2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ‘සිලි සිලි’ පොලිතීන් උර භාවිතය තහනම් කිරීමට නීතියක් ගෙන එනු ලැබූ බව ඔබට මතක ඇති. දැනට එම නීතීන් පනවා වසර දෙකක් ඉක්ම ගොස් ඇතත්, කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි මඟතොට බැස චාරිකාවේ යෙදෙනු ලබන ඕනෑම අයෙකුට ප්ලාස්ටික් සහ පොලිතීන් උර තවමත් බහුලව භාවිත කෙරෙන ආකාරය දැකගත හැකි ය. වෙනත් ප්ලාස්ටික් නිෂ්පාදන ද වීදි වල වෙළඳාම් කරන්නන් බහුලව ජනතාවට විකුණනු ලබන බව දැකගන්නට ලැබේ.
එනිසා, ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන නීති රෙගුලාසි සහ ඒවා කොතෙක් දුරට පිළිපැදිය යුතු දැයි යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා මධ්‍යයම පරිසර අධිකාරිය වෙත තොරතුරු ඉල්ලුම්පතක් යොමු කොට අදාළ තොරතුරු ලබා ගන්නා ලදී.
ඒ අනුව, නිෂ්පාදකයින් විසින් පොලිතීන් නිෂ්පාදනය කිරීමේ දී සිහි තබාගත යුතු අවසරලත් ඝනත්ව පරිමාණයක් තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන ආකාරයට අනුව,
2017 සැප්තැම්බර් 01 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදන අංක 2034/33 හි සඳහන් රෙගුලාසීන්හි දැක්වෙන වන පරිදි,
- (i) දේශීය භාවිතය සඳහා මයික්‍රෝන විස්සකට (20) හෝ ඊට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන නිපදවීම හෝ
(ii) ඝනකමින් මයික්‍රෝන විස්ස (20) හෝ ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිෂ්පාදන රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, ප්‍රදර්ශනය, නොමිලේ ලබා දීම හෝ භාවිතය තහනම් කර ඇත.
එසේ වුවද පහත උප ලේඛනයේ නිශ්චිතව සඳහන් අවසර ලත් භාවිතයන් සඳහා ඝනකමින් මයික්‍රෝන විස්ස (20) හෝ ඊට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන අධිකාරියේ පූර්ව අනුමැතිය සහිතව භාවිත කළ හැකි ය.
මෙම නීතිය මගින් පොලිතීන් උර වල පැවතිය යුතු ඝනත්වය පිළිබඳව ද අවධානය යොමුකොට තිබේ.
ඒ අනුව ඉහත 2017 සැප්තැම්බර් 01 දිනැති ගැසට් නිවේදන අංක 2034/35 මගින් ඉහළ ඝනත්වයක් සහිත පොලිතීන් උර (ෂොපින් බෑග්) නිපදවීම තහනම් කර තිබේ.
මෙම නීති නිසි ලෙස පිළිපැදීම සිදු වන්නේ ද යන්න පිළිබඳ සහතික කරගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැටලීම් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. එසේ එම නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන් ජාතික පරිසර පනත යටතේ අදාළ පියවර ගන්නා බවට මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර සිටියි.
පොලිතීන් උර හැරුණුකොට අනෙකුත් ප්ලාස්ටික් නිෂ්පාදන සම්න්ධයෙන් අදාළ වන නීති කිහිපයක් ද එම පනතෙහි සඳහන් කර තිබේ.
2017 සැප්තැම්බර් මස 01 දිනැති ගැසට් නිවේදන අංක 2034/34 මගින් ආහාර දවටන (ලන්ච් ෂීට්) නිපදවීම සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් පොලිතීන් යොදාගැනීම තහනම් කර ඇත.
ඓස් ම ගැසට් නිවේදන අංක 2034/38 මගින් ප්‍රසාරිත පොලිස්ටයරීන් යොදාගෙන ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන් කෝප්ප හා හැඳි නිෂ්පාදනය කිරීම ද තහනම් කර ඇත.
පරිසරය කේන්‍ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට මෙතෙක් ජනතාවගෙන් ලැබී ඇත්තේ ඍණාත්මක ප්‍රතිචාරයක් වුව ද එවැන්නක් සඳහා උත්සාහ කිරීම හෝ වෙනුවෙන් එම ක්‍රියාව ඇගැයූ සුළු පිරසක් ද නැත්තේ නොවේ. බොහෝ පිරිසක් තමන්ට සාප්පු යාමේදී ‘සිලි සිලි උර’ නිසා තිබූ පහසුව නැති වූයේ යැයි මැසිවිලි නැගූහ. එවැනි නීති පැවතියහොත් ඔවුන්ට අපහසුතා ඇති වන නිසාවෙන් ඔවුන් එවැනි නීති නොසළකා හැරීමට කටයුතු කර ඇත.
කෙසේ වුවත් ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය තවමත් වැඩි අවධානයක් දිනාගන්නා මාතෘකාවක් ව පවතී. රජය, පරිසරවේදීන් සහ තවත් විශ්ෂඥයින් විසින් පෙන්වා දෙන ආකාරයට මෙම ගැටලුවට අදාළව නීති, අධ්‍යාපනය හා සුදුසු ද්‍රව්‍යමය හා අමුද්‍රව්‍යමය ආදේශක සහ විසඳුම් අවශ්‍ය වන බව පැහැදිලි ය. ව්‍යාපාරිකයින් ඔවුන්ගේ පාර්ශවයෙන් නව පරිසර හිතකාමි නිෂ්පාදනයන් සිදු කිරීම, එයට අදාළ තාක්‍ෂණයන් හා තාක්‍ෂණික ශිල්පීය ක්‍රම යොදා ගැනීමට උත්සුක විය යුතු ය.
අවසන් වශයෙන් පොදු මහජනතාව වන අප මේ පිළිබඳව දැනුවත්ව සිටිය යුතු සේ ම සියලු යහපත උදෙසා අවශ්‍ය විටෙක අපගේ ජීවන රටාවන් වෙනස්කර ගැනීමට කටයුතු කළ යුතු ය.
(ඉහත නීති සහ එයට අදාළ වැඩිදුර තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk මගින් ලබාගත හැකි ය)