කේ. ප්‍රසන්න
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. රජයට අධික වියදමක් දැරීමට සිදුවන ආයතන පෞද්ගලීකරණය කිරීමටත් ප්‍රතිව්‍යුහගත කිරීමටත් රජය දිගින් දිගටම උත්සාහ දරමින් සිටියි. විශේෂයෙන්ම ආදායම් ඉපැයීමේ අරමුණින් නිර්මාණය කරන ලද රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලබන බැවින් එම ආයතන පවත්වාගෙන යාමට විශාල මහජන මුදල් ප්‍රමාණයක් යෙදවීමට සිදුව ඇත.
ආදායම් උපයා ගැනීම සඳහා නිර්මාණය කළ රාජ්‍ය ආයතන 20ක් මේ වන විට පාඩු ලබන බවත් ඒවා මහජන මුදල් මඟින් පවත්වාගෙන යෑමට සිදුව ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා අනාවරණය කර ගැනීමට හැකි විය. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් ලැබුණු තොරතුරුවලට අනුව, 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ රාජ්‍ය ව්‍යවසායන් 52න් 20ක් රුපියල් කෝටි 85,178.6 (බිලියන 851.79) ක පාඩු ලබා ඇත. 2023 වසර සඳහා වන දත්ත තවමත් සම්පූර්ණ කර නොමැති බැවින් අදාළ තොරතුරු ලබාදීමට නොහැකි බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් දන්වන ලදි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ සහ උපකරණ සංවිධානය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ලක්දිව ඉංජිනේරු සමාගම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, නෝර්ත් සී ලිමිටඩ්, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල, තල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා කජු සංස්ථාව, මිල්කෝ පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව, ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ගල්ඔය වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ලංකා සතොස, වී අලෙවි මණ්ඩලය යන රාජ්‍ය ආයතන 20 විශාල වශයෙන් පාඩු ලබමින් තිබේ.
මෙම රාජ්‍ය ව්‍යවසායන් 20න් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් 19 හි 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ වියදම රුපියල් කෝටි 20,384කි. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සපයන ලද තොරතුරුවලට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන් 19 රුපියල් කෝටි 3,452.7ක පාඩුවක් ලබා ඇත.
ඉහත ආයතන 20 හි සේවක කරන මුළු සේවක සංඛ්‍යාව 36,468කි. ඒ අතරින් වැඩිම සේවක පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ වන අතර එහි සේවය කරන සේවක සංඛ්‍යාව 23,205කි. කෙසේ වෙතත්, අඩු සේවකයින් සිටින ආයතනද අඛණ්ඩව විශාල වශයෙන් පාඩු ලබමින් පවතියි. මේ අතරින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 2,064ක් සිටින අතර වැඩිම පාඩු ලබන ආයතනය වී ඇත්තේ එයයි. 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 361,754ක (රු. බිලියන 3617.54) ආදායමක් උපයා ඇති අතර එම කාලය තුළ එම ආයතනයේ වියදම රුපියල් කෝටි 443,006.3 (රු. බිලියන 4430.06)කි. ඒ අනුව රුපියල් කෝටි 81,725 (රුපියල් බිලියන 817.26)ක පාඩුවක් සිදු වී ඇත.
මේ ආකාරයට දිගින් දිගටම පාඩු ලබන ආයතනවල කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයට වැඩිපුර මුදල් වෙන් කිරීමට සිදු වේ. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් භාවයෙන් ගොඩ එන රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් මෙවැනි රාජ්‍ය ආයතන මගින් ඇති කරන බලපෑම් නිසා ජනතාව නැවතත් ආපස්සට ගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.
එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතන තමන්ට ලැබෙන ආදායමෙන් විශාල කොටසක් සේවකයන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා සඳහා වැය කර ඇති බවද නිරීක්ෂණය වී ඇත. සපයන ලද තොරතුරු මත පදනම්ව, සේවකයින් 23,205ක් සිටින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය 2022 දී රුපියල් මිලියන 125ක අලාභයක් ලබා ඇති අතර සේවක වැටුප් සහ අනෙකුත් දීමනා සඳහා රුපියල් මිලියන 17,083ක් වැය කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග තුළින් රට යළි පණගැන්වීමට පියවර ගෙන තිබේ. එහි එක් කොටසක් ලෙස පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හෝ පෞද්ගලීකරණය කිරීමෙන් නැවත ලාභ ලැබීමට උත්සාහ කරමින් පවතියි. කෙසේ වෙතත්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ 2023 වසර දක්වා පාඩු ලබන කිසිදු රාජ්‍ය ව්‍යවසායයක් පෞද්ගලීකරණය කර නොමැති බවයි.
2024 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 100,184ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අතරින් ඩොලර් මිලියන 57,283ක් දේශීය ණය, ඩොලර් මිලියන 37,041ක් විදේශ ණය සහ ඩොලර් මිලියන 5,860ක් ඇපකර ණය වේ. එසේම ලංකාවේ වර්තමාන ආදායමට සාපේක්ෂව වියදම දෙගුණයකින් වැඩි වී ඇත. පාඩු ලබමින් ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන දේශීය බැංකුවලින් ලබා ගන්නා ණය එම ආයතනවල වාර්ෂික ආදායමට වඩා වැඩිය. රජයේ ව්‍යවසායන් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නැත. අනෙක් පැත්තෙන් රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි. එබැවින් ශ්‍රී ලංකාවේ ණය සඳහා බලපෑම් සිදුකරන මෙවැනි පාඩු ලබන ආයතනයන් ලාභ ලබන තත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය වේ.
පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා – 2022 | |||
රාජ්‍ය ආයතන | 2023.12.31 දක්වා නිෂ්පාදනය (රු. මිලියන) | සේවක සංඛ්‍යාව | වැටුප් සහ අනෙකුත් දීමනා සඳහා වියදම් (රු. මිලියන) |
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය | 125 | 23,205 | 17,083 |
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව | 940 | 572 | 1,681 |
ලක්දිව ඉංජිනේරු සමාගම | 20 | 80 | 13 |
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව | 228 | 482 | 100 |
විජය කුමාරතුංග අනුස්මරණ රෝහල | 13 | 205 | 183 |
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව | 615,053 | 2,064 | – |
ජනතා වතු සංවර්ධන මණ්ඩලය | 5 | 198 | 91 |
ශ්‍රී ලංකා ධීවර සංස්ථාව | 150 | 676 | 390 |
මිල්කෝ සමාගම | 392 | 1,228 | 355 |
තල් සංවර්ධන මණ්ඩලය | 25 | 224 | – |