පුවත්

තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ඔබ දැනුවත් ද?

By In

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘පිරමීඩ යෝජනා ක්‍රම’ යනුවෙන් හඳුන්වනු ලබන තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ඔබ දැනුවත් ද? මෑත කාලීනව මෙම තහනම් මුදල් යෝජනා ක්‍රම පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් නොපැවතියත් පසුගිය නිරෝධායන සමය තුළ ජනතාවගේ අත මිට මුදල් හිඟ වත් ම අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට මුදල් ඉපැයීමේ පහසු ක්‍රමවේදයන් වෙත යොමු වීමේ වැඩි නැමියාවක් දක්නට ලැබිණි. එහෙයින් නැවතත් ‘පිරමීඩ මුදල් යෝජනා ක්‍රම’ පිළිබඳ කතිකාවතක් සමාජය තුළ ඇති කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පෙනෙන්නට තිබේ.  ඒ අනුව පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් වනු පිණිස අප විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් තොරතුරු ඉල්ලීමක් කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට පිරමීඩ යෝජනා ක්‍රමයක් යනු යම් මුදලක් ගෙවීමෙන් හෝ භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීමෙන් සාමාජිකත්වය ලබා ගැනීමට නියම කරනු ලබන, ඉන් පසු තවත් සාමාජිකයින් සම්බන්ධ කිරීම මගින් දිගින් දිගටම කොමිස් මුදල් උපයාගත හැකි බව කියා සිටිනු ලබන ආකාරයේ යෝජනා ක්‍රමයකි. එවැනි යෝජනා ක්‍රම 1988 අංක 30 දරණ බැංකු පනතේ (ඇ) වගන්තියෙහි එන විධි විධාන මගින් තහනම් කරනු ලැබ ඇත.

මෙවැනි යෝජනා ක්‍රමයකට සම්බන්ධ වන අයෙකු තමා විසින්, තමා යටතේ පිරමීඩාකාර ආකෘතියක පරිදි තවත් සාමාජිකයින් සම්බන්ධ කළ යුතු වේ. එවැනි යෝජනා ක්‍රමයකට බැඳීම සඳහා යම් පුද්ගලයෙකු හට පහත සඳහන් කාර්‍යයන්ගෙන් එකක් හෝ කිහිපයක් සිදු කිරීමට සිදු විය හැකි ය.

ඖෂධීය නිෂ්පාදන සහ උපාංග, රන් කාසි, රූපලාවන්‍ය නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ වැනි නිෂ්පාදන මිලට ගැනීම

මුදල් ප්‍රමාණයක් ගෙවීම, තැන්පත් කිරීම, හෝ ආයෝජනය කිරීම 

අන්තර්ජාලය හෝ වෙනත් මාර්ගයක් මගින් සේවා සැපයීම සඳහා ලියාපදිංචි වීම

යෝජනා ක්‍රමයට වෙනත් අය හඳුන්වා දීම 

ඉහත  සඳහන් කරන ලද බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ප්‍රකාරව මෙවැනි ලක්‍ෂණ සහිත තහනම් යෝජනා ක්‍රමයන් ඍජුව හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, යෝජනා කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පවත්වාගෙන යාම, මෙහෙයවීම සහ එවැනි යෝජනා ක්‍රම සඳහා විධාන කිරීම හෝ මුදල් සැපයීම නීති විරෝධී වේ.

මෙවැනි යෝජනා ක්‍රම වල දී බොහෝ දුරට ප්‍රායෝගික නොවන ඉපැයීම් පිළිබඳ පොරොන්දු දීම් සහ ආකර්‍ෂණීය ඉදිරිපත් කිරීම මගින් සහභාගීකරුවන් බඳවා ගන්නා අතර, ප්‍රවර්ධකයින් වශයෙන් කටයුතු කරන්නන් උත්සාහ කරනුයේ මෙම යෝජනා ක්‍රම ස්වයං රැකියා ආකාරයේ යෝජනා ක්‍රම වශයෙන් පෙන්වීමට වන අතර තමන් වෙහෙස වී ක්‍රියා කළහොත් විශාල වශයෙන් කොමිස් මුදල් ඉපයිය හැකි බව ඔවුන් පෙන්වා දේ. එහෙයින් මෙම යෝජනා ක්‍රම සඳහා අලුතෙන් එක් වන සාමාජිකයින්ගේ ප්‍රධාන අරමුණ වන්නේ යෝජනා ක්‍රමයට බැඳී හැකි තාක් ප්‍රතිලාභ ඉපයීම මිස භාණ්ඩ හෝ සේවා උපයා ගැනීම හෝ ඒවා පරිභෝජනය කිරීම නොවේ. එහෙයින් ඔවුන් නිරන්තරයෙන් තව තවත් සාමාජිකයින් මෙයට ඈඳා ගැනීමට උත්සාහ කරයි. එසේ නව සාමාජිකයින් හඳුන්වා දීමට යෝජනා ක්‍රමයේ පහළ මට්ටමේ සිටින සහභාගී වන්නන් අසමත් වන විට යෝජනා ක්‍රමයේ නියැදිය බිඳවැටෙන අතර ම එම නියැදියේ ඇතුළත් සහභාගීකරුවන්ට එතෙක් ආයෝජනය කළ මුදල ද  අහිමි වේ.

මෙසේ ඕනෑම ආකාරයකින් සිදු කරනු ලබන සැක සහිත පිරමීඩාකාර යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයක් වෙත පැමිණිලි කිරීමට මහජනතාවට හැකියාව ඇති අතර එවැනි පැමිණිලි මත හෝ යම් ආකාරයක තහනම් යෝජනා ක්‍රම පිළිබඳව දැනගැනීමට ලැබුණු පසු ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ගයන් ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් ව සිටී. එවැන්නක් ඉදිරිපත් වූ විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූලික පරීක්‍ෂාවකින් අනතුරුව බැංකු පනතෙහි විධි විධාන අනුව කටයුතු කෙරෙන අතර මහබැංකු අධිපතිතුමන්ගේ අනුමැතිය මත විධිමත් විමර්ශන සිදු කරනු ලැබේ. එමගින් අදාළ ව්‍යාපාරය පිරමීඩාකාරයේ යෝජනා ක්‍රමයක් බව සනාථ වුවහොත් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ඒ බව වාර්තා ද සමගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් වෙත යොමු කිරීමට මහ බැංකුව කටයුතු කරයි.

එසේ  පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ලයින් හට බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ,

අවුරුදු තුනකට නොවැඩි සිර දඬුවමකට හෝ 

රුපියල් ලක්‍ෂ දහයක දඩයකට හෝ  

එම සිර දඬුවම හා දඩය යන දෙකටම හෝ යටත් කෙරේ. 

එසේ හෙයින් මෙවැනි යෝජනා ක්‍රම වලට එක් වීමෙන් වැළකී සිටීම හා සමාජයේ අනෙක් අය ද එයින් වැළැක්වීම මෙවැනි නීති විරෝධී යෝජනා ක්‍රම වලට එරෙහිව ක්‍රියා කිරීමෙහි ලා මහජනතාවට ඇති වගකීම බව ශ්‍රී ලංකා මහ බැංකුව සිහිපත් කර සිටියි.

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *