පුවත්

වන අලි ගැටළුවට විසදුමක් ලෙස ඉදි කළ විදුලි වැට අක්‍රය වීම

By In

දෙපා කොටින්ට බියෙන් එදා ගම් බිම් හැර ගිය විල්ගම් වෙහෙර ජනයාට අද දිනයේ, වන අලීන්ට බියෙන් සිය ගම් බිම් හැර යාමට සිදුවීම දෛවෝපගත සිද්ධියකි.නිරන්තර වන අලි ගැටළුවට විසදුමක් ලෙස පසුගිය රජය සමයේ අති විශාල මුදලක් වැය කරමින් ඉදිකල ග්‍රාමීය විදුලි වැට මාස තුනක් ගතවීමටත් පෙර අක්‍රයවීම ඊට හේතුවයි.

මහජන මුදල් විශාල ප්‍රමානයක් ගිල දමමින් විල්ගම් වෙහෙර ගම්මානය වටා ඉදිකල මෙම විදුලි වැට ගම්වාසීන්ගේ උවමනාව මත නොව,දේශපාලන උවමනාව මත ඉදිවු බව විල්ගම් වෙහෙර බොහෝ දෙනෙකුගේ අදහසයි.මාස තුනක් ගතවීමටත් පෙර විල්ගම් වෙහෙර ග්‍රාමීය විදුලි වැටෙහි බැටරිය අක්‍රයවීම හා විදුලි වැට සුදු අලියෙක් බවට පත්වීම සම්බන්දයෙන් බළධාරීන් මුනිවත රකින බව ගම්මුන්ගේ චෝදනාවයි.

අපි අවුරුදු ගාණක් කදවුරු වල ඉදලා නැවත පදිංචියට ආවට පස්සේ රජයෙන් ඉල්ලුවේ,වන අලි ගැටළුවට විසදුමක් දෙන්න කියලා විතරයි.මොකද අපි එදා ඉදන් පාරම්පරික ගොවියෝ.අපි කාටවත් අත නොපා ඇගේ හයි හත්තියෙන් මහ පොලොන එක්කලා හැප්පිලා තමයි ජීවත් වුණේ..අපේ ඉල්ලීමට වනජීවි එකෙන් අලි වැටක් ඉදි කරන්න කණුත් ගෙනල්ලා තියෙද්දී තමයි මේ අටමට්ටලේ පංගරාතු වුණේ..මේක හදලා අඩුම තරමින් මාස දෙක තුනක්වත් වැඩ කලා නම් හිතට දුකක් නැහැ

එසේ කියන්නේ,විල්ගම් වෙහෙර ගම්මානයේ පැරණිතම ගොවි මහතෙකු වන එස්..හේමචන්ද්‍ර මහතායි.

ආබාධිතයෙකු වන හේමචන්ද්‍ර මහතා සිය ස්ව ශක්තියෙන් මේ වන විට අක්කර තුනක පමණ බිමක බව භෝග අස්වද්දවා ඇතත්,මේ වන විට එහි භුක්තිය වන අලීන් අත්පත් කර ගෙන ඇති බව කියා සිටිති.අක්කර දෙකක පමණ භූමි භාගයක පැතිරුණු ගස් ලබු වගාවෙන් හරි අඩකටත් වඩා මේ වන විට වන අලීන් විසින් විනාශ කර දමා ඇති අතර,පොල් හා කෙසෙල් වගාවටද හිමිව ඇත්තේ,ඊට නොදෙවෙනි තත්වයකි.

විල්ගම් වෙහෙර ග්‍රාමීය විදුලි වැට සම්බන්දයෙන් අප තොරතුරු දැන ගැණීමේ පනත හරහා ත්‍රීකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කරන ලද විමසීමකට අනුව මේ සදහා වැය කර ඇති මුළු මුදල රැපියල් 37,11128 කි. කිලෝ මීටර 11.200 දිගැති මෙම විදුලි වැට මගින් විල්ගම් වෙහෙරේ පවුල් 109 ට ආරක්ෂාව සලසයි. මනහර ලංකා නැමැති ආයතනය මගින් එහි ඉදි කිරීම් සිදුකර ඇති අතර,වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයද ඊට ලැබී තිබේ.

වන අලි ගැටළුවට විසදුමක් ලෙස වනජීවි දෙපාර්තමේන්තුව විසින් ඉදි කෙරෙන විදුලි වැටට ආදේශකයක් ලෙස පැමිණි ග්‍රාමීය විදුලි වැට විල්ගම් වෙහෙර ගම්මානයට ලැබෙනුයේ,ජනතා උවමනාව මත නොව දේශපාලන උවමනාව මත බව ගම්වාසීන්ගේ අදහසයි.කරුණු හරි හැටි අධ්‍යනය නොකොට ඉදි කෙරුණු ග්‍රාමීය විදුලි වැට සම්බන්දයෙන් මේ වන විට කිසිවෙකුත් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව ඕ.කේ.ඩී.ධර්මසිරි මහතා පෙන්වා දෙති.

අපි මුලින්ම ඉල්ලපු අලි වැට දුන්න නම් මේ විනාශ අපිට වෙන්නෙ නැහැ.වනජීවි එකේ අලි වැට සිවිල් ආරක්ෂක බලකාය හදාගෙන එද්දි තමයි,ඇමතිතුමා කාණ්ඩයක් එකතු කර ගෙන ඇවිත් අපිට කිව්වේ මේ විදුලි වැට තමයි ගමට හරි යන්නේ.

ගමේ අයටම නඩත්තු කර ගන්න පුළුවන්ය කියලා.ඉතින් ඊට පස්සේ අපිටත් කර ගන්න දෙයක් තිබුණේ නැහැ.අපිත් ඇමතිතුමාගේ වචනෙට එකග වෙලා ඔය විදුලි වැට එකග වුනා.නමුත්,විදුලි වැට හදපු උදවිය ඒකට දැම්මේ හීන් කම්බි..බාල කණු..බැටරිය බාලයි.හොදම වැඩේ අලියගේ වලිගේ වැදුනත් අලි වැට පෙරෙලෙනවා.ඔය අලි වැට ගැහැව්වටත් පස්සේ මගේ පොල් පැල සීයකට වඩා අලි විනාශ කරලා තියෙනවා.කෙසෙල් අඹ ගස් ලබු ….අපි මේ අවනඩුව කියන්න තියෙන හැමෝටම කියලා තියෙන්නේ.හැමෝම ඇවිත් කියන්නේ විසදුමක් දෙන්නම් කියලා තමයි.නමුත්,අද වෙනකම් කිසිම විසදුමක් නැහැ.අපි බලාගෙන ඉන්නේ ඔය මහත්වරු මේ පාර ඡන්දෙ ඉල්ල ගෙන එනකම්.කේ.ඩී.ධර්මසිරි මහතා වැඩි දුරටත් කියා සිටි.

විල්ගම් වෙහෙර ගම්මානයේ වන අලි ගැටලුවට විසදුම් ලෙස වනජීවි දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කොට ඉදි කිරීම් ඇරඹුණු විදුලි වැට ඉවත්කොට,ඒ වෙනුවට ග්‍රාමීය විදුලි වැට පැමිණෙන්නේ දේශපාලන බලව‍තෙකුට හා ඔහුගේ ආධාරකාරියකට විල්ගම් වෙහෙර ප්‍රෙදේශයේ අයත් ඉඩමකට පිවිසුම් මාර්ගය ආරක්ෂා කර ගැණීමේ අරමුණින් බව ආර්.එම්.සංජීවනී මහත්මිය කියා සිටී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අලි වැටට කණු ගෙනත් බාන්න හදනකොට ඇමතිතුමාගේ හිතවත් කාන්තාවක් ඇවිත් ඇමතිතුමාගේ හයිය අරගෙන ඒක බාන එක නතර කරා.ඒකට හේතුව ඒ විදුලි වැට ගැහැව්ව නම්,එයාලගේ ඉඩම් වලට යන්න තියෙන පාරවල් වැහෙනවා.එයාලගේ ඉඩම් වලට යන පාරවල් තියා ගන්න ඕන නිසයි එහෙම කලේ. ඒ වෙන කොට වනජීවි එකේ විදුලි වැට අවසන් වෙන්න තව කිලෝ මීටර් තුනයි තිබුණේ.වනජීවි එක ඒ වෙන කොටත් කණු හිටවලා පොයින්ට් පවා හදලා තිබුණේ.

අන්තිමේ ඇමතිතුමා මැදිහත් වෙලා ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය හරහා තමයි මේ අළුත් වැට හැදුවේ.අපි කොයි තරම් එපා කියලා කිව්වත්,එයාලට ඕන විධිහට තමයි වැඩේ කෙරුණේ…”

විල්ගම් වෙහෙර ග්‍රාමීය විදුලි වැට සම්බන්දයෙන් ප්‍රදේශයේ ජනයා මේ වන විට දැඩි විරෝධයක් පෙන්නුවද, මෙම විදුලි වැට ඉදි කිරීමට පෙර ඒ සම්බන්දයෙන් තමන්ගේ අකමැත්තක් නැති බවට ගම්වාසීන් විසින් ලිඛිතව දැනුම් දී ඇති බව බළධාරීන් නගන තර්කයකි.

ඒක සම්පූර්ණ බොරුවක්..අපි ඔය අලි වැට සම්බන්දයෙන් සාකච්ඡා රැස්වීම් වලට ගියහම අත්සන් කරපු පැමිණිමේ ලේඛණයට ලිපියක් අමුණලා තමයි ඔය බොරු කථාව කියන්නේ…” ඊට පිළිතුරු ලෙස සංජීවනී කියා සිටි.

වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඉදිකරනු ලබන විදුලි වැටට අති විශාල මුදල් සම්භාරයන් වැය වන බවත්,ඒ සදහා රජයෙන් මුදල් වෙන් කර නොමැති බැවින් අලි ගැටළු වලට විසදුමක් ලෙස මෙම ග්‍රාමීය විදුලි වැට ඉදිකරන බව නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ මහතා ප්‍රකාශ කල බව ගම්වාසීන් කියා සිටිති. කෙසේ වෙතත්,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විල්ගම් වෙහෙර විහාරස්ථානයේ උත්සවයකට පැමිණීම ඉලක්ක කර ගනිමින් දඩි බිඩියේ ඉදිකල මෙම විදුලි වැටෙහි ඉදි කිරීම් සම්බන්දයෙන්ද ප්‍රෙදේශවාසීන්ට ඇත්තේ නොසතුටකි. මනහර ලංකා නැමැති මෙම විදුලි වැට ඉදි කල පුද්ගලික සමාගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හිතවතෙකුට අයත් එකක් බැවින් කිසිවෙකුත් ඒ සම්බන්දව ප්‍රශ්න නොකල බවද සංජීවනී වැඩි දුරටත් කියා සිටි.

ජනාධිපතිතුමා එන එක ඉල්ක්ක කර ගෙන දවස් තුනකින් තමයි ඔය අලි වැට හැදුවේ.අපිට මුලින් කිව්වේ,කොන්ක්‍රීට් කණු හයි කරනවා.මේ අලි වැටට අවුරුදු දහයක් වග කියනවා.බැටරියට අවුරුදු පහක් වග කියනවා වගේ කථා කිව්වා. අපි හොදටම දැක්කා මේ යකඩ බට හරියට වල දාලා හරියට කොන්ක්‍රීට් කලේවත් නැහැ.හොදම වැඩේ කියන්නේ,ජනාධිපතිතුමා ඇවිත් ගිය දවසෙම රෑ ඇතෙක් ඇවිත් අලි වැට පෙරලලා ගියා.කවුරුත් ඒ ගැන හදපු කොම්පැනියෙන් අහන්න ගියේ නැහැ..”

ගම්වාසීන් ප්‍රකාශ කරන අන්දමට මෙම ග්‍රාමීය විදුලි වැට අනෙකුත් ප්‍රෙදේශයන්හි ඉදිකල විදුලි වැටවල් හා සාපේක්ෂව ගත් කල අඩුපාඩු රැසකින් සමන්විත වු බව කියයි.

විල්ගම් වෙහෙරට යාබදව පිහිටි මොරවැව 10 කණුව ප්‍රෙදේශයේ ඉදිකල ග්‍රාමීය විදුලි වැට ඊට කදිම උදාහරණයක් බව ඔවුන් වැඩි දුරටත් කියා සිටිති.මොරවැව 10 කණුව විදුලි වැට කිසිදු ගැටළුවකින් තොරව මේ දක්වා ක්‍රියාත්මක වනුයේ,එය නිසි ප්‍රමිතියට අනුව ඉදි කිරීම නිසා බව විල්ගම් වෙහෙර ජනතාවගේ අදහසයි.

දැන් ඔය විදුලි වැටේ කරන්ට් එක තියෙනවද නැද්ද කියලා දැන ගන්න එල්ඊඩී බල්බ් හයි කරනවා. මොරවැව එකෙත් එහෙමයි.නමුත් අපේ එකේ එහෙම හයි කරේ නැහැ.අපි අහපුවහම කරන්ට් එක තියෙනවද නැද්ද කියලා දැන ගන්නේ කොහොමද කියලා කොම්පැනිය කිව්වේ,තණ කොලයක් අරගෙන කම්බියට ගාවලා බලන්න කියලා..අනික කොන්ක්‍රීට් කණු නොදා යකඩ බට දැම්මහම හරක් පැන්නත් බට නැමෙනවා.ඒ බට ගන්න තැනක් නැහැ.කම්බි කැඩුනහම ඒ වෙනුවට දා ගන්න අමතර කම්බි තිබුණේ නැහැ.ඒකෙන් මුළු වැටම අක්‍රිය වෙනවා.බැටරියට අවුරුදු පහක් වග කියනවා කියලා කිව්වට මාස තුනෙන් බැටරිය අක්‍රිය වුණා.කොම්පැණිය අපිට කිව්වේ සල්ලි එකතු කරලා බැටරිය දාගන්න කියලා.ඔය වගේ ගැටළු ගොඩක් තිබුණා..”සංජීවනී මහත්මිය ග්‍රාමීය විදුලි වැට හා පැවති අඩුපාඩු පෙන්වා දුන්නේ ඒ අන්දමිනි.

මෙම විදුලි වැටෙහි පවතින අඩුපාඩු වලට පිලියම් යොදා එය නැවත යථා තත්වයට පත්කර දෙන ලෙස ගම්වාසීන් වගකිව යුත්තන්ගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි නමුදු,ඊට ලැබුණු ඇතැම් ප්‍රතිචාර හාස්‍යජනක බව එස්..හේමචන්ද්‍ර මහතා කියයි.

මම මේ විදුලි වැට ඉක්මනට හදලා දෙන්න කියලා මේකෙ ඉන්න හැම එකාටම කියලා කියලා බැරිම තැන දැන් මේ ඉන්න අගමැතිතුමාට කියලා ලියුමක් දැම්මා.අගමැති කාර්යාලයෙන් මට ලිපියක් එවලා තියෙනවා ඒ සම්බන්දව නුවර එලිය දිසාපතිට දැනුම් දුන්නය කියලා.

අගමැති කාර්යාලයේ ඉන්න නිළධාරි දන්නේ නැහැ විල්ගම් වෙහෙර තියෙන්නේ,ත්‍රීකුණාමලේ කියලවත්..මම මාස ගාණක් තිස්සේ බලාගෙන ඉන්නවා නුවර එලිය දිසාපති මොකද කරන්නේ කියලා..”එස්..හේමචන්ද්‍ර මහතා අගමැති කාර්යාලයෙන් ලද එම ලිපිය පෙන්වමින් කියා සිටියි.

විල්ගම් වෙහෙර ගම්මානයේ වැඩි දෙනකු මෙම ග්‍රාමීය විදුලි වැට සම්බන්දයෙන් නොසතුට පල කලද,ඇතමෙකු ඒ සම්බන්දව කියන්නේ වෙනත් කථාවකි.විල්ගම් වෙහෙර ගම්මානයේ පැරණි පදිංචිකාරිණියක වන පී.ජී.චන්ද්‍රකාන්ති මහත්මිය කියන්නේ,මෙම ප්‍රදේශයට වඩාත් යෝග්‍ය මෙම ග්‍රාමීය විදුලි වැට බවයි.

අපි හැමෝගෙම කැමැත්තතෙන් තමයි ඔය වැට හයි කරේ..දැන් මිනිස්සු බොරු කථා කියනවා.අපේ අය මේ වැට නිසියාකාරව නඩත්තු නොකිරීම තමයි මේ වැට අසාර්තක වෙන්න මූලිකම හේතුව වුනේ..ඔය කියන විධිහට වනජීවී එකේ වැට ගැහැව්ව නම්,ඒක රැක බලා ගන්න එක දුෂ්කර කටයුත්තක්.අපේ ඉල්ලීම මත මිසක් ඇමතිතුමාගේ උවමනාව මත මේක හැදුවේ නැහැ.අදටත් අපි ඉල්ලන්නේ මේ වැටම අපිට දෙන්න කියලයි..මොකද මේක නඩත්තු කර ගන්න එක පහසුයි..”

කෙසේ වෙතත්,විල්ගම් වෙහෙර ප්‍රෙදේශයේ බොහොමයක් ඉඩම් හි විශාලත්වයත්,බොහොමයක් ඉඩම් වල මේ වන තුරත් ජනයා පදිංචිව නොසිටීමත් ග්‍රාමීය විදුලි වැට අසාර්තකවීමට බලපාන බව නොරහසකි.නිසි අන්දමින් නඩත්තු කිරීම හා කුඩා වපසරියකට පමණක් විදුලි වැට සීමාවීම වෙනත් ග්‍රාමීය විදුලි වැටවල් වල සාර්තකත්වයට තුඩු දී ඇති බවක් පෙනේ.මොරවැව 10 කණුව ගම්මානය හා එහි ස්ථාපිත විදුලි වැට ඊට සාක්ෂි දරයි.

ඔය අලි වැට හදද්දීම අපි කිව්වා මේක ලොකු ගමක් නිසා හරියන වැඩක් නෙවෙයි කියලා.අන්තිමේට වුණේ ලක්ෂ ගානක් ගසා කාපු එක විතරයි.. අලි ගමට ආපුහම කියන්න කෙනෙක් නැහැ. වනජීවි එකට කිව්වහම වනජීවි එකේ මහත්වරු අපිට කියන්නේ ඔයාලා ඇමතිතුමා එක්ක එකතු වෙලා ගහ ගත්තු අලි වැටනේ.ඇයි අපිට කරදර කරන්නේ කියලා.දැන් අපිට වෙලා තියෙන්නේ ආයෙත් සැරයක් මේවා අතහැරලා දාලා යන්නයි..” එසේ කියන්නේ,විල්ගම් වෙහෙර ගම්මානයේ උපාලි හරිස්චන්ද්‍ර මහතායි.

විල්ගම් වෙහෙර ග්‍රාමීය විදුලි වැට අනාරාධිතව ගෙන ඒම හා නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කිරීම සම්බන්දයෙන් ජනතාව නගන චෝදනාව පිළිබදව අප රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතාගෙන් විමසා සිටි අතර,එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි.

පසුගිය කාලේ විල්ගම් වෙහෙර වනය ආශ්‍රිතව පරිසර උද්‍යානයක් රජය විසින් සැලසුම් කර තිබුණා.ඊට අනුකූලව වනජීවි දෙපාර්තමේන්තු ලේකම්වරයාගේත් නිර්දේශය මත තමයි මේ විදුලි වැට ඉදි කරන්නේ.එවකට හිටපු වනජීවි අමාත්‍යාංශයේ ලේකම් 2014.08.25 දරණ ලිපිය මගින් මේ සදහා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ වගේම මේ විදුලි වැට ඉදි කරාට පස්සේ ත්‍රීකුණාමලය වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා විසින් ක්‍ෂේත පරීක්ෂාවක් සිදු කොට විදුලි වැට නිසි ප්‍රමිතියට පවතින බවට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (අලි සංරක්ෂණ)සහතිකයක්ද ලබා දී තිබෙන තත්වයක් තුල තමයි මේ විදුලි වැටට ඇතමෙකු අවලාද නගන්නේ..මෙවැනිම ග්‍රාමීය විදුලි වැට වල් කිහිපයක් මොරවැව වෙප්පන්කුලම්,මුදලියාර්කුලම් වැනි ගම්මාන වල ඉදිකර තිබෙනවා.ඒවා අදටත් හොදින් ක්‍රියාත්මක වෙනවා.ඒකට හේතුව ඒවා ගම්මු හොදින් නඩත්තු කිරීම.

විල්ගම් වෙහෙර ගමේ ඉඩම් බොහොමයක් පදිංචි නොවු ඉඩම් නිසා මෙය හරි හැටි නඩත්තු කෙරුණෙ නැහැ.අනික සමහරක් අය හිතාගෙන ඉන්නේ,රජයෙන් අලි වැට ගැහැව්ව නම් රජයම ඒක බලා ගන්න ඕනේ කියලා.අපි මේ අලි වැට හදද්දී විදුලි වැට නියාමක කමිටු හදලා ඒකට පුහුණුවකුත් දුන්නා.නමුත් ජනතාව එයින් හරි හැටි ප්‍රෙයෝජනයක් ගත් බවක් පෙනෙන්නට නැහැ.මේ සදහා විශාල මුදලක් වැය කලා කියලා චෝදනා කලාට,ඇත්තෙන්ම මුදල් වැය කලේ උපකරණ වලට පමණයි.ශ්‍රමය සම්පූර්ණවම නොමිලේ ලබා ගත්තේ.අවසාන වශයෙන් කියන්න තියෙන්නේ,මොන විදුලි වැට ගැහැව්වත් මිනිස්සු ඒක හරිහැටි නඩත්තු නොකරනව නම් එය රදා පවතින්නේ නැහැ කියන එකයි..”

අසාර්තකවු විදුලි වැට නැවත වරක් සක්‍රිය කර දෙන ලෙස ඉල්ලා විල්ගම් වෙහෙර ජනතාව බළධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් කලද,එයට ලබා ඇත්තේ බාලගිරි දෝෂයයි.මේ සම්බන්දයෙන් ගම්වාසීන් අවස්තා කිහිපයකදී විරෝධතා ව්‍යාපාර පවා දියත් කලද,ගගට කැපු ඉනිසේ මේ වන තෙක් ඊට විසදුම් ලැබී නැත.

දැන් අපිමේ ප්‍රශ්නේ කියන්න ඕන හැමෝටම කියලා තියෙන්නේ.නමුත් අද වෙන තුරුත් එක එක්කෙනාට බෝලේ පාස් කරනවා විතරයි.විසදුමක් අද වන තෙක් නැහැ.අපි මේ ගමට එදා ඉදන් ඉල්ලුවේ,අලි වැටක් විතරයි.ඒකත් දෙන්න බැරි නම් අපිට මේ ආණ්ඩු වලින් ඇති වැඩේ මොකක්ද?අපි මේ බලාගෙන ඉන්නේ ඔය මහත්වරු මේ පාර ඡන්දේ ඉල්ල ගෙන එනකම් තමා…” එසේ කියන්නේ,විල්ගම් වෙහෙරේ කේ.ටී.නිරෝෂායි.

මංගලනත් ලියනාරච්චි

ත්‍රිකුණාමලය (ලංකාදීප)

Untitled-1

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *