- හර්ෂා සුගතදාස
කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ සි දූ විමක් පසුගිය දිනවල මාධ්ය වාර්ථා කළේය . මෙම සිද්ධියේ දූෂකයන් වන බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ තවත් තරුණයෙක් මේ වනවිට බන්ධනාගාරගත කර තිබේ. මෙවැනි සමූහ දූෂණයක් ඉන්දියාවෙන් වාර්තා වුවද ලංකාවෙන් අසන්නට ලැබුණේ ප්‍රථම වතාවටය. පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කළේ මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් දැරියන් 168 දෙනෙකු දූෂණයට ලක් වී ඇති බවයි.ඉන් 22 දෙනකු ගර්භණි වී ඇති අතර බලහත්කාරයෙන් දූෂණය කළ සිද්ධි 7ක් බවද ඈ සඳහන් කළාය.
බොහෝ දැරියන් සිය පෙම්වතුන් සහ පවුලේම කෙනෙකු අතින් දූෂණය වී තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මව්පියන්ගේ අනියම් සබඳතාවන්ද දැරියන්ගේ දූෂණ කෙරෙහි හේතු වී තිබීම කනගාටුදායකය. මවගේ අනියම් සැමියන් අතින් දියණියන් කෙලෙසීමේ අනුවේදනිය කතා.නිරන්තරයෙන් වාර්තා වේ. මීට මාසයකට පමණ පෙර බිබිල ප්‍රදේශයේ මාස 8ක බිලිඳියක් පියා විසින් අපයෝජනය කර තිබින . මේ ආකාරයට බොහෝ ළමුන් අපයෝජනයට පත් වෙන්නේ තම නිවසේදීම බව පැහැදිලි වේ.
ප්‍රථමයෙන් නීතියට අනුව ළමයා යනු කවුරුන්දැයි පැහැදිලි කරගැනීම අවශ්‍ය වේ.නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු අයත් වන්නේ “ළමයා”ටය. වයස අවුරුදු 18ට අඩු දරුදැරියන ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එමෙන්ම ශ්‍රමිකයින් ලෙස යෙදවීම, අසභ්‍ය ප්‍රකාශන සඳහා යොදාගැනීම විවිධ ජාවාරම් සඳහා යෙදවීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වීම යනාදි කිසිවකට නීතියෙන් ඉඩක් නැත.
.ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2023 වසරේ පමණක් ( ජූලි 31 දක්වා) ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව5,698කි. එය 2021 වර්ෂයේ 11,185ක් වන අතර 2022 වර්ෂයේ 10,497ක් ලෙස සටහන් වී තිබේ.වරදේ ස්වාභාවය අනුව සෑම වසරකදීම ඉහළ අගයක් ගෙන තිබෙන්නේ ළමුන් කෲරත්වයට පත් කිරීමයි.ළමයින්ට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීමේ සිද්ධි, දරුවන් දම්වැල්වලින් බැඳ දැමූ සිදුවීම්,පුළුස්සා දැමු සිදුවීම් ද අයත් වන්නේ කෲරත්වයට පත් කිරීමේ ගණයටය.ළමුන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාත්මකව ගතහොත් 2020 වර්ෂයේ 2,237ක් ද 2021 වර්ෂයේ 2,741ක් ද 2022 වර්ෂයේ 2,096ක් ද 2023 ජූලි 31 දින දක්වා 1,296ක් ද වශයෙන් දැක්විය හැකිය.
මීට අමතරව දරුවන් සිඟමනේ යෙදවීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා යෙදවීම,ළමයින් ශ්‍රමිකයන් ලෙස යෙදවීම, දරුවන් නොසලකා හැරීම,අධ්‍යාපනය ලබා නොදීම,නීතිමය භාරකරුවන්ගෙන් පැහැර ගැනීම ,ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනාදි වැරදි ළමා අපයෝජන යටතට ගැනේ..
වර්තමානයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලිවල අලුත්ම ප්‍රවණතාව වන්නේ සයිබර් අවකාශය නිසා අපයෝජනයට පත් වීමයි.එය 2020 වර්ෂයේ 204ක් ලෙසද 2021 වසරේ 252ක් ලෙසද 2022 වසරේ 282ක් ලෙසද 2023 සැප්තැම්බර් 25 දක්වා 135ක් ලෙසද වාර්තා වී තිබේ. මෙම අපයෝජන ඉහළ යෑමට තුඩු දුන් ප්‍රධාන කාරණයලෙස සැලකිය හැකි වන්නේ කොවිඩ් වසංගත සමයේ ආරම්භ කළ ඔන්-ලයින් අධ්‍යාපන ක්‍රමයයි.ඔන්- ලයින් ඉගැන්වීම සමඟ දරුවන්ගේ අතට ජංගම දුරකතනය ලැබිණි. ඒ සමඟ ඇතැම් දරුවෝ අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම, මුහුණුපොත හරහා නොදන්නා පුද්ගලයින් සමඟ සංවාදයේ යෙදීම මගින් කාමතුරයන්ගේ ගොදුරු බවට පත් වූහ. තවත් දරුවෝ ජංගම දුරකථනයට ඇබ්බැහි වූහ. මව්පියන් ජංගම දුරකතන ලබා නොදුන් නිසා උරණ වී දිවි තොර කරගත් පාසල් දරුවන් ගැන වාර්තා වන්නේය. ජංගම දුරකතනයට ඇති ඇබ්බැහි වීමට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ පාසල් දරුවකු රෝහලේ උඩුමහලෙන් බිමට පැන සිය දිවි හානි කරගත් කනගාටුදායක පුවත තවම මාසයක් ගත වී නැත.
සයිබර් අවකාශය තුළ සිදුවන ළමා අපයෝජන පිළිබඳව සලකා බැලීමේදි ඉහළම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.2023 වසරේ සැප්තැම්බර් 25 දක්වා වාර්තා වී ඇති පැමිණිලි 135න් 20ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 12ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ලැබී තිබේ.ජංගම දුරකතනයට නිරන්තර භාවිතයට ඇබ්බැහි වී සිටින දූදරුවන් ගැන මව්පියන් මීටවඩා සිය අවධානය යොමු කළ යුතුය.
දරුදැරියන් සිඟමනේ යෙදවීම , තවත් ළමා අපයෝජනයකි. වැඩි වශයෙන් ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වන්නේ කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතවය. විශේෂයෙන් ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව ළමුන් සිඟමනේ යෙදවීම් බහුලව සිදු වේ. 2020 වර්ෂයේ පමණක් දරුදැරියන් සිඟමනේ යෙදවීමේ පැමිණිලි 200ක් වාර්තා වී තිබේ.එය 2021 වසරේ 240 දක්වා වර්ධනය වී තිබේ.2022 වර්ෂයේ එය 249 දක්වා තවත් ඉහළ ගොස් තිබේ.මෙම වර්ෂයේ ජූලි 31 වැනිදා අවසාන වන විට දරුදැරියන් සිඟමනේ යෙදවීමේ සිද්ධි 196ක් වාර්තා වී තිබේ.මෙම වසර අවසාන වන විට මෙම අගය, පසුගිය වසරේ අගය ඉක්මවා යාහැකිය.
ළමුන් සේවයේ යෙදවීමත් නීති විරෝධි කටයුත්තකි.නීතිය එසේ වුවද ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි බොහෝය.මෙම වසරේ ජූලි 31 වන විට ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් පැමිණිලි 105ක් ලැබී තිබේ.2022 වසරේ එය 214ක් වූ අතර 2021 වසරේ 375ක් ලෙසද 2020 වසරේ 228ක් ලෙසද වාර්තා වී ඇත. ඊට සමගාමිව දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා නොදීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.දරුවන් පාසල් නොයැවීම සම්බන්ධයෙන් 2020 වර්ෂයේ ලැබී තිබෙන් පැමිණිලි සංඛ්‍යාව 643කි. එය 2021 වසරේ 541 දක්වා අඩු වී තිබේ.2022 වර්ෂයේ එය 1231 දක්වා වර්ධනය වී තිබේ.එහෙත් ඒ සම්බන්ධයෙන් 2023ජූලි 31 දක්වා ලැබී තිබෙන්නේ පැමිණිලි 6ක් පමණි. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කර තිබියදී ළමුන් පාසල් නොයවා ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. විශේෂයෙන් රටේ පවතින ආර්ථික,සමාජීය හේතු මේ සඳහා බලපානවාට සැක නැත.දරුවන් පාසල් යැවීමට ආර්ථික ශක්තියක් නොමැති වීම නිසාම ඔවුන්ව වැඩිහිටියන් විසින් සේවය පිණිස යොදවනු ඇත.ඇතැම් විට සිඟමනේ යොදවා හෝ මුදල් උපයාගැනීමට වැඩිහිටියන් විසින් පෙළඹී සිටි.. හිසට උඩින් ඇති ආර්ථික ප්‍රශ්න හමුවේ ඇතැම් වැඩිහිටියන්ට දරුවන් පාසල් යැවීමේ නීතිය ගැන හෝ දරුවන් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමේ වරද ගැන වටිනාකමක් නැති විය හැකිය. එවැනි වැඩිහිටියන්ගේ එකම අරමුණ මුදල් උපයාගැනීම පමණි. ඇතැම් විට දැරියන් ගණිකාවන් ලෙස විකිණීමට පවා සමහරු පෙළඹී සිටිති.තවත් විටෙක දරුවන් නොයෙකුත් ජාවාරම් සඳහා යොදාගෙන තිබේ. එනම් මත්ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය බෙදාහැරීමට භාරදීමට ප්‍රවාහනය කිරීමට ළමුන් යොදාගනු ලැබීමයි.සාමාන්‍යයෙන් සෑම වසරකම දරුවන් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි ජාවාරම් කටයුතුවලට යොදවා ගැනීමේ පැමිණිලි 40ක් පමණ වාර්තා වේ.දරුවන් නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා යොදවා ගැනීම පමණක් නොව ඒ සඳහා කැමති කරවා ගැනීමට, පෙළඹවීමට උත්සාහ දැරීම නීතියෙන් දැඩි දඬුවම් හිමිවන වරදකි.
එහෙත් දඬුවම් දීමෙන් පමණක් ළමා අපයෝජන වළක්වා ගත හැකිද යන්න පුළුල්ව විමසා බැලිය යුතු කාරණයකි.වර්තමානයේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න හමුවේ වැඩිහිටියන් ජීවත්වන්නේද ඉතා ලොකු පීඩනයකිනි.ඔවුන්ගේ පීඩනය මුදා හරිනු ලබන්නේ දරුවන්ගෙනි.එයින් දරුවන් කෲරත්වයට භාජනය වේ. එමෙන්ම පාසල් අධ්‍යාපනය අනිවාර්‍ය කර තිබියදී දරුවන් පාසල් නොයවා සිටින්නේ අගහිඟකම් නිසා විය හැකිය. ළමුන්ව ශ්‍රමිකයින් ලෙස යොදවන්නේ නැතිබැරිකම් නිසා විය හැකිය.දම්වැලක පුරුක් සේ එකිනෙකට සම්බන්ධ වී ඇති මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නීතියෙන් පමණක් කළ නොහැකි බව පැහැදිලි වනු ඇත.
(තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු අනුව මෙම ලිපිය සකස් කෙරිණි.)