පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ දිවුරුම් දීමේ උත්සව වියදම්වල තොරතුරු ජනාධිපති ලේකම් කාර්ලයාලයෙන් අතුරුදහන් !

By In

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

හිටපු ජනාධිපති වරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරන ලද වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයේ සන්තකයේ නොමැති බවත් වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ දිවුරුම් දීමේ උත්සව අවස්ථාව වෙනුවෙන් කිසිදු පිරිවැයක් දරා නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 

ජනාධිපති ලේකම් කාර්යාලය මේ බව පවසා සිටින්නේ අදාළ වියදම් සම්බන්ධයෙන් 2024.09.24 දිනැතිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ 2005 වර්ෂයේ සිට පිළිවෙලින් 2010, 2015 ,2019, 2022 ,2024 වර්ෂවල පත්වූ ජනාධිපතිවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දරන ලද වියදම් පිළිබඳ තොරතුරු ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමිනි. 

විශේෂයෙන්ම  මෙතෙක් පැවති ආණ්ඩු, ජනාධිපතිවරුන්ගේ  දිවුරුම් දීමේ  උත්සව කටයුතු සඳහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළද වර්තමාන රජය ඒ ආකාරයෙන් කටයුතු නොකරමින් විශාල මුදලක් ඉතිරි කර දීමට කටයුතු කරන බව මහජන අවධානයට හා සංවාදයට ලක්ව තිබෙන කාරණයකි. මෙබඳු අවස්ථාවක, හිටපු ජනාධිපතිවරුන් දිව්රුම් දීමේ උත්සව සඳහා සිදු කළ වියදම් හා වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයේ පිරිවැය කොපමණ දැයි සංසන්දනාත්මකව විමසා බැලීමේ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළ මෙන්ම මහජනතාව තුළද ඇති වීම නිරායාසයෙන් සිදු වන්නකි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා  ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු අයදුම්පතක් යොමු කරමින් තොරතුරු ඉල්ලා සිටියත් තොරතුරු පනතේ නියමිත ව්‍යස්ථාපිත කාල සිමාව තුළදී එම තොරතුරු ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු නොකිරීම හේතුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම වෙත අභියාචනයක් යොමු කෙරිණි. ඒ අනුව, 1685/2024 දරන අභියාචනා අංකය යටතේ 2025.01.17 දින  පැවැත්වෙන අභියාචනා විභාගය සඳහා පෙනී සිටින  ලෙස තොරතුරු කොමිසම මගින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබුණත් එදින ජනාධිපති ලේකම් කාර්යාල සහභාගී නොවීම නිසා අභියාචනා විභාගය 2025.02.05 දිනට නැවත කැඳවීමට කොමිසම නියෝග කර තිබිණි. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ තොරතුරු ඇතුළත් ලිපිය ඒවා ඇත්තේ 2025.01.16 දනැති ලිපියක් මගිනි. ඒ අනුව පෙනී යන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසම දැනුවත් නොකර, අදාළ අභියාචනා විභාගයට වෙනත් දිනයක් ඉල්ලා සිටි බවයි. විශේෂයෙන්ම 2005, 2010 වැනි වර්ෂවල ජනාධිපතිවරුන් දිවුරුම්දුන් උත්සව වියදම් තොරතුරු සොයා ගැනීමට  නොහැකි වීම පිළිගත හැකි වුවත්, ඉන් පසු වසරවල වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති වීම විමතියට කරුණකි. 

 පස්වන වගන්තිය අවභාවිතය

එමෙන්ම එම තොරතුරු ඉල්ලුම්පත මගින්ම 2005 වර්ෂයේ සිට පිළිවෙළින් 2010, 2015, 2019, 2022, වර්ෂවල පත්වූ ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩල සේවකයින්ගේ ප්‍රමාණයන් හා ඔවුන්ට ගෙවන ලද වැටුප් හා දීමනා ප්‍රමාණයන් සම්බන්ධයෙන් හා ඔවුන්ට ලබාදී තිබු වාහන සම්බන්ධයෙන් ද තොරතුරු ඉල්ලා සිටියත් එම තොරතුරු 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිපද පනතේ 05(1)(ආ)(II), වගන්තිය අනුව මෙන්ම 05(1)(අ) අනුව ලබාදීමට නොහැකි හෙයින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ජානාධිපති ලේකම් කාර්යාලයේ නම්කළ නිලධාරී මගින්  මගින් ලිපි අංක PS/RTIA/II/2024/56 යටතේ 2025 ජනවාරි මස 01 දින එවූ ලිපියක් මගින් දන්වා තිබුණි.

එම වගන්ති මගින් පෙන්වා දී ඇත්තේ පුද්ගලික තොරතුරුවලට අදාළ තොරතුරු වන විට….. (05(1)(අ), මෙන්ම එම තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම් හෝ බැදීම් විසින් රහසිගතව ලබාදුන් හෝ රහසිගතව ලබාගත් අවස්ථාවක, එම තොරතුරු හෙළිදරව් කිරීම එම රජය හෝ ජ්‍යාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම් හෝ බැදීම් සමඟ ශ්‍රී ලංකාවේ ඇති සබන්ධතාවන්ට අගතිගාමී වන හෝ අගතිගාමී විය හැකි අවස්ථාවක, එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි. 05(1)(ආ)(II). නමුත් ඉල්ලා ඇත්තේ මහජන මුදලින් නඩත්තු වූ නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් වූ තොරතුරු වන අතර එවැනි තොරතුරු මහජනතාවට ලබාදීමට කිසිදු බාදාවක් නැත. එසේ තිබියදී, මේ ආකාරයෙන් තොරතුරු පනතේ පස්වන වගන්තියේ ඇති තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඇති අවස්ථාවන් හුවා දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය සිදු කරන්නේ තොරතුරු ඉල්ලුම්කරුවන් නොමග යැවීමට උත්සහ කිරීමක්ද? එමෙන්ම විනිවිධභාවය සම්බන්ධයෙන් කතාකරන, පෙනී සිටින රජයක ජානාධිපති ලේකම් කාර්යාලය මෙවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම කිසිසේත් ජනතාව බලාපොරොත්තු නොවන්නකි.

මෙරට පැවති හෝ පවතින රජයන් මගින් මහජන මුදල් වැය කර සිදු කරන කටයුතු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට 2016 අංක 12 දරන තොරතුරු පනත මගින් නීතියක් ලෙසද සහතික කර තිබෙන පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය, ව්‍යස්ථාපිත නීතියක් මගින් තහවුරු කර තිබෙන පුරවැසි අයිතිවාසිකමට පිටුපාමින් තොරතුරු ඉල්ලුමක්කරුවන් නොමඟ යැවීමට කටයුතු කරන්නේ කුමන කරුණක් හේතුවෙන්ද යන්න බරපතළ ගැටලුවකි.

විශේෂයෙන්ම මෙම රාජ්‍ය උත්සව සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර තිබෙන බවට සමාජ මාධ්‍ය මගින්ද දැඩි සේ විවේචනයට ලක්වී තිබූ අතර එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පුරවැසියන්ට දැනගැනීමට සැලැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රගාමී කාර්යයක් විය යුතුය. එමෙනම් මේ ආකාරයෙන් පසුගිය කාලය පුරාවට තොරතුරු ඉල්ලීම්වලදී ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තොරතුරු  ලබාදීම කල් මරමින් කටයුතු කළ අවස්ථා බොහෝය.

දෙබඩි පිළිවෙත

මාස තුනකට අධික කාලයක් යන තුරුම අදාළ තොරතුරු ඉල්ලීම සඳහා තොරතුරු ලබාදීම මඟ හරිමින් සිටි ජනාධිපති ලේකම් කාර්යාලය, පසුව තොරතුරු කොමිසම විසින් නොතීසි නිකුත් කිරීමෙන් පසු තොරතුරු කොමිසමේද පෙනී නොසිට, අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ජනතිපති කාර්යාලයේ නම්කළ නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් මහතාගේ අත්සනින් යුත් ලිපියක් කටයුතු කර තිබේ.  

කෙසේ නමුත් මීට පෙර විකල්ප ප්‍රතිපතති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ලයනල් ගුරුගේ මහතා විසින් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික කාර්යමණ්ඩල ප්‍රමාණයන් හා ඒ ඔවුන්ගේ වැටුප් හා දීමන සඳහා සිදු කළ වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉලා සිටි අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලය මගින්  මේ ආකාරයෙන්ම  එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට අභියාචනා කිරීමෙන් පසු අභියාචනා අංක  RTIC-Appeal-1867-2019 යටතේ 2022.10.19 එම තොරතුරු ලබාදෙන ලෙස කොමිසම ලබාදුන් නියෝගයට අනුව 2022 නොවැම්බර් 14 දිනැතිව ලිපි අංක PS/LAD / 1/2/4-4/2020 යටතේ  අදාළ තොරතුරු ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කටයුතු කර තිබේ. එසේ තිබියදී, ඒ හා සමාන තවත් තොරතුරු ඉල්ලිමක් පනතේ පස්වන වගන්තියේ ඇති සීමාවන්ට මුවාවෙමින් නැවතත් ප්‍රතික්ෂේප කිරීම ගැටලුසහගතය. එය කොමිසමේ මතය නොතකාහැරීමක් මෙන්ම තොරතුරු පනත මගින් තහවුරු කර ඇති පුරවැසි අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි.

කෙසේ නමුත් මුලින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2025.02.05 දින නැවත තොරතුරු දැනගැනීමේ කොමිසම් සභාවේ අභියාචනයට පෙනී සිටීමට පෙර 2025 ජනවාරි 22 දිනැතිව තොරතුරු ලබාදීමට කටයුතු කරන ලදි. එසේ ලබාදුන් තොරතුරුවලද  2010, 2015 ,2019, 2022, 2024 වර්ෂවල පත්වූ ජනාධිපතිවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරන ලද වියදම් හා ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩල සඳහා සිදුකරනු ලැබූ වියදම් සම්බන්ධයෙන් වෙනම වාර්තා පවත් ගෙන නොයන හෙයින් එම තොරතුරු ලබාදීමද ප්‍රතික්ෂේප කර තිබේ.               

රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල විනිවිධභාවය තහවුරු කරනු ලබන ප්‍රධාන සාධකයක් වන්නේ තොරතුරු අයිතිය යටතේ කරනු ලබන ඉල්ලීම්වලට කඩිනමින් පිළිතුරු ලබා දීම හා ප්‍රගාමී ලෙස මහජනතාවට එම තොරතුරු ලබාදීමට හෝ ලබාගැනීමට  සැලැස්වමයි. නමුත් මේ ආකාරයෙන් තොරතුරු ලබාදීම කල් මරමින් සිටීම යනු එම තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමකි. විශේෂයෙන්ම දුෂණ විරෝධී ලෙස කැපී පෙනන වර්තමාන රජයේ ප්‍රතිපත්තියටද එවැනි තොරතුරු වසන් කිරීමේ ප්‍රවනතාවක් කිසිසේත් නොගැළපේ. ජනාධිපති ලේකම් කාර්යාලය මගින්ම එම අයිතිය කඩ කිරීම බරපතෙළ කාරණයකි. එවන් පසුබිමක පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ඇති යාන්ත්‍රණය ශක්තිමත් කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය පසුබිම ශක්තිමත් කිරීමද විනිවිදභාවයකින් යුතු රජයක වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ.

පුවත්

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?

තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත්…

By In
පුවත්

ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…

By In
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය

ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *