– ජනක සුරංග
දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින් ජනතාව මත පැටවුණත්, ආණ්ඩුවට ජනප්‍රිය පිළිතුරක් තිබේ. ඒ, රජයේ නාස්තිකාර වියදම් නතර කිරීම හා මහජන නියෝජිතයන් භුක්ති විඳි අධික වරප්‍රසාද කප්පාදු කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බවයි. සැබැවින්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තම වරප්‍රසාද කොපමණ අත්හැර තිබේද? ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් ලැබෙන විවිධ වරප්‍රසාද හා දීමනා කිසිත් ලබා නොගෙන ජනතාවට මුදල් ඉතිරි කර සේවය සලසන්නේද? ඔවුන් වෙනුවෙන් මහජනයාට දැරීමට සිදුව ඇති මුළු පිරිවැය කොපමණද? මේවා ජනතාව තුළ නිරන්තරයෙන් කුතුහලය දනවන කාරණාය.
2025 ජනවාරි මාසය පදනම් කර ගනිමින් අපි ඒ පිළිබඳව සොයා බැලුවෙමු.
අග්‍රාමාත්‍යයතුමිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා එහි නියෝජ්‍ය ඇමතිවරුන් සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශය මගින් පමණක් ගෙවනු ලබන මාසික වියදම් ප්‍රමාණය රුපියල් මිලියන 15 ඉක්මවයි. ඒ අතර කාර්යාල වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 5ක්ද, දුරකථන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක්ද වෙන් වී තිබෙන අතර, ඉන්ධන ගාස්තු වෙනුවෙන් ලබා දී ඇති මුදල රුපියල් මිලියන 6.1ක් වේ. මේ සඳහා අතිරේක ප්‍රවාහන දීමනා වශයෙන් වෙනම රුපියල් හත්ලක්ෂ පනස්දාහක්ද ගෙවා ඇත්තේ පැමිණීමේ දීමනාවට අතිරේක වශයෙනි.
මන්ත්‍රීවරුන්ගේ සමස්ත වැය ලක්ෂ 720 ඉක්මවයි️
නවක මන්ත්‍රීවරුන්ට රුපියල් 54,285ක මාසික දීමනාවක් සිය මන්ත්‍රී අසුන වෙනුවෙන් හිමි වන අතර, පාර්ලිමේන්තු මාසික වියදම් වාර්තාව අනුව මේ සියලු දීමනා එම මන්ත්‍රීවරුන් ලබාගෙන තිබේ. ඒ සමස්ත වියදම රුපියල් 9,337,020ක් වේ. රුපියල් ලක්ෂය බැගින් වන කාර්යාල දීමනාව ලෙස, සාමාන්‍ය මන්ත්‍රීවරුන් එකසිය හැත්තෑ දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ දෙකක් ලබාගෙන ඇති අතර, එම සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සමස්ත ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්ෂ 230ක් පාර්ලිමේන්තුව විසින් ගෙවා තිබේ. ඊට අමතරව රුපියල් පනස්දහස බැගින් වූ දුරකථන දීමනාව ලෙස ලක්ෂ 86ක් ද, රුපියල් විසිපන් ලක්ෂ අසූදහසක මුදලක් ප්‍රවාහන ගාස්තු ලෙස අතිරේකවද දරා තිබේ. රුපියල් දහස බැගින් වූ පැමිණීමේ දීමනාවක්ද, පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලදී එහි සහභාගීත්වය තහවුරු කරමින් අසුන්ගැනීමේ දීමනාවක්ද, එත් මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් 3,500 බැගින් වූ රියදුරු දීමනාවක්ද, විශේෂ කමිටු සඳහා සහභාගී වන ගෙවීම්ද ඇතුළුව තවත් රුපියල් මිලියන 3ක වියදම් ද මීට අන්තර්ගත වී තිබේ.
ඒ අනුව උතුරේ සිට දකුණ දක්වාත්, නැගෙනහිර සිට බටහිර දක්වාත් ජනතා ඡන්දයෙන් තේරීපත්ව පාර්ලිමේන්තුවට පැමිණ ඇති සියලුම දෙනාට, ඔවුන් කුමන තරාතිරමක නිරත් වූවත්, කුමන සමාජ පන්තියක් නිරූපණය කළත්, කුමන ආර්ථික මට්ටමක සිටියත්, නීත්‍යානුකූලව හිමිවන සියලු දීමනා හා වරප්‍රසාද එක හා සමාන ලෙස පාර්ලිමේන්තුවෙන් සපයා තිබෙන බව පැහැදිලි වේ. පාර්ලිමේන්තුවේ ගිණුම් අංශය මගින් මේවා අදාළ මන්ත්‍රීවරුන්ට ගෙවා ඇති බව තහවුරු වන අතර, ඒවා ඔවුන්ගේ පරිභෝජනය පිණිසද, නැතහොත් මීට පෙර ප්‍රකාශ වී ඇති පරිදි යම් පක්ෂ අරමුදලකට බැර වන්නේද යන්න, ජනතාවට විවෘතව ප්‍රකාශ කිරීම අදාළ පක්ෂයේ නායකයන්ගේ යුතුකමකි. මන්දයත්, මහජන මුදල් මන්ත්‍රීවරුන් හරහා කවර අරමුදලකට බැර වුවද ඒවා මහජන මුදල් ලෙසම සැලකිය යුතු බැවිනි.