– මංගලනාත් ලියනආරච්චි, ත්‍රිකුණාමලය
මෑත ඉතිහාසයේ ත්‍රිකුණාමලයේ ජනප්‍රියතම ඡන්ද පොරොන්දුව කන්තලේ සීනි කම්හලයි. 1994 සිට මේ දක්වා පැවති සෑම ජනාධිපතිවරණයකදී මෙන්ම මහමැතිවරණවලදීත්, අනෙකුත් ඡන්ද විමසීම්වලදිත් කන්තලේ සීනි කම්හල නැවත ඇරඹන බව කියමින් සිදු කළ මුල්ගල තැබීම් සහ උත්සව ගණන හතරකි. ඒ වෙනුවෙන් වැය කළ මුදල් සම්භාරය අතිමහත්ය. නමුත්, අද වනතුරුත් එකදු සීනි ඇටයක් හෝ නිපදවා නැත. අනූව දශකයේ මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යහගත කිරීම හෙවත් පෞද්ගලීකරණය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ වළ පල්ලට ගිය ආයතන අතරින් කන්තලේ සීනි කම්හලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
චෙකොස්ලැකියානු රජයේ ආධාර මත 1960 වසරේ ඉදිවූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව එවකට දකුණු ආසියාවේ විශාලතම සීනි කම්හල විය. පරිපාලනය හා සේවකයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එය 93 වසරේ වැසී යන විට, එහි ස්ථීර සේවක සංඛ්‍යාව 3000 ඉක්මවූ අතර, අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් සමග සමස්ත සේවක සංඛ්‍යාව 6000ක් පමණ විය. විවිධ දේශපාලඥයන්ගේ අතකොළුවක් බවට පත් වූ කන්තලේ සීනි කම්හලේ සේවක අතිරිත්තයද, එහි විනාශයට බලපෑ බව රහසක් නොවේ.
පරිහානියට හේතු
1986 වසරේ අප්‍රේල් මස 20 දින කන්තලේ ජලාශය බිදී යාමත් සමග වසර කිහිපයක් උක් වගා කිරීමට නොහැකිවීම, උක් වගාවට වැළඳුණු කොළ සුදුවීමේ රෝගය, යුද ගැටුම්වල බලපෑම වැනි කාරණා හේතුවෙන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පාඩු ලබන්නට වූ අතර, එහි අවසාන ප්‍රතිපලය වූයේ, සීනි කම්හල ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් පෞද්ගලිකකරණයයි.
කන්තලේ සීනි කම්හල මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයකට ලක්වීමට ඉහත කරුණු අඩු වැඩි වශයෙන් බලපෑ බව පොදු පිළිගැනීම වුවද, බොහෝ දෙනකු කතා නොකරන තාක්ෂණික කාරණා කිහිපයක්ද ඒ තුළ ඇති බව ඇතැමෙකුගේ අදහසයි.
කන්තලේ සීනි කම්හල ස්ථාපිත කෙරෙනුයේ 1965 වසරේ වුවද, එහි යන්‍ත්‍ර සූත්‍ර අඩුම තරමින් නිෂ්පාදතය කර ඇත්තේ 1955 වසරටත් පෙරය. 1993 පමණ වන විට මෙම යන්‍ත්‍රවල නිෂ්පාදන හැකියාව පහළ මට්ටමක පැවතීම, බිඳවැටීම් වාර ගණන වැඩි වීම යන කරුණුද කම්හලේ පරිහානියට හේතු විය. නිසි කලට පැරණි යන්ත්‍ර සූත්‍ර ඉවත් කොට නව යන්ත්‍ර වෙත යාමේ ඉංජිනේරුමය කළමණාකාරිත්ව තීන්දු නිසි කලට නොගැනීමෙන් සිදු වූ හානිය සුළුපටු නොවන බව යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන මහේෂ් චතුරංග පෙන්වා දෙයි.
අනුරගේ පොරොන්දුව
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ත්‍රිකුණාමලය උවර්මලෛ ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ, තම රජයක් යටතේ කන්තලේ සීනි කම්හල අනිවාර්යයෙන්ම ස්තාපිත කරන බවත්, එතෙක් එහි පිහිටි භූමිය කෙටි කාලීන බෝග වගාව සදහා ගොවි ජනතාවට තාවකාලිකව නිදහස් කරන බවත්ය. ඒ අනුව මේ වන විටත්, කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 11,000ක ප්‍රමාණයක් නිදහස් කර ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකට අනුව කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තහවුරු කරයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලඥයන් සිය බලය මෙන්ම දේශපාලන පැවැත්ම රැක ගැනීමේ තුරුම්පුව ලෙස කන්තලේ සීනි කම්හල යොදා ගත් අවස්ථා ඉතිහාසය පුරාම සුලබය. මහ මැතිවරණයෙන් පරාජයට පත් වන සේරුවිල ආසනයේ දේශපාලන බලවතාගේ ඊළඟ ඉලක්කය, වැසී ගිය කන්තලේ සීනි කම්හලේ සභාපති හෝ නිසා බලධරයා වීමයි. කම්හලට අයත් සම්පත් අබලි ද්‍රව්‍ය ලෙස විකිණීමෙන් සහ අධිකරණ ක්‍රියා මාර්ග හරහා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ගැනීමට බලයේ සිටි දේශපාලඥයන් මෙන්ම මෙසේ පත් කෙරෙන නිසි බලධරයන්ද රාජ්‍ය නිලධාරීන්ද, ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන්ද හවුලේ ක්‍රියා කර ඇති අන්දම රහසක් නොවේ.
2015 වසරේ බලයට පත‍් යහපාලන රජයේ පළමු සංවර්ධන ව්‍යාපෘතිය වූයේ, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමයි. ඊට මුල් වූයේ, එම රජයේ ප්‍රබලයෙකු වූ ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන යි. කන්තලේ සීනි කම්හල නැවත ආරම්භ කිරීම සදහා ඔවුන් තෝරා ගෙන තිබුණේ, දේශීය ආයතනයක් වූ එම්.ජී. ෂුගර් නැමැති ආයතනයකි. එය එස්.එල්.අයි. ඩිවලොප්මන්ට් නැමැති බ්‍රිතාන්‍ය සමාගමක හවුල්කාර සමාගමකි.
යහපාලනයේ ගිවිසුම
කන්තලේ සීනි කර්මාන්ත සමාගම පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ප්‍රතිව්‍ය්‍රහගත කිරීම සදහා ඉදිරිපත් කෙරෙන යෝජනාවට 2015 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අදාළ ගිවිසුමට 2016.08.11 දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතාද, එම්.ජී. ෂුගර් සමාගමේ බලයලත් නිලධාරියෙකුද අත්සන් තබා ඇත.
අත්සන් තබන ලද ගිවිසුමේ දේපළවල අයිතිය සම්බන්ධයෙන් පවතින අපැහැදිලි තත්වයන් හේතුවෙන් අදාළ සමාගම් සීනි කර්මාන්ත ශාලාව ඉදිකිරීම මගහැර කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අනුව අපේක්ෂිත ව්‍යාපාරික මෙහෙයුම සඳහා යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර, ගොඩනැගිලි හා ඉඩම්වල ඇති ඉදිකිරීම්වල අයිතියද ඉල්ලා සිටීම මෙම ගැටලුවේ මූලාරම්භය විය.
කෙසේ වෙතත් එවකට හිටි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කන්තලේ සීනී කර්මාන්ත සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ඉහළම ලංසුවකට විකිණිමට 2017.08.09 දින පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එකී දැන්වීමට එරෙහිව නෛතිත ක්‍රියාමාර්ගවලට පිවිසෙමින් අදාළ ආයෝජන සමාගම ශ්‍රී ලංකා රජයට එරෙහිව අතුරු තහනමක් ඉල්ලා සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙදුම්කරණ මධ්‍යස්නයේ බෙදුම්කරණ නඩුවක් පවරනුයේ, මුඛ්‍ය පරමාර්ථය වූ සීනි කර්මාන්ත ශාලාව නැවත ඉදිකිරීම තවදුරටත් යථාර්ථයක් නොවන බව ඔප්පු කරමිනි. මෙහිදී සිංගප්පූරු බෙදුම්කරණ මධ්‍යස්ථානය සීනී කර්මාන්ත සමාගමට අයත් යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර හා ගොඩනැගිලි විකිණිම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමෙන් ශ්‍රී ලංකා රජය වළක්වාලමින් ආයෝජකයාට වාසිසහගත අතුරු සහනයක් නිකුත් කරනුයේ, නැති ජරමරයකට ශ්‍රී ලංකා රජය පටලවමිනි.
රජයට අවාසිසහගත තීන්දුවක්
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිට තිබේ. බොහෝ විට නීතිපතිවරයා හෝ ඒ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ මැදිහත්වීමේ දුර්වලතාවයක් හේතුවෙන් මෙබඳු අවාසිසහගත තීරණයක් ලැබෙන්නට ඇති බව ඇතැමෙකුගේ අදහසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කන්තලේ සීනි කම්හල සුරැකීමේ සංවිධානයේ සභාපති හිටපු පාර්මේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මෙසේ පවසයි.
“යහපාලන රජය ඒ කාලේ තමන් වැඩ කරනවා කියලා ජනතාවට පෙන්වීමට තමා මේ ගිවිසුම කඩිමුඩියේ අත්සන් කෙරුවේ. ඇත්තටම මේ ගිවිසුමේ අත්‍යාවශ්‍ය කාරණා සම්බන්දයෙන් හරිහැටි කරුණු සඳහන්ව තිබිලා නැහැ. ඉතින් අපේ නීතිපති ඇතුළු පිරිස මේ නඩුවට පෙනී සිටින්නේ, ඉතාමත් අවාසිසහගත ලිපි ලේඛන සහිතවයි. අනික මේ ගිවිසුම කාගේ උවමනාවක් වුණත්, මේක සකස් කරන්නේ අදාළ අමාත්‍යාංශවල නීති රීති සම්බන්ධයෙන් අවබෝධයක් සහිත විශාරදයන් මිස කාර්යාල ලිපිකරුවන් හෝ සුළු සේවකයන් නෙවෙයි. මේ නඩුව සම්බන්ධයෙන් පෙනී සිටි නිලධාරීන්ට මෙම නඩුව දිනන්න උවමනාවක් තිබුණද කියලා ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මේ සඳහා පෙනී සිටි අයට අදාළ ලිපි ලේඛන හෝ නොතිබුණු බව තමයි අපිට දැනගන්න තිබෙන්නේ. ඒක අපි දකින්නේ ඇත්තටම මේ දූෂිත නිලධාරීන්ගේ ඩීල් එකක් හැටියටයි. දේශපාලඥයන්ගේ දූෂිත බවට නිලධාරීනුත් වග කිව යුතුයි..”
එම්.ජී. ෂුගර් හා එස්.එල්.අයි. ඩිවලොප්මන්ට් යන ආයෝජකයන් ඉන් අනතුරුව එම අධිකරණයේම තවත් නඩුවක් ගොනු කරනුයේ, කොටස් හිමිකාරිත්ව ගිවිසුමේ 7.1.1(අ),(ආ) හා (ඇ) වගන්ති විස්තර කර ඇති ඉඩම් පරිශ්‍ර සහ ඒ තුළ පිහිටා ඇති සියලු යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර, ගොඩනැගිලි හා එහි ඇති ඉදිකිරීම් ද ඇතුළුව සන්තකය හිමි බවට ප්‍රකාශ කරමින් ප්‍රධානයක් කරන ලෙස හා ගිවිසුමෙහි 7.9 වගන්ති අනුව 7.11(අ ) , (ආ ) හා (ඈ) දක්වා ඇති ඉඩම් හා පරිශ්‍ර සමග සියළු යටිතල පහසුකම් යන්ත්ර සූත්‍ර,ගොඩනැගිලි හා එහි ඇති ඉදි කිරීම්වල සන්තකය ඇති සැටියෙන් සමාගම වෙත ලබාදීම සදහා ශ්‍රී ලංකා රජය වෙත නියෝගයක් ලබා දෙන ලෙස බෙදුම්කරණ මණ්ඩලය වෙත තවත් ඉල්ලීමක් කරමිනි.
කෙසේ වෙතත්, ඉඩම් අමාත්‍යාංශය විසින් එකී ඉඩම තුළ කොටස්කාර ගිවිසුමේ දක්වා ඇති ඉඩම් හා පරිශ්‍රයන් ආයෝජන සමාගම වෙත භාරදීමට කටයුතු නොකෙරුණු අතර රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටි එවකට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ආචාර්ය අයි.එච්.කේ. මහානාම 2018 මැයි මාසයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, එම්.ජී. ෂුගර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කේ.පී. නාගරාජාගෙන් අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව මතය.
දැවැන්ත මූල්‍ය අලාභයක්
කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් ඇති වන අලාභය ලෙස ඇ.ඩො. මිලියන 100ක්ද ඉදිරියටත් සිදු වන පාඩුව හේතුවෙන් මසකට ඇ.ඩො. මිලියන 5 බැගින්ද ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා උද්ධමනය හේතුවෙන් වූ පිරිවැයද, ආදර්ශ අලාභයන් හා බෙදුම්කරණ සදහා වූ පිරිවැයද ඉල්ලා අදාළ ආයෝජන සමාගම ශ්‍රී ලංකා රජයට එරෙහිව සිංගප්පූරු බෙදුම්කරණ මධ්‍යස්ථානයේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට කටයුතු කර තිබේ.
සිංගප්පූරු ජාත්‍යන්තර බෙදුම්කරණ මධ්‍යස්ථානය විසින් 2019.08.07 වන දින විද්‍යුත් තැපෑල මගින් අදාළ පාර්ශ්වයන් වෙත අවසාන බෙදුම්කරණ තීරණය දැනුම් දෙනු ලැබු අතර, එකී තීරණය මත කටයුතු කරන ලෙස නීතිපතිවරයා රජයට උපදෙස් දී ඇත.
මෙහිදී විනිෂ්චය සභාව විසින් ව්‍යාපෘතිය ප්‍රමාදවීම සදහා වන ඇ.ඩො. මිලියන 100 අලාභය, ඉදිරියට සිදුවන පාඩු වෙනුවෙන් මසකට ඇ.ඩො. මිලියන 5 බැගින් වන අලාභය හා ආදර්ශ අලාභය සදහා වන ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත. එහෙත්, විනිශ්චය සභාව විසින් පහත සදහන් තීරණ ඒකමතිකව ගෙන තිබේ.
1. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය ශ්‍රී ලංකා රජය මගින් සිදු වී ඇති බව විනිශ්චය සභාව විසින් තීරණය කර ඇති අතර, එකී ප්‍රමාදය වෙනුුවෙන් ව්‍යාපෘති පිරිවැය සඳහා 15%ක වැඩි වීමක් පිරිනමා ඇත. එය ව්‍යාපෘති සැලසුම අනුමත වූ විට පමණක් ගෙවිය යුතු බව සඳහන් කර ඇත.
2. බෙදුම්කරණයට අදාළ වියදමින් 50%ක් වන සිංගප්පූරු ඩොලර් 626,877.54ක් හා අතුරු නියෝගය විමසීම සඳහා වියදම වන සිංගප්පූරු ඩොලර් 30,070ක් වග උත්තරකරු වන ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු වේ.
3.හිමිකම් ඉල්ලා සිටින අයගේ නෛතික ගාස්තුවෙන් 95% ක් වන ඇමෙරිකානු ඩොලර් 237,569.83ක ප්‍රමාණය වගඋත්තරකාර ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු වේ. එසේම හිමිකම් ඉල්ලා සිටින පාර්ශ්වයේ සංචාරය හා නවාතැන් සදහා වන ආනුෂාංගික වියදම් වන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 211,913.93 ක මුදල ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු වේ. ශ්‍රී ලංකා රජය දැනටමත්, බෙදුම්කරණ ගාස්තුවේ අත්තිකාරම් ලෙස සිංගප්පූරු ඩොලර් 64,764ක මුදලක් තැන්පත් කර තිබෙන අතර, අවසාන බෙදුම්කරණ තීන්දුව මත ගෙවිය යුතු මුදල මත පොලිය එකතුවීම වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් ගෙවීම් සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ඉක්මනින් ගෙවීමට නියෝගයක්
මුදල් අමාත්‍යාංශය විසින් 2019 09.23 වන දින පහත කරුණු සදහා අනුමැතිය ඉල්ලා අමාත්‍යාංශ මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය. එකී කැබිනට් සංදේශයට අනුව එම්.ජී. ෂුගර් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා රජය අතර සිංගප්පූරු ජාත්‍යන්තර බෙදුම්කරණ විනිශ්චය සභාවේ බෙදුම්කරණ 313/2017 හි අවසාන තීරණය සම්බන්ධයෙන් වන පහත ගෙවීම් සදහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරා ඇත.
බෙදුම්කරණ පිරිවැයෙන් 50% වන සිංගප්පූරු ඩොලර් 626,877.54 ක් හා අතුරු නියෝගය විමසීම සඳහා ගාස්තුව වන සිංගප්පූරු ඩොලර් 30,070ක මුදල, ව්‍යාපෘති සැලසුම අනුමත වීමෙන් පසුව ප්‍රමාදය නිසා ගෙවිය යුතු ව්‍යාපෘති පිරිවැයේ 15%ක වැඩි වීම, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 211,913.93ක් වන හිමිකම් පාර්ශ්වයේ සංචාර හා නවාතැන් සඳහා වන අනුශාංගික වියදම්, හිමිකම් පාර්ශ්වයේ නෛතික ගාස්තු ලෙස ඇ.එ.ජ. ඩොලර් 237,569.83ක් වූ මුදල ගෙවන ලෙස හා කොටස්කාර ගිවිසුමේ 7.1.1 (අ), (ආ) සහ (ඈ) වගන්තිවල විස්තර කර ඇති ඉඩම් හා පරිශ්‍ර ඒවායේ යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර, ගොඩනැගිලි හා එහි ඉදිකිරීම් සමග ඇති සැටියෙන් ආයෝජක ආයතනය වෙත භාරදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉඩම් අමාත්‍යාංශයේ හා වැවිලි කර්මාන්තයේ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ අනුව කන්තලේ සීනි සමාගම නැවත ආරම්භ නොකරම, අතිවිශාල මුදල් සම්භාරයක් ගිල ගැනීමට අදාළ ආයෝජන සමාගම සමත් වී ඇත. කන්තලේ සීනි කම්හලේ එවකට පැවති නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 1200කි. නමුත්, මේ වන විට සිදු කළ ශක්‍යතා අධ්‍යන මගින් හෙළි වී ඇත්තේ, මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිත නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට වැය වන මුළු මුදල ආසන්න වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක් බවයි.
කම්හලක් හදන සල්ලි වතුරේ!
ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වැනි අයෝජනයක් සිදු කිරීම සඳහා ඉදිරිපත් වීමට දේශීය ආයෝජකයන් සිටියදී, විදෙස් ආයෝජකයන් තෝරා ගැනීම පිටුපස මහ පරිමාණ කොමිස් මුදල් හා වෙනත් වරදාන හුවමාරු වන බවට ජනතාවගෙන් නැගෙන චෝදනාව බැහැර කළ නොහැක. සීනි ඇටයක් හෝ නිෂ්පාදනය නොකළ විදේශීය ආයතනයකට ඩොලර් මිලියන දෙසීයකට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවීම අප රටේ දේශපාලඥයන්ටත් වඩා රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම හා පාරද්‍රෘශ්‍යභාවය පිළිබඳ කදිම පාඩමකි. එම මුදල නව සීනි කම්හලක් ඉදිකිරීමට වැය වෙන මුදලට සමාන වූවකි.
කන්තලේ සීනි කර්මාන්ත සමාගම නැවත ආරම්භ කිරීමේ අරමුණින් අදාළ ආයෝජන සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුම කෙටුම්පත් කිරීම යහපාලනය රජය සමයේ සිදු වූ බරපතළ වැරැද්දක් බව පුන පුනා කිව යුතු නැත. 2016 වසරේ මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා වැඩිම කාර්යභාරයක් සිදු කොට ඇත්තේ, හිටපු ඉඩම් අමාත්‍ය, (අභාවප්‍රාප්ත) එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන යි. එහෙත්, මෙම ගිවිසුම් කෙටුම්පත් කරනුයේ රාජ්‍ය නිලදාරීන් මිස ඇමතිවරයා නොවේ. මේ ගිවිසුම හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්භාරය, ඊට සම්බන්ධ වූවන්ගෙන් නැවත අය කර ගත යුතු නොවේද යන්න සංවාදයට බදුන් විය යුතු කරුණකි.
වංචාව, දූෂණය පිටුදකින බව කියමින් හා රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බවට ජනතා පොරොන්දු වෙමින් අනතුරුව බලයට පැමිණි ගෝඨාභය රජයද පරණ තැටියම වාදනය කරමින් එකී ක්‍රියාදාමයට අනුගත වූවා මිස, එයින් ගොඩ එන ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, පසුගිය කාලයේ බලයට පැමිණි කිසිදු රජයකට කන්තලේ සීනි කම්හල නැවත ස්ථාපිත කිරීමේ උවමනාවක් නොතිබු බවත් එහි හිටපු සේවකයෙකු වූ ලයනල් සිල්වා කියා සිටී. ඔහු, බලයට පැමිණි ආණ්ඩු රැසකම දේශපාලන බලවතුන් සමග සමීපව කටයුතු කළ අයෙකි.
“බලයට එන්න කලින් තිබුණ උවමනාව බලයට ආවට පස්සේ කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. ඡන්දේ කාලෙට සීනි කම්හල විකුණගෙන කන එක අපිට අමුතු දෙයක් නෙවෙයි. අපිත් මේකට තිබුණ ආදරේ නිසාම මේ අයට මාරුවෙන් මාරුවට රැවටුණා. කාලයක් ගිහින්, තිබ්බ මුල් ගල් ටික පැළ වෙලා තියෙනවා දකින කොට තමා අපි රැවටිට්ච රැවටිල්ල කොච්චරද කියලා තේරෙන්නේ…”
රාජපක්ෂ පාලනයේ වියවුල
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ පසුවද, නැවත වරක් මෙම රටට අහිතකර ගිවිසුම කුමන හෝ අරමුණකින් තව දුරටත් ක්‍රියාත්මක කිරීමට 2020.01.30 වන දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනුයේ, රටේ ජනාධිපතිවරයා, ජනතාව පමණක් නොව, එකී රජයේ බලගතු අමාත්‍යවරුද නොමග යවමිනි. එය කවර හේතුවක් මත සිදු කළේද යන්න අදටත් පැහැදිලි නැත.
පසුගිය රජය නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හිටපු පාර්මේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලගේ බලවත් ඉල්ලීමකට අනුව ගෝඨාභය රජයේ නිල නොලත් ප්‍රබලයා වූ බැසිල් රාජපක්ෂ විසින් කන්තලේ සීනි කම්හල ආශ්‍රිත ගොවි ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමේ සැලසුමද ලප් තැනම ලොප් වූයේ, අදාළ ගිවිසුම තවදුරටත් යාවත්කාලීන කර තිබීම හේතුවෙනි.
පසුගිය කාලයේ කන්තලේ සීනි කම්හල වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ, ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වෙනුවෙන් හඩ නැගූ සුනිල් හඳුන්නෙත්ති වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා ය. එසේම කන්තලේ සීනි කම්හල සම්බන්ධයෙන් වූ ගිවිසුම් අවලංගු කිරීම මහ ලොකු කජ්ජක් නොවන බව එදා ප්‍රකාශ කළ නාමල් කරුණාරත්න, වත්මන් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාය. ඔවුන් එදා සිදු කළ ප්‍රකාශ කටින් බතල කොළ සිටුවීමක් නොවන බව ජනතාවට ඔප්පු කිරීමට කාලය එළැඹ ඇත. වඩාත් සරලව කිවහොත්, මේ රජය පිළිබඳ විශ්වාසය තැබූ සුවහසක් ජනතාවට ජාතික ජනබලවේගය කයිවාරු කාරයන් නොවන බව ඔප්පු කිරීමට ඇති හොඳම අවස්ථාව කන්තලේ සීනි කම්හලයි.
කන්තලේ සීනෙි කම්හලේ අරගලය සිය ජීවිතයේම කොටසක් කර ගත්, කන්තලේ සීනී කර්මාන්ත ශාලා සුරක්ෂිතයේ කැදවුම්කරු මෙන්ම ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු වන ඉන්දික පරණවිතාන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ඇති හැකියාව සහ ඔවුන්ගේ සැලසුම් සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.
විසඳන්න පුළුවන් බව විශ්වාසයි
“මේ සීනි කම්හල අවුරුදු තිස් එකක් පුරා විවිධ ආණ්ඩු, විවිධ පාර්ශ්වයන් මුල් ගල් තියමින්, විවෘත කිරීම් කරමින් තම දේශපාලනය ප්‍රවර්ධනය සඳහා යොදා ගත්තා. අපි එදා ඉඳන් කිව්වේ, භූමියේ අයිතිය අප සතුව තබා ගෙන, දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු හරහා මේ පරිශ්‍රය තුළ සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවිය යුතු බවයි. ඒ වගේම එම්.ජී. ෂුගර් සමාගමත් එක්ක තිබෙන නෛතික ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බව මුදල් අමාත්‍යාංශය සහතික කරනවා. මෙතනින් එහා වෙනත් කිසිම ආණ්ඩුවකට මේක ගැටලුවක් කර ගන්න අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ කන්තලේ සීනි කම්හල සැබෑවක් වන බව සහතික කරනවා..”
කන්තලේ සීනි කම්හල නැවත ගොඩ නැගීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඉංජිනේරු මහේෂ් චතුරංග දරන්නේ මෙවන් අදහසකි.
“ශ්‍රී ලංකා රජය ගිවිසුමේ කොන්දේසි කැඩුවා කියලා 2017 අවුරුද්දේ දාපු නඩුව 2019 වසරේදී අවසන් වෙනවා. හැබැයි, ඒ එක්කම ආයෝජන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිදු වන නීතිමය ගැටලුවක් හේතුවෙන් මේ කොමිපැනිය අදාළ වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැහැ. ඒ තත්ත්වයට ආයෝජන සමාගම සෘජුවම වග කියන්න ඕනේ. ඒකට ශ්‍රී ලංකා රජය වගකිව යුතු නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් එකඟතාවයට ඇවිත්, මෙම ගිවිසුමෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රජයට හොඳටම අවස්ථාව තියෙනවා. ඊට පස්සේ, දේශීය ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛතාවය දෙමින් ටෙන්ඩර් කැදවා සුදුස්සකු තෝරා පත්කර ගත හැකියි. මෙහි 51% රජය සතුයි. කරන්න උවමනාව තියෙනවා නම්, ඇත්තටම මෙය මේ රජයට කළ හැකි බව තමයි මගේ අදහස..”
“ඇත්තටම ජ.වි.පෙ ආණ්ඩුවටත් බැරි නම්, මේ කන්තලේ සීනි කම්හල ගොඩ දාන්න, ආයේ කවදාවත් අපි මේ කම්හල ගැන කතා කරන්නේ නැහැ….” කන්තලේ සීනි කම්හල සිය ආත්මය කර ගත්, එහි පැරණිතම සේවකයෙකු වන ගාමිණි සමරසේකර පැවසුවේය.
ඡායාරූප
1. වසා දැමූ කන්තලේ සීනි කම්හල
2. දිරාපත් වෙමින් යන වාහන සහ උපකරණ


