- නිලධාරීන් 20 දෙනෙකු වැරදිකරුවන් බව තහවුරුයි
- කිසිවකුට එරෙහිව පියවරක් ගෙන නෑ
- දිස්ත්‍රික්ක 13කින් තොරතුරු දුන්නේ 06ක් පමණයි
- මැතිවරණ කොමිසමත් තොරතුරු දීම මඟ හරී
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි. එය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සේම මෙරට රාජ්‍ය නිලධාරීන්ටද විශාල වගකීමක් තිබේ. ඒ නිසාම මේ සියලු දෙනාගේ අපක්ෂපාතිත්වය අත්‍යවශ්‍ය කරුණකි. නමුත් මැතිවරණ කාලවලදී ඇතැම් රජයේ නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, තම තනතුරට නොගැළපෙන දේශපාලන ක්‍රියාවන්හි යෙදීම මෙන්ම එම නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙරට නීතිගරුක පුරවැසියන් විශ්වාසය පළුදු කිරීමට හේතු වේ.
මැතිවරණ නීතිවල කාර්යභාරය
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති සැලසුම් කර ඇත්තේ සියලුම අපේක්ෂකයින් සඳහා සම මට්ටමේ තරඟ බිමක් සහතික කිරීම, ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ මැතිවරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහාය. මැතිවරණ කොමිෂන් සභාව විසින් බලාත්මක කරන ලද රෙගුලාසි මෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහාම පවතින ආයතන සංග්‍රහය ඇතුළු නීති රීති අනුව රාජ්‍ය සම්පත්, තනතුරු හා බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම්වල නිරත වීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩක් නැත.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල කීපයක් මගින් ලබාගත් නිල තොරතුරු පදනම් කරගත් මෙම ලිපිය මගින් අනාවරණය කෙරෙන්නේ, නීති රීති එතරම් තිබියදීත් පසුගිය ජනාධිපති වරණයේදී (2024) මෙන්ම පාර්ලිමේන්තු මහ මැතිවරණ කාලයේදී අනීතික ලෙස තම තනතුරට ඇති බලය මෙන්ම සමාජීය අවකාශයන්, හා සමාජ මාධ්‍ය අවභාවිත කරමින් කටයුතු කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙනි.
තොරතුරු දීමට මැළි වීම
පසු ගිය 2024 ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මැතිවරණ නීති නොසලකා හරින ලද රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබඳව තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ තෝරාගත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල 13ක් සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටි නමුත් එම පනතේ ව්‍යවස්ථාපිත නියමයන්ට අනුව මේ වනවිට තොරතුරු ලබාදී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල 06ක් පමණකි. ඒ හම්බන්තොට, අනුරාධපුර, අම්පාර, මාතර, ත්‍රිකුණාමලය, කොළඹ, පුත්තලම යන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල පමණි. මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව තොරතුරු ඉල්ලීම සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු පනතේ ව්‍යවස්ථාපිත නියමයන්ට අනුව තොරතුරු කොමිසමට අභියාචනා සිදුකර තිබේ. එමෙන්ම තොරතුරු ලබා දීමට කල් මරමින් සිටින මෙන්ම කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලද අනෙකුත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසම වෙත අභියාචනා කර තිබේ. නමුත් මේ ආකාරයෙන් මැතිවරණ නීතිවලට මෙන්ම තම තනතුරට ඇති නීතිමය සීමාවන් නොතකා විවිධ දේශපාලන පක්ෂ ක්‍රියාකරුවන් ලෙස කටයුතු කරනු ලැබූ අදාල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මැතිවරණ කොමිසම මෙන්ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල කල් මරන්නේ හෝ තොරතුරු දීම මඟහරින්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුසහගත තත්ත්වයකි.
20 දෙනෙක් වරදකරුවෝ
කෙසේ නමුත් ඉහත දිස්ත්‍රික්ක 06හි මැතිවරණ කාර්යාල ලබාදුන් තොරතුරු අනුව අනුරාධපුර, අම්පාර හා මාතර යන දිස්ත්‍රික්කයන්හි එසේ තනතුරට නොගැළපෙන දේශපාලන කටයුතුවල නිරත වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තා වී නොමැත. හම්බන්තොට, ත්‍රිකුණාමලය, කොළඹ, පුත්තලම යන දිස්ත්‍රික්ක 04 තුළ පමණක් එසේ තම තනතුරට නොගැලපෙන විවිධ දේශපාලන ක්‍රියාවන්හි නියැලුණු රාජ්‍ය නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ. ඒ අතුරින් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී යම් වරදක් සිදු කර ඇති බවට තහවුරු වූ නිලධාරීන් 20 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු යොදමින් සිටින බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය. අදාළ තොරතුරු විශ්ලේෂණයේදී තහවුරු වූයේ එසේ වාර්තා වූ රාජ්‍ය නිලධාරීන් අතුරින් වැඩි පිරිසක් සිටින්නේ විදුහල්පතිවරුන් බවයි. එම සංඛ්‍යාව 13කි. එයින් විදුහල්පතිවරුන් 09ක් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද, තවත් විදුහල්පතිවරුන් දෙදෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වෙයි.
මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට මහ රෝහලේ හා තංගල්ල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුද, දිස්ත්‍රික්කයේ තවත් වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති හා කොන්සල් ජනරාල් වරයකුද, කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභාවේ සභාපතිවරයාද චෝදනා ලැබූවන් අතර වේ. ඔවුන් මැතිවරණ නීති කඩකිරීම මෙන්ම තම තනතුරට නොගැළපෙන දේශපාලන ක්‍රියාවන් සිදු කර තිබෙන බවට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සඳහා ලැබුණු පැමිණිලි මත පරීක්ෂණ සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ.
එමෙන්ම අදාළ නිලධාරීන් අතුරින් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් 05 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.
හිමි විය යුතු දඬුවම්
රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් Transparency International Sri Lanka ආයතනයේ පොදු දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහන යටතේ මෙන්ම වෙනත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සාක්ෂි සහිතව මෙම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව, අදාළ දිස්ත්‍රික්කයන්හි මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන හා මැතිවරණ කොමිසන් සභා මගින් මෙම පරීක්ෂණය සිදු කොට ආදාළ ආයතන දැනුවත් කර තිබේ.
විශේෂයෙන්ම 2017.12.07 දින නිකුත්කරනු ලැබූ 32/2017 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන ලෙස රාජ්‍ය සේවකයින් වර්ගීකරණය කර තිබේ. එහි සඳහන් පරිදි තෘතීක මට්ටමේ හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න අර්ථ දක්වා තිබේ. ඒ අනුව වෛද්‍යවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද මාණ්ඩලික ගණයට අයත් වේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ අංක 1 මගින් දේශපාලන අයිතිවාසිකම් භුක්තිවිඳීමට හිම්කම් නොමැති නිලධරයෙකුට තහනම් කටයුතු සඳහන් කර තිබේ. ඒ සඳහා මාණ්ඩලික නිලධාරීන්ද අයත්ය. එහි 1.2 මගින් දක්වා ඇති ආකාරයට එම නිලධාරීන්ට මැතිවරණයකදී ඡන්දය ලබාදීම හැර කිසිදු දේශපාලන ක්‍රියාවක නියැලීමට නොහැකි අතර එසේ සිදු කිරීම සේවයෙන් පහකිරීමට භාජනය වියයුතු වරදක්සේ පෙන්වා දී තිබේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ 1:2:2 අනුව මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයෙකු හට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීමද ඉහත සඳහන් දඬුවමට පාත්‍ර වීමේ වරදක් සේ පෙන්වා දී තිබේ. එමෙන්ම මැතිවරණ කොමිසන් සභාව මගින් ප්‍රකාශයට පත්කර ඇති 2394/56 හා 2024.07.26 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මාණ්ඩලික නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් අහිමි බව පෙන්වා දී තිබේ.
ඊට අමතරව මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අංක 2394/56 හා 2024.07.26 දිනැති ඇති විශේෂ ගැසට් පත්‍රයේ සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත්කර ඇති EC/EDR /PRE /2024/6-04 B හා 2024.07.26 දිනැති අංක 05 චක්‍රලේඛයේ 08(II) වගන්තිය අනුව දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ අගතියට පත්වන ආකාරයෙන් ක්‍රියාකාරකම්වලට සහභාගී වීම හෝ ඒවාට අනුබලදීම වරදක් බව පෙන්වා ඇත.
අනිසි රැකවරණය ලැබේද?
විශේෂයෙන්ම ඉහත රාජ්‍ය නිලධාරීන් අතුරින් විදුහලපතිවරුන් දෙදෙනකු මෙන්ම අධ්‍යක්ෂවරුන්, තරුණ සේවා සභාවේ සභාපතිවරයා එවකට හිටපු ජනාධිපති, ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ අය වෙති. ඒ අතර එක් විදුහල්පතිනියක් ජන අරගල ව්‍යාපාරයට සහාය දැක්වීම වෙනුවෙන් ඉහත චෝදනාවන්ට ලක්වී තිබේ. ඒ හැරුණු කොට අනෙකුත් විදුහල්පතිවරුන් 9ක් හා නියෝජ්‍ය විදුහල්පතිවරියන් දෙදෙනා මෙන්ම වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 15 දෙනාම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හෙවත් වර්තමාන ජනාධිපතිවරයාට හා වර්තමාන ආණ්ඩුවට සහයෝගය දැක්වූ අය වෙති.
මෙවන් දේශපාලන පසුබිමක් තුළ අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගත් පියවර සම්බන්ධයෙන් විමසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත හා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2024.10.05 දිනැතිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ අයදුම්පත් යොමු කරන ලදි. අදාළ තොරතුරු ලබා නොදීම හේතුවෙන් 2024.10.30 දිනැතිව නම්කළ නිලධාරියා වෙතද අභියාචනා ගොනු කළත් මේ වනතෙක් එම තොරතුරු ලබාදීමට අදාළ රාජ්‍ය ආයතන දෙක කටයුතු කර නැත. දින කීපයක් තිස්සේ අවස්ථා කීපයකදීම අදාළ රාජ්‍ය ආයතන දෙකෙහි ලේකම්වරුන් හෝ ඒ සඳහා වගකිවයුතු නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට උත්සහ කරනු ලැබුවත් අදාළ ආයතන දෙක මගින්ම සිදුකරනු ලැබුවේ, පිළිතුරු දීම මඟහරිමින් විවිධ අංශයන්හි දුරකථන අංක ලබාදෙමින් එකීනෙකාට ප්‍රශ්නය මාරු කිරීම පමණකි. ඒ තුළින් මෙම ආයතන තුළ සිදුවන ක්‍රියාදාමය සම්බන්ධයෙන් මහජනයා හට තොරතුරු දැනගැනීමේ අවකාශය අහුරමින් රාජ්‍ය නිලධාරීන් ලෙස මහජනයාට ඇති වගකීම් මෙන්ම වගවීම්ද මඟහරින බව මැනවින් පෙනී යන දෙයකි.
විශේෂයෙන්ම රහසිගත තොරතුරු මූලාශ්‍ර කීපයක් මගින් අපට ලැබුණු තොරතුරු අනුව, ඉහත ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් රැකගැනීම වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තීය සමිති මෙන්ම දිස්ත්‍රික් සංවිධාන මගින් කටයුතු යොදමින් තිබෙන බව ද දැනගන්නට ලැබේ. ඒ බව තහවුරු වන්නේ මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ රාජකාරි පවා අත්හිටවනු ලැබූ විදුහල්පතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විනයානුකූල පියවරක් ගැනීමට අදාළ රාජ්‍ය ආයතනයන්හි වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකිරීම හා ඒ සම්බන්ධයෙන් කරුණු විමසු විට පිළිතුරු ලබාදීම සඳහා වගකිවයුතු කිසිදු නිලධාරියෙකු ඉදිරිපත් නොවීම මෙන්ම සම්බන්ධ නොකිරීම තුළය.
ආණ්ඩුව විපක්ෂයේ සිටියදී මෙන්ම මැතිවරණ වේදිකාවන්හිදී ප්‍රකාශ කළ සටන් පාඨ අතර සමානව නීතිය ක්‍රියාත්මක කිරීම පෙන්වා දී තිබේ. පුරවැසියන්ද එම සටන් පාඨය කෙරෙහි ප්‍රබල විශ්වාසයක් පළ කර ඇති පසුබිමක, මැතිවරණ නීති උල්ලංඝනය කළ තමන්ට පක්ෂපාත රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කුමන හෝ පාර්ශවයක් කටයුතු කරන්නේනම් එය හුදෙක් වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබාදී තිබෙන පාරිශුද්ධත්වයේ පොරොන්දුව කෙලෙසා දමන්නකි.