ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය (IDUAI) සැමරීම සඳහා 2022 සැප්තැම්බර් 26 වන දින ‘පුරවැසියන් සඳහා ක්‍රියාත්මක වූ නීතියක්: ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ පස් වසර’ යන මාතෘකාව යටතේ මාර්ගගත සංවාද සාකච්ඡාවක් පවත්වන ලදී.
සෞදි අරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති, නීතීඥ ජාවිඩ් යූසුෆ් මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබූ අතර, මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස් කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය, ජුලියස් සහ ක්‍රීසි නීති ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ප්‍රශාන්ති මහින්දරත්න මහත්මිය සහ නීති උපදේශක/තාක්ෂණ, මාධ්‍ය සහ සන්නිවේදනය පිළිබඳ නීති පර්යේෂක අශ්විනි නටේසන් මහත්මිය ප්‍රමුඛ කීර්තිමත් විද්වත් මණ්ඩලයක් එක්ව සිටියහ.
“පුරවැසියන් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කිරීමේදී ක්‍රියාශීලීව කටයුතු කර ඇති නමුත් බලාපොරොත්තු සුන් කරවන සාධකය වන්නේ රාජ්‍ය ආයතනවලට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කළද පුද්ගලික ආයතනවලට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත නොකිරීමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් තම ප්‍රජාවන්ගේ දැනුවත්භාවය සඳහා තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින් පසුගිය වසර පහ තුළ බොහෝ දේ සිදුකර තිබේ.‘ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ගමන්මගේ සාර්ථකත්වයන් සහ අභියෝග’ යන මාතෘකාව යටතේ පවතින තත්ත්වයට අභියෝග කිරීමට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මහජනතාව විසින් භාවිත කර ඇති බවට උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරමින් කිෂාලි පින්ටෝ ජයවර්ධන ප්‍රකාශ කළාය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය රජයට මෙන්ම පුරවැසියන්ට තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සාක්ෂාත් කර ගැනීම කරා ගමන් කළහැකි පාලමකි. එහෙත් හෙළිදරව් කරන ලද තොරතුරු උපයෝගී කර ගනිමින් පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය බලධාරීන් හෝ පුරවැසියන් අපොහොසත් වුව හොත් එය එගොඩ වීමට භාවිත නොකරන පාලමක් බවට පත්වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වඩා හොඳ විනිවිදභාවයක් ඇති කර තිබුණද දූෂණ දර්ශක කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති කර තිබෙන බව පෙනෙන්නට නැත.” , එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී RTI නීතිය භාවිතා කිරීම විශ්ලේෂණය කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ඇතිව RTI කොමිසම විසින් සිදු කරන ලද පර්යේෂණ ව්‍යාපෘතියක මූලික සොයාගැනීම් පිළිබඳ ඉස්මතු කරමින් ප්‍රශාන්ති මහින්දරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
RTI හරහා ලබා ඇති ප්‍රගතිය අවධාරණය කරමින් අශ්විනි නටේසන් මහත්මිය පැවසුවේ, “අපි විනිවිදභාවය ගැන කතා කරන විට ප්‍රගාමී හෙළිදරව් කිරීම විනිවිදභාවය වැඩි කිරීමේ ප්‍රමුඛ කොටසක් බව ද අප මතක තබා ගත යුතු බවය. කෙසේ වෙතත්, අපි බලන්නේ ප්‍රතික්‍රියා දක්වන හෙළිදරව් කිරීම් ගැන පමණයි.තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීති 2017 වසරේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර සාපේක්ෂව කෙටි කාලයක් තුළ එය විනිවිදභාවය පිළිබඳ විශ්වාසයක් පෙන්නුම් කර ඇත. වගවීම සහ වඩා හොඳ පාලනයක් ඇතිකරගැනීම සඳහා අපට තව බොහෝ දුර යා යුතුව ඇත”,
මෙම මාර්ගගත සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රතිසංස්කරණ මුලපිරීම (Media Reform Lanka Initiative) විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ තුනක් නිකුත් කිරීම ද සනිටුහන් කරමින් “ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිති වාසිකම පිළිබද කොමිෂන් සභාවේ නියෝග ඇතුළත් ප්‍රායෝගික මාර්ගෝපදේශය (2017-2021)”; “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ පාලන තන්ත්‍රය සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක:
අවලෝකනයට අත්වැලක් “; සහ “ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තෝරාගත් නියෝග කිහිපයක් සඳහා නෛතික විවරණ (2019- 2021)”, යන ග්‍රන්ථ ත්‍රිත්වයද එළි දක්වනු ලැබීය.කිෂාලි පින්ටෝ-ජයවර්ධන, නිවේධා ජෙයසීලන් සහ ඉන්ෂිරා ෆාලික් යන මහත්මීන් විසින් මෙම ග්‍රන්ථ ත්‍රිත්වය සංස්කරණය කර තිබේ.