ථාවක, හිටපු ජනාධිපතිවරුන් දිව්රුම් දීමේ උත්සව සඳහා සිදු කළ වියදම් හා වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයේ පිරිවැය කොපමණ දැයි සංසන්ධනාත්මකව විමසා බැලීමේ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළ මෙන්ම මහජනතාව තුළද ඇති වීම නිරායාසයෙන් සිදු වන්නකි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා 2005 වර්ෂයේ සිට පිළිවෙළින් 2010, 2015 ,2019, 2022 හා 2024 වර්ෂවල පත් වූ ජනාධිපතිවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද වියදම් කොපමණද යන්න සම්බන්ධයෙන් විමසා 2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ 2024.09.24 දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු අයදුම්පතක් යොමු කරමින් තොරතුරු ඉල්ලා සිටියත් මෙතක් එම තොරතුරු ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු නොකරමින් එම තොරතුරු ලබාදීමට කල්මරමින් තිබේ.
මෙරට පැවති හෝ පවතින රජයන් මගින් මහජන මුදල් වැය කර සිදු කරන කටයුතු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට 2016 අංක 12 දරන තොරතුරු පනත මගින් නීතියක් ලෙසද සහතික කර තිබෙන පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය, ව්‍යස්ථාපිත නීතියක් මගින් තහවුරු කර තිබෙන පුරවැසි අයිතිවාසිකමට පිටුපා සිටින්නේ කුමන කරුණක් හේතුවෙන්ද යන්න බරපතළ ගැටලුවකි.
විශේෂයෙන්ම මෙම රාජ්‍ය උත්සව සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර තිබෙන බවට සමාජ මාධ්‍ය මගින්ද දැඩිසේ විවේචනයට ලක්වී තිබු අතර එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පුරවැසියන්ට දැනගැනීමට සැලැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු වුවත් ජනාධිපති ලේකම් කාර්යාලය එය මග හරිමින් තිබේ.
අදාළ තොරතුරු ඉල්ලුම්පත යොමු කිරීමෙන් පසු 2024.09.24 දිනැති ලිපියක් මගින් එම ඉල්ලුම්පත ලැබුණු බව පමණක් කඩිනම්ව දැනුම් දුන් අතර ඒ සදහා වැඩ කරන දින 14ක් තුළ තොරතුරු ලබා නොදීම හේතුවෙන් 2024.10.15 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයයක් ඉදිරිපත් කෙරිණි. 2024.10.21 දිනැතිව එම අභියාචනය ලැබුණු බව පමණක් දැන්වා ඇතත් ඒ සදහා තොරතුරු ලබාදීම මෙතක් සිදු නොකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය තොරතුරු පනතේ විධානයන් උල්ලංඝනය කර තිබේ.
ගෝල්ෆේස්හි ප්‍රදර්ශනය කළ වාහන
ඒ ආකාරයෙන්ම 2024 සැප්තැම්බර් 23 දින සිට ගෝල්ෆේස් පිටියට ගෙනවිත් දමා තිබුණු, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සම්බන්ධයෙන්ද 2024.11.12 දිනැතිව තොරතුරු ඉල්ලා අයදුම්පතක් යොමු කළත් ඒ සඳහාද තොරතුරු ලබාදීමට ජනාධිපති ලේකෙම් කාර්යාලය මෙතක් කටයුතු නොකරමින් සිටින්නේ කුමන කාරණයක් නිසාද යන්න ගැටලුසහත කරුණකිි.
රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල විනිවිධභාවය තහවුරු කරනු ලබන ප්‍රධාන සාධකයක් වන්නේ තොරතුරු අයිතිය යටතේ කරනු ලබන ඉල්ලීම්වලට කඩිනමින් පිළිතුරු ලබා දීම හා ප්‍රගාමී ලෙස මහජනතාවට එම තොරතුරු ලබාදීමට හෝ ලබාගැනීමට සැලැස්වමයි. නමුත් මේ ආකාරයෙන් තොරතුරු ලබාදීම කල් මරමින් සිටීම යනු එම තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමකි. විශේෂයෙන්ම දුෂණ විරෝධී ලෙස කැපී පෙනන වර්තමාන රජයේ ප්‍රතිපත්තියටද එවැනි තොරතුරු වසන් කිරීමේ ප්‍රවනතාවක් කිසිසේත් නොගැලපේ. ජනාධිපති ලේකම් කාර්යාලය මගින්ම එම අයිතිය කඩ කිරීම බරපතෙළ කාරණයකි. එවන් පසුබිමක මේ ආකාරයෙන් පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ඇති යාන්ත්‍රණය ශක්තිමත් කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය පසුබිම ශක්තිමත් කිරීමද විනිවිධ භාවයකින් යුතු රජයක වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ.