ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයුම් වාර්තාවක්වත් සකස් කරලා නෑ
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට නිසි පිළියමක් සෙවීමට මෙතෙක් පැවති කිසිදු රජයක් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සමත් නොවූ පසුබිමක අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන් ඒ අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් සිදුකළ මහජන මුදල් නාස්තිය රුපියල් බිලියන ගණනකි.
ඒ ආකාරයෙන්ම ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට පිළියම් හොයමින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ තවත් රුපියල් මිලියන 425කට වඩා වැය කරමින් වන අලි රැඳවුම් මධ්‍යස්ථානයක් තැනීමට පිඹුරුපත් සකසන ලද්දේ, අසාර්ථක ව්‍යාපෘතියක් වූ මිට පෙර තැනු හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා 2012/3/17 දිනැති අංක 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව රුපියල් මිලියන 345ක් වැය කර තිබියදී ය.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉදිකිරීමට ගිය වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය සඳහා මුදල් ලබාදීමට නියමිතව තිබුණේ පරිසර සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP) මගින් වේ. එම ව්‍යාපෘතියට මුදල් ලබාදෙනු ලබන්නේ වසර 20ක් තුලදී ගෙවීමේ පදනම මත ලෝක බැංකුවෙන්ය නමුත් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉදිකිරීමට ගිය වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය සඳහා මෙතෙක් ESCAMP ව්‍යාපෘතිය මගින් මුදල් ලබාදී නොමැතිබව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.
ESCAMP ව්‍යාපෘතිය මගින් මේ සඳහා මුදල් ලබා නොදුන්නත් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ පසුගිය 2022 වර්ෂය තුළදී තැනීමට ගිය වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය වෙනුවෙන් ඒ වටා අගල් කැපීමට පමණක් වනසත්ව සංරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 89කට වඩා (89497806.30) වැයකර තිබෙන බවත් ඒ වන විටත් අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් කිසිදු පරිසර ඇගයුම් වාර්තාවක් සකස් කර නොතිබූ බවත් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය විය.
වනසත්ව සංරක්ෂණ අරමුදල වනසතුන්ගේ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් යෙදවීමට ඇති අරමුදලක් වේ. නමුත් මෙවැනි, වනසතුන්ගේ ජිවිත උදෙසා වින කටින, අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් එම අරමුදල යොදා ගැනීම බරපතල ගැටලුවකි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් කිසිදු පරිසර ඇගයුම් වාර්තාවක් නොමැතිව ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ තැනීමට ගිය වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයේ වැඩ කටයුතු, පැවති නීතිමය තත්වයන් හමුවේ මේ වනවිට නවතා දමා ඇති නමුත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 89 කට වඩා (89497806.30) වැයකරමින් ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මගින් දිගින් කිලෝ මීටර 33ක පමණ දුරට හා පළලින් මීටර 3ක් පමණ මෙන්ම ගැඹුරින් අඩි 08ක් පමණ අගල් කැපීම් හේතුවෙන් සිදුව ඇත්තේ පරිසර විනාශයක් පමණි.
මේ ආකාරයෙන් සිදුකළ අගල් කැපීම හේතුවෙන් වනාන්තරයට අහිමිවූ ස්වභාවික බිම් ප්‍රමාණය අක්කර 27කට වැඩි ය. ඒ ආකාරයෙන් ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වෙත අගල් කැපීමට අවසර ලබාදී ඇත්තේ එවක වනජීවී අමාත්‍යංශයේ ලේකම් විසිනි.
එමෙන්ම නිසි පරිසර ඇගයුම් වාර්තාවක් නොමැතිව තිබු ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ තැනීමට ගිය වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යාපෘතිය වෙනුවෙන් අගල් කැපීමට අමාත්‍යංශ ලේකම්වරයෙකු විසින් අවසර ලබාදීම ම බරපතල ගැටලුවකි.
වනසතුන්ට වින කටින ඇමතිගේ අගල්
අලි මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමේ අරමුණින් ලංකාවේ විවිධ ප්‍රදේශවල ජන ජීවිතයට තර්ජනයක් වූ වනඅලි අල්ලා ගෙනැවිත් රඳවා තැබීම සඳහා හොරොව්පතාන ප්‍රදේශයේ ද මේ වනවිට හෙක්ටෙයාර 997ක භුමි ප්‍රදේශයක රුපියල් මිලියන 345ක් වැය කරමින් 2012 වර්ෂයේ සිට අලි රැඳවුම් මධ්‍යස්ථානයක් තනා ඇතත්, එය ද අසාර්ථක ව්‍යාපෘතියක් බව ‘’අද’’ පුවත්පත මගින් අවස්ථා කීපයකදී කරුණු සහිතව හෙළි කරනු ලැබි ය. එවන් පසුබිමක තවත් රුපියල් මිලියන 425කට වඩා වැය කරමින් හෙක්ටෙයාර 3000කට අධික භූමි ප්‍රමාණයක තැනීමට සැලසුම්කර තිබූ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනඅලි රැඳවුම් මධස්ථානය වටා අගල් කැපීමට කටයුතු කර ඇත. මෙම අඟල් කැපීම හේතුවෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනාන්තරයට සිදුවූ හානිය මෙන්ම වනසතුන්ගේ ජිවතවලට ද තර්ජනයක් මේ වනවිට ඇතිවී තිබේ.
වනෝද්‍යාන වන සතුන්ගේ නිජබිම් ය. එහි දී ඔවුන්ට රිසි සේ ජීවිත්වීමේ අවකාශය තිබිය යුතු ය. නමුත් අද වනවිට ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කපා තිබෙන මෙම අගල් හේතුවෙන් වනසතුන්ට එම අගල්තුලට වැටි ජිවිතවලින් වන්දි ගෙවීමට සිදුව තිබේ. එමෙන්ම මෙම අගල් කැපීම හේතුවෙන් වන අලින්ගේ පමණක් නොව අනෙකුත් වන සතුන්ගේ ද සංචරණ කටයුතු සීමා වන බව පරිසරවේදීන් පෙන්වා දෙති.
පරිසර විනාශය
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනඅලි රැඳවුම් මධස්ථානය වටා අගල් කැපීම සිදුකර ඇත්තේ වනෝද්‍යානයේ ඇති බෝල්හිඳ වැව,ගම්පලැස්ස වැව,තලගහ දිගන වැව, යන වැවු වලට පහත් භුමි ප්‍රදේශ තුලින් හේතුවෙන් ඉදිරියේදී එම වැව් වල ජලය රදා පැවතිමටද නොහැකි තත්වයක් ඇතිවිය හැකිබව පරිසර වේදීන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානයේ (CEJ) අධ්‍යක්ෂ, පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ ‘’අලි විතරක් නොවේ ලුණුගම්වෙහෙර ඉන්නේ මේ වගේ පරිසරයකදි ඒ හැම සතෙකුටම බලපෑම් ඇතිවෙන්න පුළුවන් වැව් වල වතුර අඩුවෙන්න පුළුවන් ඒ නිසා තමයි මේවගේ ව්‍යාපෘතියකට කලින් පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කරන්න ඕන නමුත් මෙතන එහෙම වෙලා නෑ. අනිත් එක මේ වනජීවී කලාප අයිති පොදු මහජනතාවට නිලධාරීන් ඉන්නේ ඒවා ආරක්ෂා කර ගන්න මේ වගේ විනාශ කිරීමට නොවේ’’
කෙසේ නමුත් මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානය තැනීම සම්බන්ධයෙන් 2022.08.22 දින වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් සිදුකළ විමසීමක දී ඔහු කියා සිටියේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉදිකිරීමට යන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය තැනීමට මත්තෙන් සිදුකළ යුතු සියලු පර්යේෂණ කටයුතු සිදුකර අවසන් කර තිබෙන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් 2022.03.28 දිනැතිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ විමසිකම දී අදාල පොදු අධිකාරිය මගින් 2022.11.18 දිනැතිව ලබාදුන් තොරතුරු තුල පැහැදිලිව සඳහන් වන්නේ ඒ වනවිටත් පරිසර ඇගයුමක් ආරම්භකර වාර්තාවක් සකසමින් තිබුනු බවය. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ව්‍යාපෘතිය පටන් ගෙන තිබුනේ කිසිදු ආකාරයක පරිසර ඇගයුම් ක්‍රියාවලියකින් තොරව රාජ්‍ය නිලධාරීන්ගේ හෝ දේශපාලඥයින්ගේ උවමනාව මත පමණක් බවයි.
‘’අද වනවිට ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉතුරු වෙලා ඉන්නේ මත්තල හම්බන්තොට ප්‍රදේශවලදී අවතැන්වූ වනඅලින්. මෙම ව්‍යාපෘතියට තෝරාගත් ප්‍රදේශය වනඅලින් පාවිච්චි කරන්නේ නෑ කියල තමයි මේ අය කියන්නේ. එහෙම පාවිච්චි කරන්නේ නැත්නම් එක පැත්තකින් ඒ ප්‍රදේශය වනඅලින්ට සුදුසු නැති ප්‍රදේශයක්. අනෙක් කාරණය තමයි හෙක්ටෙයාර 3000කට අධික භූමි ප්‍රමාණයක අලි රැඳවුම් මධ්‍යස්ථානයක් හැදීම තුලින් අනෙක් වනඅලින්ගේ මෙන්ම වන සතුන්ගේ වාසස්ථාන ද අහිමි වීම. මේක තුලින් වනඅලි සංරක්ෂණයට වඩා සිදුවිය හැක්කේ වනඅලි නැති කිරීම.’’ බව වනඅලි සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටි.
“වනජීවී සංරක්ෂණයට විශාල පාඩුවක් වනබව දැන දැන රාජ්‍ය නිලධාරීන් ලෙස මිනිස්සු නොමග යවමින් ඇයි මේ වගේ දේවල් කරන්නේ කියල ප්‍රශ්නයක් පවතිනවා” යැයි ද හෙතෙම කියා සිටියේ ය.
අලි මිනිස් ගැටුම උග්‍ර වීම කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත්තේ ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශවල ජීවත්වන වනඅලින්ට ප්‍රමාණවත් ආහාර නොතිබීමය.මේ හේතුවෙන් වනඅලි ගම්වැදීම හා එහිදී සිදු වන වගා සහ ජීවිත හානි හමුවේ මිනිසුන් විසින් ද වන අලි ඝාතනය කරනු ලැබීමයි. මෙම ගැටලුවට පිළියමක් ලෙස, දරුණු වනඅලින්ගෙන් මිනිසුන්ට සිදුවන හානිය අවම කර ගැනීමේ අරමුණින් මේ ආකාරයෙන් අලි රැඳවුම් මධ්‍යස්ථාන තැනීමට කටයුතු කළත් එම අලි රැඳවුම් මධ්‍යස්ථානය අවට ප්‍රදේශ රැසක මෙතෙක් නොතිබූ අලි මිනිස් ගැටුමක් ඇති වී තිබෙන බවට කදිම නිදසුන් සපයන්නේ හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය යි.
මේ අනුව පෙනී යන්නේ ගැටලුවට විසඳුමක් සෙවීම වෙනුවට ගැටලුව එක් තැනකින් තවත් තැනකට මාරු කිරීම පමණක් සිදුව ඇති බවයි. එය හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිත ගැටලුවේ එක් පැතිකඩක් පමණි. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉදිකිරීමට ගිය වන අලි රැඳවුම් මධ්‍යස්ථානය ද ඒ ආකාරයෙන්ම අවිධිමත් ව්‍යාපෘතියක් වන බවට පෙන්වාදිය හැකි ප්‍රධානම කාරණය වන්නේ මෙම ව්‍යාපෘතිය ආරම්භයට මත්තෙන් පරිසර ඇගයුම් වාර්තාවක් සැකසීමට කටයුතු නොකිරීමයි.
මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තෙමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවන් අදහසක්.
‘’ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉදිකිරීමට ගිය වන අලි රැඳවුම් මධ්‍යස්ථානය හදන එක අපි නවත්වල නෑ අලි අගල් කැපීම සම්බන්ධයෙන් අධිකරණයට අපි පොරොන්දු වෙලා තියෙනවා අදාළ කටයුතු අධිකරණයෙන් නැවත නියෝගයක් ලැබෙන තුරු කරන්නේ නෑ කියලා ඉදිරියේදී ඒ සමබන්ධයෙන් අධ්‍යනයක් කරලා අධිකරණයට වාර්ථාකරන්න කටයුතු කරනවා ‘’
එමෙන්ම මෙම කටයුතු වලට පෙර පරිසර ඇගයීමක් සිදු නොකිරීමට හේතුව කුමක්ද යන්න විමසු විට අධ්‍යක්ෂ වරයා කියා සිටියේ ‘’පරිසර ඇගයීමක් කරන්න ඕඅන නෑ එහි මුලික අධ්‍යනයක් සිදුකර තිබෙනවා’’ යනුවෙනි.
ලුණුගම්‍වෙහෙර ජාතික වනෝද්‍යානය වැව්, ජාලාශ හා වන ජිවිත සුරක්ෂිත කිරිමේ පරමාර්තය පෙරදැරි කොට ගෙන 1995 වසරේදි ලුණුගම්‍වෙහෙර ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදි වානාන්තර වර්ග කිහිපයකින් සැදි ඇති ලුණුගම්‍වෙහෙර ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 23498 වන මුළු බිම් ප්‍රදේශයෙන් සියයට 14ක් නැතහොත් හෙක්ටයාර 3283ක්ම ජාලාශ යන්ගෙන් සමන් විතය. එවන් අගනා පාරිසරික කලාපයක් තුළ මේ ආකාරයෙන් රටේ මහජන මුදල් ද මිලියන ගණනින් යොදවමින් මෙවැනි ව්‍යාපෘති සිදුකිරීමට මත්තෙන් මෙයට වඩා දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් සැලකිලිමත් විය යුතු නොවේද?