ලෝකය තුළ ජනරජ බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතු ය යන්න මූලික සංකල්පයක් විය. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක කැපී පෙනෙන දෙයක් ද වේ.
තොරතුරු දැනගැනීමේ නිදහස මානව අයිතියකි.රජයයන්යන්ගේ වගවීමේ එක් අංගයක් වශයෙන් පුරවැසියන්ට තොරතුරු දැන ගැනීමේ, එසේත් නැතහොත් නිල ලේඛන වෙත ප්‍රවේශ වීමේ අයිතිය ඇත. – තොරතුරු දැන ගැනීමේ නිදහස ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින්නේ මෑතක සිට වුවත් එය කිසිසේත්ම නව සංකල්පයක් නොවේ.
මේ ආකාරයෙන් තොරතුරු පනත මගින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මූලික කාරණා 3ක් පිළිබඳව අවධානය යොමු කර තිබේ. එනම්…..
- තොරතුරු සඳහා ප්‍රවේශවීමට අවස්ථාව ලබා දීම , එහිදී ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලබ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මක වන බව මින් අදහස් වේ. ඒ සදහා තොරතුරු දැනගැනීමේ පනතේ 7 වන වගන්තිය යටතේ ඇති උප වගන්ති මගින් ද ඒ පිළිබද කරුණු අවධාරණය කර තිබේ.
- තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගවීම
- තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම ද එයට අයත්වේ.
ලංකාවේ තොරතුරු පනත සැකසී ඇත්ඇතේ ද එම ගුණාංගයන්ගෙන් යුතුවය. නිසාම ලෝකයේ තොරතුරු දැනගැනීමේ නීති වර්ගීකරණයේදී ලංකාවට හිමි ව ඇත්තේ ලොව සිව්වන ස්ථානය බව කැනඩාවේ Center for Law and Democracy ආයතනය මගින් පවත්වාගෙන යන ගෝලීය තොරතුරු ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවිය (https://www.rti-rating.org/) මගින් පෙන්වා දී ඇත.
නවතම ශ්‍රේණිගත කිරීම්වල වඩාත්ම කැපී පෙනෙන වෙනස වන්නේ එම ශ්‍රේණිගතකිරීම් ආරම්භ කළ 2011 වසරේ සිට අඛණ්ඩව සර්බියාව ට ඉහළින්ම රැදී සිටීමේ හැකියාව ලැබීමයි. 2011 වසරේදී ළකුණු 135ක් ලබා ප්‍රථමස්ථානයේ රැදී සිටි සර්බියාව 2019 වසරේදී තෙවන ස්ථානයට පත්ව ඇත. ළකුණු සංඛ්‍යාව 135 මය. එමෙන්ම ආරම්භයේදී 7,8 වැනි ස්ථානවල රැදී සිටි මෙක්සිකෝව 2016 වසරේ සිට ඉහළට පැමිණීමය. 2016/2017 වසරවල ළකුණු 136 ක් ලබා ප්‍රථම ස්ථානයට පත්වූ මෙක්සිකෝව සර්බියාවත් සමග අඛණ්ඩව ඉහළින් සිටීමට සමත්ව ඇත. මෙක්සිකෝව සිය ‘විනිවිදභාවය සහ පොදු තොරතුරු සඳහා ප්‍රවේශවීමේ පොදු පනත‘ සැළකිය යුතු ලෙස වැඩි දියුණු කර ගැනීම ට සමත්වීම එයට හේතුවී තිබේ.
මේ වනවිට එනම් (2019) වසර වනවිට එම ශ්‍රේණිගතකිරීම්වල ළකුණු 131 ලබාගනිමින් ලංකාව 04 වන ස්ථානය ට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරැ දැනගැනීමේ පනත සම්මත වීමට මත්තෙන් එම ස්ථානය හිමි වූයේ ළකුණු 128 ක් ලබාගෙන සිටි ඉන්දියාව ට ය. 2019 වර්ෂය වනවිට ගෝලීය ශ්‍රේණිගත කිරීමට අනුව ඉහලින්ම සිටින රටවල් 10 අතර ඇෆ්ගනිස්ථානය ලකුණු 139 ලබාගෙන ප්‍රථම ස්ථානයේ පවතී. පිළිවෙලින් මෙක්සිකෝ 136, සර්බියාව 135 , ශ්‍රී ලංකාව 131 , ස්ලොවේනියාව 129, ඇල්බේනියාව 127, ඉන්දියාව 127, ක්‍රොඒෂියාව,126,ලයිබීරියාව 124 , එල් සැල්වදෝරය 122 වේ.
ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ පනතේ 8 වන වගන්තියේ සඳහන් සියලුම නිදහස් කිරීම් වලට පරීක්ෂණය අදාළ නොවන බැවින් ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් නීතිය ව්‍යතිරේක කාණ්ඩයේ ලකුණු 26 ක් ලබා ගෙන තිබේ. අභියාචනා මත ඉන්දියාව වැඩිම ලකුණු ලබා ගත්තේ(30 න් 29 ක්) ය. සම්බාධක කාණ්ඩය ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් නොමැති බැවින් ඉන්දියාව ලබාගෙන ඇත්තේ 8 න් 5 කි. එම කාණ්ඩයේදී ලංකාව ලබාගෙන ඇති ළකුණු සංඛ්‍යාව 4කි. ඉන්දියාව ප්‍රවර්ධන මිනුම් කාණ්ඩයෙන් ලබාගෙන ඇත්තේ ළකුණු 16 න් 13 ක් වන අතර ලංකාව එම ඛාණ්ඩයෙන් ළකුණු 16 ම ලබා ගැනීමට සමත්ව ඇත. එලෙස අංශ කිහිපයකින් ඉදිරියට යාමට ලංකාව සමත්ව ඇති අතර ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ 07 වන ස්ථානයට පත්ව ඇත. 2011/12/13 වසරවල ඉන්දියාව එම ශ්‍රේණිගතකිරීම්වල 2 වන ස්ථානයට පත්වෙමින් ඉතා ප්‍රබල තත්ත්වයක පසුවූ රටකි. 2017 වසරේදී ශ්‍රී ලංකාව ශ්‍රේණිගතකිරීම්වල 03 ස්ථානයට පත් විය.
කෙසේ නමුත් මේ ආකාරයෙන් පනතක් ලෙස ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කර තිබුණත් එය ප්‍රායෝගිකව ක්‍රියත්මක කිරීමේදී ලංකාව තුළ තවමත් ඇත්තේ සුභවාදී ස්වභාවයක් නොවන බව ලංකාවේ තොරතුරු දැනගැනීමේ කොමිසම ඇතුළු ලොව තවත් තොරතුරු කොමිසන් සභා කීපයක් සඳහා එකම ආකාරයේ ප්‍රශ්නාවලියක් යොමු කරමින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය කරගැනීමට හැකි විය.
එහි දී එකම වර්ෂය තුල ශ්‍රේණිගත කිරීම් අනුව හතරවන තැන පසුවන ශ්‍රී ලංකාව තුළ මෙන්ම හය වන ස්ථානයේ පසුවන ඇල්බේනියාව සළකා බැලීමේදී පෙනී යන්නේ කොමිසම් සභා ක්‍රියාකාරිත්වය මෙන්ම පුරවැසියා හට තොරතුරු සඳහා ප්‍රවේශවීමේ ප්‍රයෝගික ක්‍රියාවලිය ලංකාවට වඩා ඇල්බේනියාවේ ක්‍රියාත්මක වන බවයි.
මෙහිදී පසුගිය 2018 සහ 2019 වර්ෂවලදී රටවල් කීපයක තොරතුරු දැනගැනීමේ කොමිසන් සභා සඳහා ලැබී ඇති අභියාචනා ප්‍රමාණය සලකා බැලීමේදී ලංකාවේ තොරතුරු කොමිසම වෙත 2018 වර්ෂයේ 800ක් හා 2019 වර්ෂයේ 1089ක් ලැබී තිබේ. එමෙන්ම ඇල්බේනියාවේ තොරතුරු කොමිසම වෙත 2018 කාලය තුළ පැමිණිලි 820ක් ලැබී ඇති අතර 2019 දී පැමිණිලි 786 ක ප්‍රමාණයක් ලැබී තිබේ. එය ජර්මනිය තුළ 2018 දී අභියාචනා 291 ක් 2019 දී අභියාචනා 461 ක් ඉදිරිපත් කර තිබේ.
ලංකාවේ තොරතුරු කොමිසම වෙත මේ ආකාරයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබීමට මූලික හේතුව වී ඇත්තේ බොහොමයක් පොදු අධිකාරීන් තොරතුරු පනත සැලකිල්ලට නොගෙන තොරතුරු නොදීමේ පසුබිමක් ඇති කරගෙන තිබීමේ හේතුවෙනි.
එමෙන්ම මේ ආකාරයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට ඇල්බේනියාව තුළ සතියේ දින පහක් වෙන්කර ඇති අතර ලංකාවේ තොරතුරු කොමිසම තුල අබියාචනා විභාග කරනු ලබන්නේ සඳුදා සහ අඟහරුවාදා දිනවල පමණි. මේ තත්ත්වය යටතේ අභියාචනා විභාග කර ඒ සඳහා තීන්දුවක් ලබාදීම සඳහා වසරකට ආසන්න කාලයක් ගත වූ අවස්ථා ද නිරීක්ෂණය වී තිබේ. එමගින් පෙනී යන්නේ ලංකාව ප්‍රායෝගකව වැඩි දියුණු කරගතයුතු කේශේෂ්ත්‍ර පවතින බවය.
කොමිසමේ නියෝග කැඩුවොත් දඬුවම් ලැබේද ?
මේ සඳහා ලංකාවේ තොරතුරු කොමිසම තුළ කිසිදු නීතිමය ක්‍රියාවක් ස්ථාපිත කර නොමැති වීම තුළ පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට දැඩි බාධාවක් ඇතිවී තිබේ. රටක පුරවැසියාගේ මුලික අයිතියක්ද වන තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මේ තුලින් සීමා වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇල්බේනියාවේ තොරතුරු කොමිසම මගින් කළ විමසීමකදී අනාවරණය වූයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතියේ 25 වන වගන්තිය මගින් පැමිණිලිකරුට උසාවියේ හෝ මහජන අධිකාරියේ අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දී ඇති බවත් කොමසාරිස්වරයාගේ තීන්දුව ලබාදී නියමිත කාල සීමාව තුල අදාළ පොදු අධිකාරිය ක්‍රියාත්මක නොවන්නේ නම්, කොමසාරිස් කාර්යාලයට පරිපාලන පරීක්ෂණ පැවැත්විය හැකි අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ විධිවිධානවලට අනුකූලව සම්බාධක පැනවිමට කටයුතු කරන බවය.
මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව තුල ඇති බොහොමයක් පොදු අධිකාරීන් තවමත් ජනතාවට පහසුවෙන් තොරතුරු සදහා ප්‍රවේශ වීමට හැකිසේ තම ආයතනයේ තොරතුරු ව්‍යුහය ගොඩ නගාගෙන නොමැති බව තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 1200 කට අධික ප්‍රමාණයක් යොමුකරමින් සිදුකළ සොයා බැලීමකදී ද අනාවරණය විය.
විද්‍යුත් තැපෑල(ඊ මේල්) භාවිතය අඩුවීම
විශේෂයෙන්ම මෙම සොයා බැලීමේදී විද්‍යුත් තැපෑල මගින් තොරතුරු ඉල්ලුම්පත් 500 කට අධික ප්‍රමාණයක් යොමුකරනු ලැබුවත් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇත්තේ 200 කටත් අඩු පොදු අධිකාරීන් ප්‍රමාණයක් පමණි. විශේෂයෙන්ම මෙම සොයා බැලීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 322ක් සඳහා තොරතුරු අයදුම්පත් යොමු කරනු ලැබුවත් ඉන් ප්‍රතිචාර ලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 120 ක් පමණක් වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල 202 කින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. ප්‍රතිචාර දැක්වූ ප්‍රදේශීය ලේකම් කාර්යාල 120 අතරින් තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 99ක් පමණි.
එමෙන්ම බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල ඇති විද්‍යුත් ලිපින භාවිතයෙන් තොර වීම මෙන්ම නිලධාරීන් ස්ථාන මාරු වන අවස්ථාවන්හි විද්‍යුත් ලිපිනය ද වෙනස් වීම මෙම සොයා බැලීමේදී අනාවරණය වූ තවත් කාරණයකි. මේ තුල ඊ මේල් මගින් තොරතුරු ඉල්ලීමේදී තොරතුරු ඉල්ලුම්කරුට බරපතල ගැටළුවකට මුහුණ දෙන්නට සිදුව තිබේ.
එමෙන්ම ප්‍රතිචාර දැක්වූ ප්‍රදේශීය ලේකම් කාර්යාල අතුරින් කීපයක් තොරතුරු නොමැති බව මෙන්ම තොරතුරු දැනගැනීමේ පනතේ 05 වන වගන්තිය යටතේ තොරතුරු ලබාදීමට නොහැකි බව පවසා තිබේ. නමුත් ඉහත ප්‍රදේශීය ලේකම් කාර්යාල 322 සදහාම එකම තොරතුරු ඉල්ලීම් අයදුම්පත්‍රයක් යොමුකළ අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 99ක් තොරතුරු ලබාදෙන විට තවත් කීපයක් එය 05 වගන්තියට අයිතිවන බව පවසමින් තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනී යන්නේ නිලධාරීන් විසින් තොරතුරු ලබාදීමේදී පනතේ විධිවිධානයන් නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම මෙන්ම එම විධිවිධානයන් අවභාවිත කරන ස්වරුපයකි.
මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක් නිසි අයුරින් එම තොරතුරු, ලේඛනගතකර නොමැති බව පවසමින් එම තොරතුරු ලබාදීම සිදු කළ නොහැකි බවත් අවශ්‍ය නම් පැමිණ ලේඛන පරික්ෂා කර බලා තොරතුරු සොයා ගැනීමට අවස්ථාව ලබා දීමට අවකාශය ලබාදිය හැකි බව දන්වා ඇත. එමගින් පෙනීයන්නෙ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 07 වගන්තියේ උපවගන්ති මගින් පෙන්වා දෙන, තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සුසාධනය කිරීම සඳහා නිසි අයුරින් සාදනු ලබන නාමාවලි සහ සුචියක් අනුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා සමඟ අනුකුලවන ආකාරයට සහ ආකෘතියකට අනුව සෑම පොදු අධිකාරියක් විසින්ම සිය වාර්තා පවත්වාගෙන යාමේ අවශ්‍යතා පැහැදිලි කර තිබියදී ය. (7.(1) )වගන්තිය )
මේ ආකාරයෙන් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 362 ක් වෙත 2020 අගෝස්තු මස 12 වන දින සිට තොරතුරු අයදුම්පත් යොමුකර ඇතත් මේ වනවිට තොරතුරු ලබා දී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 144ක් පමණ වන අතර 218ක් මෙතක් තොරතුරු ලබාදීම සිදුකර නොමැත. එමෙන්ම පොලිස් අධිකාරී කාර්යාල 42 ක් වෙත 2020 සැප්තැම්බර් 14 දින යවන ලද තොරතුරු ඉල්ලුම්පත් සදහා තොරතුරු ලබාදී ඇත්තේ පොලිස් අධිකාරී කාර්යාල 08ක් පමණි.
තොරතුරු ලබාගන්නා කාරණාව හා අනන්‍යතව පැහැදිලි කළ යුතුද?
එමෙන්ම පුරවැසියෙකු තොරතුරු ලබාගැනීමට අයදුම්කිරීමේදී තොරතුරු අවශ්‍ය කාරණාව සම්බන්ධයෙන් බොහොමයක් පොදු අධිකාරීන් විමසා තිබේ. දිවයිනේ බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සිටින තොරතුරු නිලධාරීන්, නම්කළ නිලධාරින් ද මේ ආකාරයෙන් තොරතුරු අවශ්‍ය කාරණාව සම්බන්ධයෙන් විමසීම මෙන්ම අනන්‍යතාව පැහැදිලිකිරිම සදහා හැදුනුම්පතේ පිටපත් ඉල්ලීම මෙම නිරීක්ෂණයේදී පැහැදිලි වූ කරුණකි.
පුරවැසියෙකු තොරතුරු ඉල්ලීම් කරනු ලබන අවස්ථාවකදී එම තොරතුරු ඉල්ලා සිටින හේතුව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීම තොරතුරු පනතට පටහැනි දෙයක් බවයි තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් උපදේශකයෙකු මෙන්ම නීතිඥයෙකු ද වන ජගත් ලියනආරච්චි මහතා කියා සිටින්නේ. එමෙන්ම අනන්‍යතාව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තාවක් පිළිබඳව තොරතුරු පනතේ කුමන හෝ ස්ථානයක් නොමැති බවත් අනිවාර්ය වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම පමණක් බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලැබේ. එමෙන්ම අදාල තොරතුරු ඉල්ලුම්කරු RTI 1 ඉල්ලුම් පත්‍රයේ ඔහු පුරවැසියෙකු බව සදහන් කර තිබේනම් ඒ මත පදනම් වී අදාල තොරතුරු නිලධාරියා තොරතුරු ලබා දිය යුතු වන අතර යම් අකාරයකට ලංකාවේ පුරවැසියෙකු නොවන අයෙකු එසේ පුරවැසියෙකු බවට සඳහන්කර තිබේනම් එය ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් වන බව ලියනාරච්චි මහතා පෙන්වා දෙයි.
පනතේ විධිවිධානයන්ට අනුව නියමිත දිනයන්හි ප්‍රතිචාර නොදැක්වීම , බොහෝ අවස්ථාවල පිළිතුරු දීම ප්‍රමාද වීම මත, පසු ගිය දිනයක් සඳහන් කරමින් පිළිතුරු එවූ අවස්ථා ලිපි කවර දින පරික්ෂා කිරීමේදී මනාව තහවුරු වූ කරුණකි. එමෙන්ම තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව දැන්වීම මෙන්ම තොරතුරු එවීමේදී ,තොරතුරු දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවන්හි නම්කළ නිලධාරියා කවුරුන්ද යන්න දැක්වීම අනිවාර්ය වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම අනෙකුත් පොදු අධිකාරීන් බොහොමයක් එම නියමයන් කඩ කිරීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුල තොරතුරු පනත ස්ථාපිත කර වසර හතරකට අධික කාලයක් ගත වුවත් පොදු අධිකාරින් තුල සිටින තොරතුරු නිලධාරීන් තොරතුරු පනතේ විධිවිධානයන් නිසි අයුරින් නොදන්නා බව මෙන්ම එම නියමයන් සම්බන්ධයෙන් නිසි තැකීමක් නොකරන බවයි.
ඉහළ නිලධාරීන්ගෙන් අවසර ගැනීම.
තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හි තොරතුරු ලබාදීමට පෙර තොරතුරු නිලධාරීන් මෙන්ම නම් කළ නිලධාරීන් ද ඉහල නිලධාරීන්ගෙන් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් අවසර ලබාගැනීම මේ වන විටත් සිදුකර තිබෙන අයුරු මෙම ගවේෂණයේදී හෙළි වූවකි. එය ද අදාල පොදු අධිකාරීන් තොරතුරු දැනගැනීමේ පනතේ 30 වන වගන්තිය තුලින් තමන්ට ලබා දී ඇති නිදහස හා වගකීම් සම්බන්ධයෙන් අනවබෝධයෙන් හා තවමත් පෙර සේ ඉහල නිලධාරීන්ගේ අවසර ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරන අයුරු පෙන්නුම් කරයි.
එමෙන්ම රටේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා අදාල නිලධාරින්ද තොරතුරු පනතේ විධිවිධානයන් සම්බන්ධයෙන් නිසි දැනුවත්කිරීම් සිදු කළ යුතු සේම තොරතුරු පනතේ විධානයන් කඩ කරන පොදු අධිකාරින්හි තොරතුරු නිලධාරීන්ට එරෙහිව පනතට අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකර ගැනීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම එලෙසම පවත්වාගැනීමට කටයුතු කළා සේම තොරතුරු කොමිසමේ ක්‍රියාකාරිත්වය ශක්තිමක් කරමින් පුරවැසියා හට තොරතුරු සදහා ප්‍රවේශ වීමේ ඇති හැකියාව වර්ධනය කරදීමට කටයුතු සලසා දීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් මෙන්ම යුතුකමකි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි