රත්තොට නිකලොය කන්ද ඉහත්තාවෙන් පැමිණි මෝසම් වැස්ස මිනිස් ජීවිත රැසක් බිලි ගත්තේය . කුරිරුවූ මෝසම් වැස්ස එදා 2017 දෙසැම්බර් 16 දා ඒ තරමටම අකාරුණික විය . රත්තොට මෙන්ම කන්ද උඩරටද කම්පාවට පත් කළ නිකලොය ඛේදවාචකය ඒ තරමටම කදුලු කතාවක් විය . උදුවප් සීතලේ මවගේ උණුහුමට තුරුල්ව නිදිගතව සිටි දරුවන්ද සමග ලයින් කාමර පෙළක් නිකලොය කන්දට යටවූ ඒ අවාසනාවන්ත සිදුවීමට මේ වනවිට වසර හයක පමණ කාළයක් ගතවි ඇත . නිකලොයවත්තේ හත් දෙනෙකු එදා දෙසැම්බර් 17 දා අළුයම සොබාදහමේ අකාරුණික භූමිකාව විසින් බිලි ගෙන තිබුණ . මොරසූරන වැස්සේ දිය හෙණයකින් පුපුරා ගිය නිකලොය කන්දේ සුන්බුන් සැඩ පරුෂ ජල කදට එක්වි ගෙවල් දොරවල් බිමට සමතලා කරමින් අහිංසක ජීවිත රැසක් මහ පොලොව යට අමු අමුවේ මිහිදන් කළ මෙම සිද්ධිය මේ වනවිට ඉතිහාසය ගතවූ සිද්ධියකට පමණක් සීමාවි තිබේ
පවුල් කීපයක් සැඩ පහරේ ගසා ගෙන යද්දී කීප දෙනෙකු මහ පොලොව යට පණ පිටින් වැළලී ගියේය . එදා නිකලොය ගම්මානයම අවතැන් විය . ඔවුහු යන – එන මං අහිමි වූයේ ජීවිත ආශාව අතහැර ජලයෙන් යටවි නාය ගිය ඉසව්වේ අවතැන් වූහ . රත්තොට පොලිසිය , යුධ හමුදාව සහ ගලවා ගැනීමේ කණ්ඩායම් යුහුසුලුව බලවත් පරිශ්‍රමයකින් 162 ක් පමණවූ එම අවාසනාවන්තයින් බේරා ගත්තේය . ඔවුහු රත්තොට හින්දු විද්‍යාලයේ රදවා තබා ගනිමින් ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරුණි
1983 දීද මෙවැනිම ඉරණමකට මුහුණ පැ මෙම ගම්වාසින්ගේ කදුලු කතාව මහ සාගරය තරම්ය.“ එදා දිය හෙණය පිපුරුනු දවසට දින කීපයක ඉදලම වැස්ස තිබුණා. මහා අවාසනාවන්ත දවස 17 දා. අහස දරුණු වෙලා තිබුනෙ. වැහි ගෙඩි අඩුවක් නැතිව පාත් උන . පාන්දර වෙද්දි මහ හෙණ හඩක් ඇහුණ . නිකලොය කන්ද කඩා ගෙන වැටුණා වගේ දැනුන . මහ වැස්සේ ඇහුනෙ ගම්මුන්ගේ මරලතෝනිය නිකලොය පිටාර ගලලා. ගෙවල් පිටින් පස් කන්දට යට වෙලා.
අපට කදවුරු ගැහෙන්න සිදු උන . අපිට අපේ කියල තිබුණ තැන් නැති උනා ඒත් ආයෙත් වත්තෙ ලයින් කාමරයට යන්න ඕනෑ අපි කීවා ඒ පැත්තට නම් යන්න බැහැ කියලා ආණ්ඩුවේ මහත්තුරු අපේ දුක පිලි ගත්තා ඒත් ප්‍රශ්නයක් උනේ අපට විකල්ප ඉඩම් දෙන එක . නාය යාමක් සිදු වුනු පැත්තෙන් ඉවත් කරන්න කියල නියෝගයක් තිබුණා අපිට ඉඩම් දෙනවා කීවා ඒත් අපි මේ දක්වා අවුරුදු හයක් තිස්සේ යන එන මං නැතිවයි ඉන්නේ .ගෙවල් දෙනවා කීවා .ඒත් මේ මොකවත් තාමත් අපට ලැබුනෙ නැහැ
දිය හෙණයක් ගහල නෑයො ටික නැති උනා වගේ මෙහෙම ගියොත් අපේ ජීවිත ටිකත් මහ පාරටම දිය වෙලා යයි. මෝසම් වැස්සට උන්හිටි තැන් හා මෙතෙක් හම්බකර ගත සබ්බසකලමනාව අහිමිවූ නිකලොය ගම්වාසින්ගේ කදුලු කතාව දිග හැරියේ මේ අන්දමටය
නාය යාම හා එම නාය යාම් හේතුවෙන් ප්‍රවේශ මාර්ග හානියට පත්ව පවුල් 45 ක් පමණද අවතැන් වුවද එම පවුල්වලට මේ දක්වා බඹරගල වතුයාය ආශ්‍රිත නෑදෑයින්ගේ ගෙවල්වල හෝ කුලී නිවාසවල රැදි සිටිමට සිදුව ඇත . රාජ්‍ය වැවිලි සංස්ථාව මෙම පවුල් සදහා පදිංචියට සුදුසු විකල්ප ඉඩම් ලබාදීමට 2012 දී පොරොන්දු වුවත් මේ දක්වා එම පොරොන්දුව ඉටු නොවීම නිකලොය නාය යාමෙන් අනාථවූවන් දෙවන වරටද අනාථයන් බවට පත්කර තිබේ
“ මේ නාය යාම හේතුවෙන් පදිංචි ඉඩමෙන් ඉවත් කළ පවුල් 20 ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත්ව විකල්ප ඉඩම් ලබා දුන්නා . සමහර අයට නිවාස ඉදිකර දුන්නා .මූළ්‍යාධාර ලබාදීමට කටයුතු කළා ඒත් ප්‍රවේශ මාර්ග විනාශයට පත්වීමෙන් අවතැන්වු පවුල් 45 සම්බන්ධයෙන් මේ දක්වා සාධරණයක් ඉටු නොවුනු බව තමයි වාර්තා වෙලා තියෙන්නේ .රත්තොට ප්‍රාදේශිය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා පැහැදිලි කලේය
නිකලොය නාය යාමෙන් අවතැන්වූ ඔවුහු වසර හයක් තිස්සේ පිළිසරණ පතා දෙවියන් මින් සිටිති . වසර හයකට ආසන්න කාළයක් තිස්සේ පදිංචියට සුදුසු ඉඩමක් ලබා ගැනීමේ කන්නලව්ව රාජ්‍ය නිලධාරින්ටද කරති ඒත් රාජ්‍ය වැවිලි සංස්ථාවේ නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හමුවේ ඔවුහු තවදුරටත් අසරණ වෙමින් සිටිති .තම දූදරුවන්ට හෙට දවසේ හෝ තමන්ගේම නිවසක ජීවත්වීමේ අයිතිය ලැබේ යැයි ඔවුනට විශ්වාසයක් තැබීමට නොහැකි තරම්ය කටුමැටි පැලක් හෝ අටවා ගැනීමේ මෙම අසරණයින්ගේ බලාපොරොත්තුව කවදා ඉටුවේදැයි දෙවියන්ට හෝ නොදැනෙන කරුණක් බවට පත්ව තිබීම ඔවුනගේ ඔවුනගේ දෛවයේ කුරිරු සරදම විය හැකිය( තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම කතාවට අදාළ තොරතුරු සපයා ගත් බව කරුණාවෙන් සලකන්න .)