පුවත්

අම්බලන්තොට නීතිවිරෝධී කුඹුරු ගොඩකිරීම් පිළිබද විස්තර තොරතුරු පනතින් අනාවරණය වේ

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

  අම්බලන්තොට ගොවිජන සංවර්ධන බල ප්‍රදේශයට අයත් අම්බලන්තොට තවාලුවිල අන්දර ලන්ද  ගිනිගල්ලන්ද  යන කුඹුරු යාය නීති විරෝධීව ගොඩ කරමින් ඉදි කරනු ලබන ගොඩනැගිලි සම්බන්ධයෙන් මීට මාස 08කට පමණ පෙර සිට අවස්ථා කීපයකදීම වර්තාකරනු ලැබුවත් අම්බලන්තොට ගොවිජනසේවා කාර්යාලයේ අදාළ නිලධාරීන් හෝ හම්බන්තොට ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක් තුළ අද වනවිට මෙම නීතිවිරෝධී ගොඩකිරීම් තවත් වැඩිවී තිබේ.

 මේ ආකාරයෙන් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා  ගොවිජනසේවා පනත මගින් අවසර නොමැති වුවත්  ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ හේතුව නිසා අද වනවිට බලය සහ ධනය ඇත්තෝ රිසි සේ කඹුරු ඉඩම් ගොඩ කරමින් තම වෙනත් වාණිජ අවශ්‍යතාවන්  ඉටුකරගනු ලබන්නේ රටේ නීතිය සැමට සමාන බව බිඳලමිණි. මෙහිදී බොහෝ ගොවීන් කියා සිටින්නේ ගොවිජන සේවා නීතිය ක්‍රියාත්මක වන්නේ අහිංසක ගොවීන්ට පමණක් කියා ය.

 රටේ නීතිය  තුට්ටුවකට මායිම් නොකරමින් තම බලය හා ධනය උපයෝගී කරගනිමින් නිලධාරීන් ද ඒ සඳහා අනුකූල කරගනිමින් සිදු කරන මෙම නීති විරෝධී කුඹුරු ඉඩම් ගොඩකිරීම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන අතර ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල පාක්ෂිකාවක ලෙස පෙනී සිටින ආකාරය ද පසුගිය කාලය තුල දී සිදුකළ ගවේශනයේ දී අනාවරණය වූ දෙයකි. එමෙන්ම මෙම නීති විරෝධී කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ ජාවාරම සඳහා දේශපාලන සහයෝගය ද ලබාගන්නවා ද ? යන්න සැකයක් පවතී.

 අදාළ නීති විරෝධී ගොඩනැගිලි ඉදිකරනු ලබන මෙම  කුඹුරුයාය තුළ 2005 වර්ෂයේ සිට මේ දක්වා විටින් විට  ගොඩකරමින් නීතිවිරෝධී ආකාරයෙන්  ගොඩනැගිලි ඉදිකරනු ලැබුවත් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් හෝ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර  කොමසාරිස් කාර්යාලය මගින් හෝ නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ  බරපතළ ගැටළුවකි.

 මේ පිළිබදව නිල වශයෙන් තොරතුරු දැනගැනීම සදහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව  2020 පෙබරවාරි 20 වන දින අම්බලන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත තොරතුරු ඉල්ලුම් පතක්  යොමුකළ අතර එහි දී ලැබුණු තොරතුරු වලට අනුව  අනාවරණය වූයේ එම ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවසරයක් ගෙන නොමැති බවත්  ඒ සියලු ඉදිකිරිම් නීති විරෝධී බවත් ය.

 එමෙන්ම එහි ඉදිකර තිබෙන ගොඩනැගිලි  දෙකක් සඳහා පමණක්  තහනම් නියෝගයක් ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කාර්යාලය වෙත පිටපත් යොමුකර තිබෙන බව ද එහි සඳහන් කර තිබේ . කෙසේ නමුත් මෙම නීති විරෝධී කුඹුරු ඉඩම් සම්බධයෙන් වූ තොරතුරු දැනගැනීම සඳහා 2020 මාර්තු මස 04 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර  කොමසාරිස් කාර්යාලයෙන්, තොරතුරු දැනගැනීමේ පනත මගින් තොරතුරු ඉල්ලා සිටි අතර එහි දී ලිපි අංක 9/1/3/17(III) යටතේ එවා තිබූ ලිපියේ දන්වා තිබුණේ  මේ සම්බන්ධයෙන් වූ තොරතුරු එම කාර්යාලයේ නොමැති බවයි .

  කුඹුරු ගොඩකිරීමේ ජාවාරම සම්බන්ධයෙන්  හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් සමන් ප්‍රේමලාල් මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙන බවයි.

   ඔහු එසේ කියා සිටියත් ආදාළ කුඹුරු ඉඩම් ගොඩකිරීම  සම්බන්ධයෙන් මේ වන තෙක් නඩු විභාගයක් කර නොමැති අතර ඒ තුළ අදාළ ව්‍යාපාරිකයා ගොඩනැගිල්ල සාදා නිමකොට, ඒ ආසන්නයේ ඇති තවත් කුඹුරු ඉඩමක් හාරා එහි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් හෝ එයට සමාන ඉදිකිරීමක් කිරීමට මේ වන විටත් කටයුතු කර හමාර ය. ඒ සඳහා ද ගොවිජන සේවා නිලධාරීන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක අදාළ ව්‍යාපාරිකයා රිසි සේ ගොවිජන සේවා නීතිය කඩකරනු ලබයි.

එමෙන්ම අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීම හා ඉදිකිරීම ආරම්භ කරනු ලබන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනයන් තුළ දී වීම විශේෂත්වයකි. එයට ප්‍රධානතම හේතුව එම දිනයන්හි රාජ්‍ය ආයතන බොහොමයක්  රාජකාරී කටයුතු නොකරන හා අදාළ නිලධාරීන් නොමැතිවීම තුල රිසි සේ තම නීතිවිරෝධී කටයුතු සිදුකරගැනීමට අවස්ථාව ලැබීමයි. එය ද රජයේ නිලධාරියෙකුගේම අදහසක් ද? 

නීති විරෝධී කුඹුරු ගොඩකිරීම සඳහා අවසරදීමේ තැතක් 

එමෙන්ම මේ ආකාරයෙන් නීතිවිරෝධිව කුඹුරු ඉඩම් ගොඩකරමින් පසුව ඒ සඳහා අවසර ලබා ගන්නා තැනට නිලධාරීන් නම්මා  ගැනීම අදාළ ජාවාරම්කරුවන්ගේ සැලසුම් වේ. බොහෝ අවස්ථාවන්හි ගොවිජන සේවා නිලධාරීන් එම ගොඩනැගිලි සඳහා අවසර ලබාදීම ද සිදුකරනු ලබන්නේ කුමන  වරප්‍රසාද  වෙනුවෙන් ද යන්න නීතිගරුක නිලධාරීන්ගේ අවධානයට විමර්ශනයට යොමු විය යුතු කාරණාවක් වේ.

  එමෙන්ම  ගොවිජන සේවා පනතට අනුව කුඹුරු ඉඩමක් ගොඩකර ගැනීමට පෙර කුඹුරු ඉඩමක් නොවන බවට සහතිකයක් ලබාගැනීම සඳහා ඉඩමේ පිඹුරුපත සමග ඔප්පු පිටපතක් ඉල්ලුම් පත්‍රය සමග කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතු ය. ලැබෙන ඉල්ලුම්පත් අනුක්‍රමික අංකයක් යටතේ ලේඛනගත කිරීමෙන් පසු ගොනුවක් විවෘත කර අනුක්‍රමික අංකය/ ගොනු අංකය (බලපත්‍ර අංකය) ලෙසට සටහන් කර ඉඩම පිහිටි දිස්ත්‍රික්කය සඳහා පත්කර සිටින නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් වෙත අවශ්‍ය නිරීක්ෂණය හා නිර්දේශයන් සඳහා යොමු කළ යුතු ය.

එමෙන්ම  2011 අංක 46 දරන ගොවිජන සංවංර්ධන සංශෝධිත පනතින් සං‍ශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතියට අනුව එම  පනතේ 33 වන වගන්තිය මගින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩකිරීම, පස් ඉවත්කිරීම හා ගොඩනැගිල්ලක් ඉදිකිරීම නොකළ යුතු බව සඳහන් කර තිබේ .

 එමෙන්ම එම පනතේ 32 -1 වගන්තියට අනුව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩකිරීම වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එම පනතේම 33 -1 වගන්තියට අනුව එසේ යම් කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයක් සඳහා යොදා ගෙන තිබේ නම් එය ඉවත්කිරීමට බලය ලබා දී තිබේ.

 එමෙන්ම  2011 අංක 46 දරන ගොවිජන සංවංර්ධන සංශෝධිත පනතින් සං‍ශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතියට අදාළව එම  පනතේ 35 -1 වගන්තියට අනුව යම් කුඹුරු ඉඩමක් ගොඩ කිරීම තුලින් ඒ අසළ කුඹුරු සඳහා ජලය ගෙන යන ජලමාර්ග  අවහිර වීම ද වරදක් බව සඳහන් වේ.

  කෙසේ නමුත් එම කුඹුරු යාය තුළම සිටින තවත් ගොවි මහතුන් 12 දෙනෙකු තමන්හට නිවාස  ඉදිකරගැනීම සඳහා එම කුඹුරු යාය තුළ කුඹුරු ගොඩ කර ගැනීමට අවසර ඉල්ලා සිට ඇති නමුත් ඒ සඳහා වසර පහකට අධික කාලයක සිට මේ දක්වා අවසර ලබා දී නොමැත. නමුත් විශාල හෝටල් , වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් 2005 වර්ෂයේ සිට මේ දක්වා එම කුඹුරු යාය තුල ඉදි වන අතර අද වන විටත් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන්, ඒ ඉදි කරනු ලබන කිසිදු නීති විරෝධී ගොඩනැගිල්ලක් අධිකරණ ක්‍රියාමාර්ග යටතේ ඉවත්කිරීමට කටයුතු නොකිරීම තුළින් පෙනී යන්නේ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් ගොඩකිරීම් සඳහා වූ පනත ක්‍රියාත්මක වන්නේ අහිංසක ගොවි මහතුන් සඳහා පමණක් මිස ධනවතුන්ට හා බලවතුන්ට නොවන බවයි.

 අද වන විටත් මේ ආකාරයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක‌යේ තවත් ස්ථාන රාශියක නීති විරෝධී ආකාරයෙන් සූක්ෂමව කුඹුරු ඉඩම් ගොඩකිරීම්  සිදුකරනු ලබයි. එහි දී ප්‍රථමයෙන් කුඹුරු ඉඩම් තුළ කන්න කීපයක කෙසෙල් වගාකිරීමට කටයුතු කර පසුව එය පුරන්වීමට ඉඩ සලස්වා අනතුරුව  සරුසාර කුඹුරු ඉඩම්  මේ ආකාරයෙන් ගොඩකිරීම්  සිදුකරනු ලබයි. ඉහත කුඹුරු යාය ද ගොවිජනසේවා නිලධාරීන්ගේ ඇස් වසා  ඒ අයුරින්  සූක්ෂමව ගොඩ කරනු ලැබූ එකක් වේ. නමුත් රජයේ වැටුප් ලබමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින ගොවිජනසේවා නිලධාරීන් මෙම නීති විරෝධී ක්‍රියා හමුවේ අන්ධයින් බිහිරන් සේ සිටීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතල ගැටලුවකි.

පුවත්

කල්මුණේ වෙත ලැබුණු රුපියල් මිලියන 2,600ක ව්‍යාපෘතියක් අත්හිටුවයි : තොරතුරු දැනගැනීමේ පනත හරහා සිදුකළ තතු අනාවරණය

රිෆ්දි අලි ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද රුපියල් මිලියන 2,600ක ණය ආධාර සහිතව මෙරට ක්‍රියාත්මක කරන ලද ‘ද්විතීයික නගර සඳහා වූ…

By In
පුවත්

විසඳුමක් ඇති නමුත් තවම විසඳී නැති මිහිඳුසෙන්පුර කසල ගැටළුව​

මෑතක දී සිට කොළඹ නගරයේ කුණු කසල බැහැර කිරීම පිළිබඳ මහජනතාවගෙන් බොහෝ සෙයින් පැමිණිලි ලැබෙන බවක් දක්නට ලැබේ. මෙයට වසර…

By In
පුවත්

හම්බන්තොට කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීමටවත් ගොවිජන සේවා කාර්යාලය තොරතුරු ලබා දී නෑ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින තොරතුරු නොදී වගකීම් විරහිතව කටයුතු කරන හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස්…

By In
පුවත්

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන්  වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ  සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා රාහුල් සමන්ත හෙට්ටිආරච්චි     පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හි පැවති  පාර්ලිමේන්තු මහ මැතිවරණ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *