පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝග සංකීර්ණ ලෙස වර්ධනය වී තිබේ. අක්‍රමවත් ලෙස බැහැර කරන  සායනික අපද්‍රව්‍ය මහජන සෞඛ්‍යයට, පරිසරයට සහ සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාකාරී කාර්යක්ෂමතාවයට දැඩි තර්ජනයක් එල්ල කරයි.

බොහෝ විට සම්පත් සීමිත වන ශ්‍රී ලංකාවේ, සායනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින  බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ දිවයිනේ ප්‍රමුඛ රෝහල් 50කින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය. මෙවන් ගැටලුකාරී පසුබිමක් තුළ මාතර මහරෝහල 2019 වර්ෂයේදී සායනික අපද්‍රව්‍ය බැහැරකිරීමේ කාර්යය නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව  ආයතනයක් වෙත  සඳහා ලබාදීම හේතුවෙන් සිදුවූ අනීතික ක්‍රියාව නිසා ඇතිවූ පාරිසරික හානිය සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් විමර්ශනය කරනු ලැබේ. 

හම්බන්තොට ගොන්නොරුව කැටන්වැව ග්‍රාම නිලධාරී වසමට අයත් මහවැලි රක්ෂිත ප්‍රදේශයේ යම් පිරිසක් විසින් සායනික අපද්‍රව්‍ය ගෙනැවිත් රක්ෂිත භුමිය ඇතුළත වළ දමා තිබෙන බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට ප්‍රාදේශීය සභාව, හම්බන්තොට මූලස්ථාන පොලිසිය, මහවැලි නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව 2019.08.15 දින සිට පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබී ය. එම පරීක්ෂණයට අනුව 2019.02.20 දින එම සායනික අපද්‍රව්‍ය තොගය ගොඩ ගැනීම සිදුකෙරිණි. එම පරීක්ෂණයට අනුව තවත් ස්ථාන කීපයක රෝහල් මගින් බැහැර කෙරුණු සායනික  අපද්‍රව්‍ය පුළුස්සා  ඇති බවට ද  අනාවරණය විය.

සායනික අපද්‍රව්‍ය යනු මොනවාද?

සායනික අපද්‍රව්‍ය යන්නට රෝහල්, සායන සහ රසායනාගාර ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සැකසුම් තුළ ජනනය වන පුළුල් පරාසයක ද්‍රව්‍ය ඇතුළත් වේ. මෙම සායනික අපද්‍රව්‍ය කාණ්ඩ කිහිපයකට එනම්, 1. බෝවන අපද්‍රව්‍ය: රුධිරය, ශරීර තරල සහ පටක වැනි ආසාදන කාරක වලින් දූෂිත ද්‍රව්‍ය. 2. අවයව හා පටක ඇතුළු මානව කායික කොටස්. 3. කල් ඉකුත් වූ හෝ භාවිතයට නොගත් ඖෂධ සහ ඖෂධීය අතුරු නිෂ්පාදන. 4. ඉඳිකටු, සිරින්ජර්  සහ තුවාල ඇති කළ හැකි වෙනත් තියුණු අපද්‍රව්‍ය. 5. ද්‍රාවක සහ ප්‍රතික්‍රියාකාරක වැනි රෝග විනිශ්චය සහ චිකිත්සක ක්‍රියා පටිපාටිවල භාවිත කරන ද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය ලෙස වර්ග කළ හැකිය.

සායනික අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකිය විශේෂයෙන්ම බෝවන රෝග පැතිරීම: අනිසි ලෙස කළමනාකරණය කළ බෝවන අපද්‍රව්‍ය HIV, හෙපටයිටිස් සහ ක්ෂය රෝගය වැනි රෝග සම්ප්‍රේෂණය වීමට හේතු විය හැක. මෙම ද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර නොකළහොත් ඒවා පරිසරය දූෂණය කර මහජනතාවට අවදානමක් විය හැකිය. ඒ අතර සායනික අපද්‍රව්‍ය නුසුදුසු ලෙස බැහැර කිරීම භූගත ජලය සහ මතුපිට ජලය ඇතුළු ජල මූලාශ්‍ර දූෂණය කළ හැකිය. මෙමගින් රෝග පැතිරීම මෙන්ම ජලජ පරිසර පද්ධතිවලට හානි සිදු විය හැක වේ. විශේෂයෙන්ම කසළ ගොඩකිරීම් සහ රසායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමෙන් පස දූෂණය විය හැකි අතර එය කෘෂිකර්මාන්තයට හෝ වෙනත් භාවිතයන්ට නුසුදුසු පරිසර පද්ධතියක් නිර්මාණය කරනු ලැබේ. මෙහි ඇති දැඩි අනතුර වන්නේ ශරීරගත වුවහොත් හෝ සම සමඟ ස්පර්ශ වුවහොත් මිනිස් සෞඛ්‍යයට අවදානමක් විය හැකි වීමයි.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXcjAJm6ovyORF-Ye3bNGrZXjIMVlvbA16AYjXOC3ksiT5Dfi_ryHz1WP4v_XIem8fe-MKvT_6B_yH3R6URkb_RCRp8mvoPdT907qDJ0TeLhy44VcDB1UpYp6AbiIdaK3fh738W1wF4nEs-zxdlyulzkQ-lS56C93FTiOIcWOQ?key=N6Nu_vXntoKeWHrxb-Mzeg
https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdvi5cHyIYQLbIs2t6FVXHBcUPuz3gxsjIt97nCNr_VxlsYWz4UeiFCKVtkQWA6_LNUAmF-v-oZAraEfF6pDBnftlMfD7IKvy3Gx4eog2wYrL9P1IR25g8sWz6hR7uukeAYxglb1r6Pz9caFA-NibJL38tqLUUGKU6-94lEsA?key=N6Nu_vXntoKeWHrxb-Mzeg

ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් 

කෙසේ නමුත් මේ ආකාරයෙන් අනීතික ලෙස බැහැර කෙරුණු සායනික අපද්‍රව්‍ය තොගය අදාළ ස්ථානය වෙත ගෙනැවිත් දැමූ සහ එයට සම්බන්ධ පුද්ගලයින් ගැන විමර්ශනය කිරීම සඳහා  2019.08.26 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (පාලන 2) අංක MH/FS/AD/B/පොදු බලය පැවරු ලිපිය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ හම්බන්තොට ප්‍රාදේශීය සභාව මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය. එහිදී සිදු කළ විමර්ශනයේදී  අනාවරණය වී ඇත්තේ  මාතර මහ රෝහලට අයත් සායනික අපද්‍රව්‍ය තොගයක් මේ ආකාරයෙන් බැහැර කර තිබෙන බවයි. 

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXek_dczjm4B6fJWEUIPmjwKcZuWGfWIrsck50i9eLhYuCaWNlCK-GuvmvAIKxdXjTH_SsNgkpwJtH0OpOfXg3tbC-uN5kAMlti8iUgrhKrH6Y-jDoCeR34rA81dR-uxin8hYmH3de7qXYCuCjezLg4E930Xed4kRMdjcEhg4Q?key=N6Nu_vXntoKeWHrxb-Mzeg
https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXe6-cQWpNVNS_UoKLBBCuPcVGmNoI1SwAxxV75ex1t0lU8UFwNePhpffuTVgV3ljissG-rOrh2Ph0_CRdNif6xL1AjJ7-juiZWs0P39jr9MgGfbHEr529Kytjd1H_Venss90Zux2-Np6b-zwultDy8AD8RnaG2JxsUx6esdug?key=N6Nu_vXntoKeWHrxb-Mzeg

එමෙන්ම මෙම සිද්ධියට අදාළව හම්බන්තොට ප්‍රාදේශීය සභාව මගින් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව හම්බන්තොට මූලස්ථාන පොලිසිය විසින් අදාළ සායනික අපද්‍රව්‍ය තොගය අනාරක්ෂිත ලෙස බැහැර කළ උඩහි කන්ද ලේකම්ලාගේ ශිව කුමාර් නැමති අයෙකුට එරෙහිව  හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බි.ආර් 1073/19 යටතේ ගොනු කළ නඩුවකට අනුව අදාළ සායනික අපද්‍රව්‍ය තොගය ඉවත්කර ගැනීමේ කොන්දේසිය හා රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම යටතේ මාතර මහ රෝහල මගින් තොරතුරු ඉල්ලා සිටියත් එම තොරතුරු ලබා නොදුන් අතර පසුව තොරතුරු කොමිසමට අභියාචනා කිරීමෙන් පසු තොරතුරු කොමිසම මගින් RTI Appeal/2028/2020 අභියාචනා අංකය යටතේ ලබාදුන් නියෝගයෙන් පසු අදාළ තොරතුරු ලබාදීමට මාතර මහරෝහල කටයුතු කරන ලදී. මාතර මහ රෝහල මගින් ඉල්ලා සිටි තොරතුරු අතර 2019 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය තුළ දී මාතර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය රැගෙන යෑම සඳහා අවසර  ලබාදුන් ආයතනය  හා එම ආයතනය තෝරාගැනීම සිදුකළ ටෙන්ඩර් කැඳවීමේ ලේඛන ද  වේ.

C:\Users\PCPAL.lk\Desktop\TI\news\Mathra Hospital (8).jpeg
C:\Users\PCPAL.lk\Desktop\TI\news\Mathra Hospital (11).jpeg

චූදිත ආයතනයේ පිළිතුර

ඒ ආකාරයෙන් මාතර මහ රෝහල මගින් ලිපි අංක PU/DGH/M/RTI/30 යටතේ ලබාදුන් තොරතුරු අනුව 2019 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය තුළ දී මාතර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය රැගෙන යාමට අවසර ලබාදී ඇත්තේ Sisili Hanaro Encare (Pvt) Ltd (PV91546) ආයතනයට බව සඳහන් කර තිබුණ ද  ඒ සම්බන්ධයෙන් වූ ටෙන්ඩරය නිකුත්කිරීමේ ප්‍රසම්පාදන කමිටුව මගින් නිකුත් කළ Pa/03/ප්‍ර/තා/2012 අංක දරන ප්‍රසම්පාදන කමිටු වාර්තාව පරික්ෂා කිරීමේදී අනාවරණය වුයේ ඒ සඳහා ප්‍රසම්පාදන කමිටුවේ අවසරය ලබාදී තිබෙන්නේ ද 2019 11.19 දින බවයි. ඒ අදාළ සායනික අපද්‍රව්‍ය තොගය අනාරක්ෂිත ලෙස  බැහැරකර මාසයකට පමණ පසුව වේ.

මේ සම්බන්ධයෙන් Sisili Hanaro Encare (Pvt) Ltd ආයතනයේ සහකාර කළමනාකරු කුමාර බාලසූරිය මහතාගෙන් ද අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ  රෝහල් සායනික අපද්‍රව්‍ය රැගෙන යාමට මධ්‍යම පරිසර අධිකාරියේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත තම ආයතනය මගින් මාතර මහ රෝහලින් සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවස්ථාව ලබාදෙන ලද්දේ අදාළ සිදුවීමෙන් පසුව බවයි.

C:\Users\PCPAL.lk\Desktop\TI\news\Mathra Hospital (2).jpeg

මාතර මහ රෝහල මගින් ලබාදුන් එම පරස්පර විරෝධී තොරතුරු හේතුවෙන් හම්බන්තොට ප්‍රාදේශීය සභාව මගින් ලිපි අංක HPS/EST/01/08 යටතේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගනු ලැබූ, මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව (MH/FS/ADB/පොදු මුලික විමර්ශන අංකය) පරික්ෂා කර බැලීමේදී අනාවරණය වුයේ 2019 ජුනි මාසය වන විට මාතර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය රැගෙන ගොස් ඇත්තේ GFCC wastes Management නැමති ආයතනයක් බවත් එම ආයතනය නිසි අයුරින් එය ඉටු නොකිරීම හේතුවෙන් එම කොන්ත්‍රාත්තුව දිලානි පිරිසිදු කිරීමේ ආයතනය නමින් හඳුන්වනු ලබන පුද්ගලික ආයතනයක් වෙත ලබාදී ඇති බවත් ය. ඒ අනුව දිලානි පිරිසිදු කිරීමේ ආයතන මගින් 2019 ජුනි හා ජුලි යන මාසයන්හි මාතර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය අංක LG -7249 ලොරි රථය මගින් 2029.06.27 දින කිලෝ 11,350ක්, 2019.07.13 දින කිලෝ 11,227ක්, 2019.07.26 දින කිලෝ 11,452ක් රැගෙන ගොස් තිබේ. එසේ ගෙන ගිය සායනික අපද්‍රව්‍ය තොග ගොන්නොරුව මෙන්ම හම්බන්තොට කැටන්වැව යන ප්‍රදේශයන්හි දමා තිබෙන බවට කරුණු අනාවරණය වී තිබේ.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXfjRKLW3kVxcyCVEzc_sBnKs53y5G_HQotcQEJLK6Ddtp_kru7oYvTbW4ZJvmxtBLqkBW6HQOxmsvjl2XuXMx-l8qd83yFyAxDUQfgAAvEj-8ifOwo911vPekrFGYGEFlgVviLuZNIiwX4ppTWwCyEypIclD1cYvF7U_dS2XA?key=N6Nu_vXntoKeWHrxb-Mzeg

තොරතුරු වසන් කළේ ඇයි? 

විශාල පරිසර හානියක් මෙන්ම දැඩි අවදානම් තත්ත්වයක් ඇති වන මෙම සායනික අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර කිරීම සම්බන්ධයෙන් මාතර මහ රෝහල මගින් 2019 ජනවාරි සිට ජුනි මාසය දක්වා රෝහලින් සායනික අපද්‍රව්‍ය රැගෙන ගිය දිලානි පිරිසිදු කිරීමේ ආයතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කරමින් එම කාලයේ දී ද Sisili Hanaro Encare (Pvt) Ltd සමාගම  මගින් ම සායනික අපද්‍රව්‍ය රැගෙන ගිය බවට අසත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කර තිබීම මේ සම්බන්ධයෙන් සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති අක්‍රමිකතාවයක් ද යන්න පිළිබඳව සැක  මතුකරන කාරණයක් වේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාතර මහ රෝහලේ වර්තමාන අධ්‍යක්ෂ වරයාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කරුණු නොදන්නා බවත් යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදනු ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම වෙනුවෙන් හා පිළිතුරු දීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් දිලානි පිරිසිදු කිරීමේ ආයතනය සම්බන්ධ කර ගැනීමට උත්සහ ගනු ලැබුවත් ඔවුන්ගේ පෙර භාවිතකළ දුරකථන අංක කිසිවක් ක්‍රියාත්මක නොවීම නිසා එය ව්‍යර්ථ විය.

කෙසේ නමුත් රෝහල් මගින්  අපද්‍රව්‍ය ලබාදීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ අවසර ලත් සමාගම් හෝ ආයතන වෙත ලබාදීම සිදුකළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ  අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ (WM) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.සී.එස්.කේ.මල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ ය. එමෙන්ම මාතර මහ රෝහල මගින් සායනික අපද්‍රව්‍ය  ලබාදුන් දිලානි පිරිසිදු කිරීමේ ආයතනය නමින් වූ ආයතනයක් සඳහා  රෝහල් මගින් සායනික අපද්‍රව්‍ය රැගෙන යාමට හෝ පිළිස්සීම සඳහා  අවසර ලබාදීමක් සිදුකර නොමැති බව ද හෙතෙම කියා සිටියේ ය. එමෙන්ම සායනික අපද්‍රව්‍ය රැගෙන යාමට හා විනාශ කිරීමට අවසර ලත් සමාගම් සම්බන්ධ තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ ද සඳහන් කර තිබේ. එහිදී දිලානි පිරිසිදු කිරීමේ ආයතනය නමින් ආයතනයක් සඳහන් නොවේ.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdXzpXvKmUVGoXozJgLgq2gwdgGzOYI1cHuTDE9rrIJxAwp8c9EgllHrwtVG7ZYuHe7Dh6pgYkFjArc8JLpclw3l0QagzRl8JXfp_0vw2NHqwg-vRPK53Wo0eMUURle-3rmEM4FMgaoBgb-qmpxxUXSXNClj7_3F9jRzgugag?key=N6Nu_vXntoKeWHrxb-Mzeg

නිසි බැහැර කිරීමේ ක්‍රම 

සායනික අපද්‍රව්‍ය ආශ්‍රිත අවදානම් අවම කිරීම සඳහා නිසි ලෙස බැහැර කිරීමේ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ නිසාම ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් හා උපකාර තිබෙන ආයතන සමබන්ධයෙන් මේ වනවිටත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිසි පරීක්ෂාවන් සිදුකොට අවසර ලබාදී තිබේ. 

මෙම සායනික අපද්‍රව්‍ය නිසි ලෙස වෙන්කිරීමද අදාළ ආයතන විසින් සිදු කළ යුතු ප්‍රධාන කාරණයක් වේ එමෙන්ම ඒ ඒ අපද්‍රව්‍යවල ස්වභාවය අනුව ඒවා ඇසුරුම් කළ යුතුය අපද්‍රව්‍ය ප්‍රවාහනයේදී කාන්දුවීම් සහ කාන්දුවීම් වැළැක්වීම සඳහා ආරක්ෂිතව ඇසුරුම් කළ යුතුය. සුදුසු වාහන භාවිත කරමින් බලයලත් පුද්ගලයින් විසින් ප්‍රවාහනය සිදු කළ යුතුය. බැහැර කිරීමේ ක්‍රම පරිසර හිතකාමී විය යුතු අතර දේශීය රෙගුලාසිවලට අනුකූල විය යුතුය. මෙයට පුළුස්සා දැමීම, ගොඩකිරීම් බැහැර කිරීම හෝ වෙනත් අනුමත ක්‍රම ඇතුළත් විය හැකිය. පුළුස්සා දැමීමේදී අධිතාපී බලාගාරයන් තුළ එය සිදු කළ යුතු වේ. නමුත් ඉහතින් අප පෙන්වා දුන් මාතර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේදී එම කිසිදු ක්‍රමයක් නිසි ලෙස අනුගමනය කර නොතිබීමද බරපතළ තත්වයකි.

ඒ අනුව පැහැදිලි වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙන්ම සායනික අපද්‍රව්‍ය රැගෙන යාමට අවසරයක්වත් නොමැති ආයතනයක් සඳහා මාතර මහ රෝහල මගින් සායනික අපද්‍රව්‍ය තොග නීති විරෝධීව ලබාදී ඇති බවයි. එසේ වූ පසුබිමක නිසි ක්‍රමවේදයකින් තොරව  පරිසරයට මෙන්ම සමස්ත ජීවින්ටම   හානිදායක  ලෙස සායනික අපද්‍රව්‍ය බැහැර කරනු ලැබූ අදාළ ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවත් නිසි ක්‍රමවේදයකින් තොරව රජයේ මුදල් ද භාවිත කරමින්  සායනික අපද්‍රව්‍ය රැගෙනයාමට  අවසර ලබාදුන් අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාද? මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අප කළ උත්සහය ව්‍යර්ථ විය. නමුත් ඔවුන්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වන තුරු අපි සෝදිසියෙන් සිටින්නෙමු.

පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In
පුවත්

දහදාහකට ඉඩ ඇති සිරගෙවල්වල තිස්දාහක්!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී තිබුණ ද එය එතරම් දුරට ජනප්‍රිය කාරණයක් නොවන්නේ, සිරගෙවල්…

By In
පුවත්

අටවන ජනපතිගේ විශ්‍රාම වැටුප

ජනක සුරංග  මෙරට අටවන විධායක ජනාධිපති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා මහජන නියෝජිතයකු වශයෙන් පසුගිය සිව් වසර තුළ විශ්‍රාමික අගමැතිවරයකු,…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *