පුවත්

පසුගිය මාස දෙකහමාරට රජය රුපියල් බිලියන 438ක් ණය වෙලා! 

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් දැඩි දුෂ්කර තත්වයක පවතින අතර, යථා තත්ත්වයට පත්වීම සමාජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවට පත්ව තිබේ. මෙම සංකීර්ණ තත්ත්වය අවම කර ගැනීමට දායක වන සැලකිය යුතු සාධකයක් වන්නේ දේශීය හා විදේශීය ණය ගැනීමේ ක්‍රියාවලියයි. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවේ නායකයන් විපක්ෂයේ සිටියදී, පැවති ආණ්ඩුවල ණය ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කළ විවේචන පෙරළා ඔවුන් වෙතම එල්ල වනු දැකිය හැකිය. වර්තමාන ආණ්ඩුව ණයගැනීමේ ක්‍රියාවලිය ගැන සත්‍ය තොරතුරු නොපවසන බවද ඒ සමග මතු වූ විවේචනයකි.

මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීමේ සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ රාජ්‍ය ණය  කළමනාකරණ කාර්යාලය මගින් ලබාගත් තොරතුරු අනුව අනාවරණය වූයේ,  වර්තමාන ආණ්ඩුව මගින් 2024 සැප්තැම්බර් 23 සිට 2024 නොවැම්බර් 12 දක්වා කාලය තුළදී ලබාගෙන තිබෙන හා ලැබී ඇති දෙස් විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 438ක් පමණ වන බවයි.

දේශීය ණය 

විශේෂයෙන්ම ඉහත ණයවලින් සැලකිය යුතු කොටසක් දේශීය වශයෙන් ලබාගෙන තිබෙන ණය වේ. එනම් භාණ්ඩාගාර බිල්පත් ණය සහ භාණ්ඩාගාර බැඳුම්කර ණය යි. මේවා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කෙටිකාලීන සහ දිගු කාලීන ණය උපකරණ වේ. මෙම ණය ලබාගෙන ඇත්තේ මහ බැංකු ප්‍රසිද්ධ වෙන්දේසි මගින්ය. ඒවා බැංකු, මූල්‍ය ආයතන සහ පුද්ගලයින් විසින් පවා මිලදී ගනු ලැබේ. ඒ ආකාරයෙන් 2024 සැප්තැම්බර් 27 දින සිට 2024 නොවැම්බර් 08 දක්වා කාලය තුළදී භාණ්ඩාගාර බිල්පත් මගින් වර්තමාන රජය  ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 112.17කි. භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 139කි. ඒ අනුව එම කාලය තුළදී පමණක් දේශීය වශයෙන් ලබාගෙන ඇති සම්පූර්ණ ණය මුදල රුපියල් මිලියන 251,179කි.

විදේශ ණය 

ජාත්‍යන්තර මූලාශ්‍රවලින් ලබාගත් ණය සහ ජාත්‍යන්තර සංවිධාන හා රටවල් මගින් ලබාගත් ණය, විදේශ ණය මූලාශ්‍රවලට ඇතුළත් වේ.  ඒ අතර ශ්‍රී ලංකාවේ ප්‍රත්‍යස්ථ හා ආර්ථික හැරවුම් සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන II වන අදියර යටතේ එම එකඟතා මත විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Rights- SDR ) මිලියන 150.6ක ගිවිසුම්ගත ණය මුදල 2024.10.28 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ලබාදී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන්නේ SDR වන අතර 2025.01.28 දිනට www.xe.com වෙබ් අඩවියට අනුව SDR එකක මිල USD 1.31කි. ඒ අනුව IMF මගින් මෙරටට ලැබුණු ණය මුදලේ දළ වටිනාකම රුපියල් බිලියන 58ක් පමණ වේ.

 ඊට අමතර පසුගිය රජයන් විසින් පෙර වර්ෂවලදී ණය දෙන බහුපාර්ශ්වික ආයතන සමඟ ශ්‍රී ලංකාව එකඟ වූ ණය ගිවිසුම් අනුව 2024 සැප්තැම්බර් 23 සිට 2024 නොවැම්බර් 12 දක්වා කාලය තුළදී මෙරටට ලැබුණු ණය (ප්‍රතිලබ්ධි) ප්‍රමාණය රුපියල් බිලියන 128.1කි. එම ණය ලැබී ඇත්තේ ජපානයෙන් රුපියල් මිලියන 1258ක්, නෙදර්ලන්තයෙන් රුපියල් මිලියන 153ක්, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් රුපියල් මිලියන 55,038ක්, ලෝක බැංකුව මගින් රුපියල් මිලියන 70,178ක්, ඔපෙක් සංවිධානය මගින් රුපියල් මිලියන 1,563ක් වශයෙනි.  මෙවැනි සංවිධාන සංවර්ධන ව්‍යාපෘති සහ ගෙවුම් ශේෂ සහාය සඳහා ණය සපයයි. මෙම ණය බොහෝ විට ආර්ථික ප්‍රතිසංස්කරණවලට අදාළ කොන්දේසි සමඟ පැමිණ තිබේ.

මේ ආකාරයෙන් නව රජය පත්වීමෙන් පසු මාස දෙකහමාරක පමණ කාලයක් තුළදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණයන් සම්බන්ධයෙන් කරුණු පෙන්වා දිය හැකිය.

ණය නොගෙන සිටිය හැකිද?

ශ්‍රී ලංකාවට ණයෙන් නිදහස්ව සිටිය හැකිද යන්න පහසු පිළිතුරක් නොමැති සංකීර්ණ ප්‍රශ්නයකි. කෙසේ නමුත් තිරසාර නොවන ණය මට්ටම් හේතුවෙන් ඇති වූ මෑත කාලීන ආර්ථික අර්බුදය, මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමේ අභියෝග ඉස්මතු කර තිබේ.

නුදුරු අනාගතයේ දී ණයෙන් නිදහස් තත්වයක් යථාර්ථවාදී නොවිය හැකි වුවද, ශ්‍රී ලංකාවට තිරසාර ණය කළමනාකරණය සඳහා උත්සාහ කළ හැකිය. කෙසේ නමුත් මේ ආකාරයේ ණය ගැනීමේ ක්‍රියාවලික් තුළදී  රටක් ලෙස පවත්වාගෙන යා යුතු මූල්‍ය විනය හා සැලකිලිමත්විය යුතු ප්‍රතිපත්තිමය ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් අප කළ විමසීමකදී, රුහුණ විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ  මහාචාර්ය අමිල බුද්ධික සිරිසේන මහතා මෙසේ අදහස් පළ කළේය. “අපි ණය ගනිද්දී කල්පනාකාරී විය යුතුයි. නිදසුනක් ලෙස අපි ව්‍යාපෘතියකට පෙර නිවැරදි ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතුයි. එම ව්‍යාපෘතිය තුල අපිට පුළුවන් විය යුතුයි, නියමිත කාල රාමුව තුළ එම ණය මත ගෙනියන්න. නැත්නම් එහි උපයෝගීතාවය අඩු වෙනවා. ණය ගැනීම වැරදි නෑ, ප්‍රශ්නය තියෙන්නේ ඒවා කළමනාකරණය කරන විදිය. එමෙන්ම පරිභෝජනයට ණය ගත්තොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මොකද ඒවා එම ණය තුළින් ගෙවන්න විදියක් නෑ. ණය ගන්න ඕන දරාගත හැකි පොලී මට්ටමකින් මෙන්ම ඒ තුළින් ආයෝජන  ප්‍රතිලාභද තිබිය යුතුයි. ණයක් අරන් ව්‍යාපෘතියක් කරන විට කල්පනාකාරී විය යුතුයි. ඒවායින් ඉපැයීම් කර අනාගතයේදී අපිට ණය ගෙවිය හැකිද යන්න සේම අනාගතයේදී අපිට වඩා සමෘද්මත් රටක් වීමට එකී ව්‍යාපෘති කෙතෙක් දුරට සාධනීය ලෙස බලපාන්නේද යන්න සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ණය ගැනීම නරක දෙයක් නොවන අතර ගැටලුව ඇත්තේ ණය ලබාගැනීමේදී එකඟ වන කොන්දේසි හා ණය භාවිත කරන ක්‍රමයයි.’’

තිරසාර ණය මට්ටම් සාක්ෂාත් කර ගැනීම සඳහා රජය, ව්‍යාපාර සහ පුරවැසියන්ගෙන් සාමූහික උත්සාහයක් අවශ්‍ය වේ. එය ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රකෘතියට සහාය වීමට ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ කැමැත්ත මත ද රඳා පවතී. ණය රහිත අනාගතයක් කරා යන මාර්ගය දිගු හා අභියෝගාත්මක විය හැකි වුවද, විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ තිරසාර උත්සාහයක් සමගින්, ශ්‍රී ලංකාවට වඩාත් ස්ථාවර සහ සමෘද්ධිමත් ආර්ථික අනාගතයක් අත් කර ගත හැකිය.

පුවත්

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?

තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත්…

By In
පුවත්

ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…

By In
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය

ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *