- හර්ෂා සුගතදාස
ශ්‍රි ලාංකික බොදු බැතිමතුන් සහ සෙසු ආගමික ජනතාව තවත් සති කීපයකින් සිරිපා වාරය ආරම්භ කරයි. සිරිපා වාරය ඇරඹෙන විට මහජනතාව වෙත කෙරෙන නිවේදනයක් කෙරෙහි කාගෙත් අවධානය යොමු වේ. එකී නිවේදනයේ සඳහන් වන්නේ සිරිපා නැමඳීමට පැමිණෙන විට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසයි. එම ප්‍රදේශය ප්ලාස්ටික් සහ පොලිතින්වලින් බැහැර කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මේ වන විට සීගිරිය පර්වතය අවට ප්‍රදේශය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් ආවරණය වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. දුම්රිය මාර්ග දෙපසට වීසි කරනු ලබන ප්ලාස්ටික් බෝතල්, කෝප්ප වැනි ඉවතලන ද්‍රව්‍ය එකතු කිරීමේ ශ්‍රමදාන ගැන විටින්විට අසන්නට ලැබේ. ඔවුන් එවැනි සද් කාර්යයකට අතගසනු ලබන්නේ මෙම අපද්‍රව්‍ය පරිසරය දූෂණය කරන බැවිනි.
ප්ලාස්ටික්,පොලිතින් දිරාපත් වීමට වසර 100 – 500 අතර කාලයක් ගතවන බව පැවසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.එහෙත් සත්‍ය එයයි. ප්ලාස්ටික් ඇසුරුමක් දිරායෑමට වසර 400ක් ගත වේ. ප්ලාස්ටික් බෝතලයක් සහ ප්ලාස්ටික් කෝප්පයක් දිරාපත් වීමට ගතවන කාලය වසර 450කි.ප්ලාස්ටික් දත්බුරුසුවක් දිරායෑමට වසර 500ක් ගත වේ. ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් ගමන්මලු දිරාපත් වීමට ගතවන කාලය වසර 20කි. නයිලෝන් රෙද්දක් දිරායෑමට වසර 30 – 40ක් ගත වේ.ලන්ච් ෂීට්, ප්ලාස්ටික් බෝතල් ඇතුළු ද්‍රව්‍ය දිරාපත් නොවීමෙන් පරිසරයට සිදුවන හානිය මුදලින් තක්සේරු කළ නොහැකිය.
පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික්, පොලිතින් නිසා ප්‍රථමයෙන් සිදුවන්නේ අවට පරිසරයේ අලංකාරය නැතිවීමයි.එමෙන්ම මේවා පුළුස්සා දැමීමත් සමඟ ඊයම්, රසදිය, ඩයොක්සීන් වැනි විෂ රසායනික පරිසරයට එකතු වීමෙන් පරිසරය දූෂණය වේ.එය ඉතා බරපතළ කාරණාවක් වන්නේ අප ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය අපවිත්‍ර වන බැවිනි. ඊට අමතරව අද නාගරික ප්‍රදේශවල ඇතිවන ගංවතුර තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ප්ලාස්ටික් බෝතල්, ලන්ච් ෂීට්, පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය කාණුවල සහ බෝක්කුවල සිරවීමයි . තවද ප්ලාස්ටික් සහ පොලිතින් පොළවට එකතු කිරීමෙන් පසේ ගුණාත්මක බව අඩු වෙයි. එය රටේ කෘෂිකර්මයට බලපානු ලැබේ. බැහැරලන අප ද්‍රව්‍ය කෑමට එන සතුන් පොලිතින් , ලන්ච් ෂීට් ආහාරයට ගැනීමෙන් මිය යන බව අප විසින් අවධානය යොමු කළ යුතු තවත් පැතිකඩකි. ලංකාවේ දෛනිකව ෂොපින් බෑග් මිලියන 20ක් භාවිත කෙරේ.එය වර්ෂයකට බිලියන 5.5කි. වෙරළ පරිසරය ඇතුළත්ව පරිසර පද්ධතිය දූෂණය කරමින් අක්රමවත්ව ප්ලාස්ටික් බැහැර කිරීම සම්බන්ධයෙන් ලොව 5වැනි තැන හිමි වී තිබෙන්නේ ලංකාවට බව ජගත් පරිසර කණ්ඩායමක් අනාවරණය කර තිබේ. ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නීතිරීති යොදා තිබෙන්නේ එයින් සිදුවන හානිය අතිමහත් බැවිනි.
වරක් භාවිත කළ ඉවතලන ප්ලාස්ටික් ප්‍රමුඛතා අනුපිළිවෙළට අනුව භාවිතයෙන් ඉවත් කිරීම මගින් භාවිත ප්ලාස්ටික් අප ද්‍රව්‍ය අවම කිරීමට පියවර ගැනීම ඉන් එකකි. ප්‍රතිචක්‍රිකරනය සදහා ද්‍රව්‍ය එකතු කරන්නන්ගේ දත්ත පද්ධතියක් පවත්වාගෙන යමින් එම කටයුතු දියුණු කිරීමත් මධ්යම පරිසර අධිකාරිය ගෙන ඇති තවත් පියවරකි. ප්ලාස්ටික් හඳුනාගැනීමේ කේත ක්‍රමය රෙගුලාසිගත කිරීමෙන් ප්‍රතිචක්‍රිකරනය දියුණු කිරීමටත් ප්ලාස්ටික් භාණ්ඩ ප්‍රතිචක්‍රිකරණයට පහසු අයුරින් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දීමත් සිදු කරනු ලබන්නේ ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය පාලනය කිරීම සඳහා ය.
ඊට අමතරව ෂොපින් බෑග්, ලන්ච්ෂීට්, රෙජිෆෝම් කෑම පෙට්ටි,ප්ලාස්ටික් සැරසිලි,කොට්න් බඩ්ස්,කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා යොදා ගනු ලබන පොලිඑතිලින් ටෙරප්තැලේට් හෝපොලිවයිනිල් ක්ලෝරයිඩ් ද්‍රව්‍ය, ශුද්ධ බර මිලී ලීටර් 20ට හෝ ශුද්ධ බර ග්රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ, හුළං පිරවිය හැකි සෙල්ලම්බඩු තහනම් කිරීමට පියවර ගැනිණි .මධ්යම පරිසර අධිකාරිය විසින් 2021 ජනවාරි මස 21වැනි දින අංක 2211/50 සහ අංක 2211/51 දරන ගැසට් පත්රය මගින් මෙම පියවර ගනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය පාලනය කිරීමටය.කෘෂි රසායනික ඇසුරුම් කළ ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රිකරණය නොකෙරෙන බැවින් වගාබිම් ාආශ්‍රිතව ජල ප්‍රදේශවලට මුදා හැරීමත් සැෂේ පැකට් තැනින් තැන වීසි කිරීමත් මෙමගින් පාලනය වේ. එහෙත් කොට්න් බඩ්ස්, ලන්ච් ෂීට්, ප්ලාස්ටික් සැරසිලි තවමත් වෙළෙඳපොළේ අලෙවි වන අයුරු දැකිය හැකිය. මධ්යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ නීති විරෝධි භාණ්ඩ මධ්යම පරිසර අධිකාරියේ වැටලීම් අංශය මගින් වටලනු ලබන බවයි. එමෙන්ම දැනට තහනම් කර නොමැති ජෛව හායනික ලන්ච් ෂීට් සම්බන්ධයෙන්ද සුදුසු පියවරක් ගැනීමට සාකච්ඡා කරන බව තවදුරටත් සදහන් කරයි.
වර්තමානයේ මගතොටේ දක්නට ලැබෙන ප්ලාස්ටික් බෝතල් කොපමණද? පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් අපද්රව්ය සහ පොලිතින් කොපමණද? එහෙත් භාවිතයෙන් ඉවත් කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ද්‍රව්‍ය එකතු කරන්නන් මගින් එකතු කිරීමේ වැඩපිළිවෙළක් තිබේ. තවද දිරන කසළ පළාත් පාලන ආයතන සහ පුද්ගලික ආයතන මගින් කොම්පෝස්ට්කරණය කිරීමේ වැඩපිළිවෙළක්ද තිබේ.මධ්‍යම පරිසර අධිකාරිය සතුය. නමුදු බැලූ බැල්මට සමාජය තුළ එවැනි වැඩපිළිවෙළක් තිබෙන බවක් නොපෙනේ. නැතහොත් ඒ පිළිබඳව සමාජය දැනුවත් වී නැත. එහි වරද තිබෙන්නේ කොතැනද? එය වෙනම සාකච්ඡා කළ යුතුය.
ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් මල්පෝච්චි ඇතුළු පොලිතින් නිෂ්පාදන සිදු කෙරෙන ඇතැම් සුළු පරිමාණ කර්මාන්තශාලා අපට කොතෙකුත් දැකගත හැකිය. මේ සඳහා පරිසර ආරක්ෂණ බලපත්ර ලබාගැනීමක්ද සිදු නොවේ.එහෙත් ඒවායින් නිකුත්වන රසායනික පරිසරයට මුදාහැරීම නිසා පරිසරයටත් මිනිසුන් සහ සතුන්ටත් ඇතිවන බලපෑම සුළුවෙන් තැකිය නොහැකිය.මධ්යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර සිටින්නේ එවැනි කර්මාන්ත සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන අවස්ථාවලදී මෙම අධිකාරියේ අදාළ පළාත්/ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් මගින් ක්ෂේත්‍ර පරික්ෂාවක් කරන බවයි. එම පරික්ෂාවේදී අනාවරණය හා නිරීක්ෂිත කරුණු අනුව පරිසර දූෂකාරක පාලනය කරමින් කර්මාන්ත කටයුතු පවත්වාගෙන යෑමට හැකියාවක් පවතී නම් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් තුළ පරිසර දූෂකාරක පාලනය කිරීමට අවශ්ය කටයුතු සිදු කරන ලෙස කර්මාන්ත පාර්ශවයට දැනුම් දෙන අතර එසේ කටයුතු සිදු කළහොත් පරිසර ආරක්ෂණ බලපත්‍ර දීමට පියවර ගනු ලබයි. එසේ නොකරන්නේ නම් නීතිමය පියවර ගනු ලබයි.
මෙවැනි පාරිසරික ගැටලු සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරිය වෙත මහජන පැමිණිලි ලැබේ.2022 වර්ෂයේ ලද මහජන පැමිණිලි සංඛ්යාව 2,463කි. එයින් 2010ක් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්පූර්ණ කර තිබේ. 2023 වසරේ ජුනි 30 වැනිදා වන තෙක් ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්යාව 1,426ක් වන අතර එයින් 1,069ක් සඳහා පියවර ගෙන ඇත. ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් තවමත් කටයුතු කරනු ලබයි.
මේ ආකාරයට නීතිරීති මගින් අපේ රටේ පරිසර දූෂණය පාලනය කිරීමට පියවර ගෙන තිබීම සතුටට කරුණකි. එහෙත් ඒවා පසු විපරම් කළ යුතු වන්නේය.මන්දයත් මහ පොළොවේ යථර්තය ඊට හාත්පසින් වෙනස් බව දක්නට ලැබෙන නිසාය.