පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

By In

– ධනුෂ්ක සිල්වා

2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක් නිකුත් කරමින්, ඒ වන විට වැඩබලන පොලිස්පති ධුරය දැරූ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පස් දෙනකු පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව නිගමනය කරන ලදි. එක් නිලධාරියෙකු රුපියල් 500,000ක් බැගින් වන්දි පෙත්සම්කරුට ගෙවන ලෙස නියෝගයෙහි ඇතුළත් විය. මෙම තීන්දුව ශ්‍රී ලංකා පොලිසිය තුළ මානව හිමිකම් සහ වගවීම සම්බන්ධ තීරණාත්මක ගැටලු අවධාරණය කරයි.

ඩබ්ලිව් රංජිත් සුමංගල විසින් විසින්, 2011 වසරේ මිරිහාන පොලිස් ස්ථානයේ රඳවා සිටියදී තම මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබුණි. නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් තෙන්නකෝන් ඇතුළු ඊට සම්බන්ධ නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් තහවුරු විය. මෙම තීරණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් සිදු වන මානව හිමිකම් කඩවීම් පිළිබඳ පුළුල් ගැටලුව, ඵලදායී අධීක්‍ෂණයේ සහ විනය ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසු අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවට නියම කෙරිණි. කෙසේ වෙතත්, ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතින් ප්‍රතිචාරයක් නොමැති බව මෑත කාලීන වර්ධනයන් හෙළි කරයි.

පොලිස් කොමිසමට ප්‍රශ්න 3ක්

2024 මාර්තු මාසයේදී, මෙම කතුවරයා විසින් විශේෂයෙන් ප්‍රශ්න තුනක් පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය මත පදනම් වූ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි:

1. උල්ලංඝනය කිරීම පිළිබඳ දැනුවත්භාවය: මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයේ 5 වැනි වගඋත්තරකරු වන වත්මන් පොලිස්පතිවරයා වධහිංසාවෙන් නිදහස් වීමට අදාළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බව තහවුරු වූ බව ජාතික පොලිස් කොමිෂන් සභාව දැන සිටියේද?

2. විනය ක්‍රියාමාර්ග: පොලිස්පතිවරයාට සහ උල්ලංඝනයට සම්බන්ධ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ගැන ජාතික පොලිස් කොමිෂන් සභාව දැන සිටියේද?

3. ගන්නා ලද ක්‍රියාමාර්ග: ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසුව පොලිස්පතිවරයාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේද? එසේ නම්, එම ක්‍රියාවන්හි ස්වභාවය, ගත් වකවානුව සහ නෛතික පදනම පිළිබඳ විස්තර.

තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරියා අයදුම්පත පිළිගෙන දින 14ක් ඇතුළත ඉල්ලීම විසඳීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි නියෝගයක් තිබියදීත්, පොලිස්පතිවරයාට හෝ ඊට සම්බන්ධ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පසුව කළ විමසීම්වලදී අනාවරණය විය.

විනය ක්‍රියාමාර්ග නොගැනීම

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව ක්‍රියා කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අපොහොසත් වීම තීරණාත්මක ගැටලු කිහිපයක් මතු කරයි. පළමුව, විනය ක්‍රියාමාර්ග නොමැතිකම හේතුවෙන් නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් කඩකිරීම් වැළැක්වීමට සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදහස් කරන වගවීමේ යාන්ත්‍රණය අඩපණ කරයි. පොලිස්පතිවරයා වැනි ඉහළ පෙළේ නිලධාරීන් බරපතළ විෂමාචාරවලට සම්බන්ධ වූ විට, පොලිසිය තුළ මහජන විශ්වාසය සහ ඒකාග්‍රතාව තහවුරු කිරීම සඳහා වගවීම බලාත්මක කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි ආයතනවල වගකීම වේ. 

දෙවනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මූලික අයිතිවාසිකම් සුරැකීම හා නීති විරෝධී හා අමානුෂික සැලකීමට ලක්වන පුද්ගලයන්ට යුක්තිය පසිඳලීම සහතික කිරීම සම්බන්ධයෙන් වැදගත් පියවරක් විය. පද්ධතිමය ගැටලු විසඳීමට අපොහොසත් වීම සහ වැරදිකරුවන්ට සුදුසු ප්‍රතිවිපාකවලට මුහුණ දීම වැළැක්වීම නිසා ජාතික පොලිස් කොමිෂන් සභාව අසමත් වීම හේතුවෙන් මෙම ආරක්ෂණයන් අවදානමට ලක් වෙයි.

තෙවනුව, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි අධීක්ෂණ ආයතනවල කාර්යක්ෂමතාව අත්‍යවශ්‍ය වේ. එවැනි ආයතන අධිකරණ නියෝග මත ක්‍රියා කිරීමට අපොහොසත් වූ විට, එය මානව හිමිකම් සුරැකීමට සහ නීතිමය ප්‍රමිතීන් බලාත්මක කිරීමට පද්ධතියට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය බිඳ දමයි.

වගවීම සහතික කිරීම

මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක් වූ අතර, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ වගවීම සහතික කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඵලදායි යාන්ත්‍රණවල හදිසි අවශ්‍යතාව එමගින් අවධාරණය කරන ලදි. අධිකරණයේ නියෝගය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු විය. පොලිස් හැසිරීම් අධීක්‍ෂණය කිරීම සහ නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීම සහතික කිරීම සඳහා ස්වාධීන ආයතනයක් ලෙස පිහිටුවන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බලාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන ලදි. නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සහ මානව හිමිකම් කඩ කරන නිලධාරීන් ඔවුන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් වගකිව යුතු බව සහතික කිරීම සඳහා මෙම අධීක්ෂණ කාර්යභාරය ඉතා වැදගත් වේ.

එවකට පොලිස්පතිවරයා ඇතුළු අයිතිවාසිකම් කඩකරන්නන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කෙසේ වෙතත්, ජාතික පොලිස් කොමිෂන් සභාව අධිකරණයේ නියෝගය මත ක්‍රියා කිරීමට අපොහොසත් වීම නිසා පොලිස් බලකාය තුළ වගවීම සහ අධීක්‍ෂණය පිළිබඳ බරපතළ කනස්සල්ලක් මතු වී තිබේ. විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම ගැටලු කඩිනමින් සහ ඵලදායී ලෙස විසඳීම අත්‍යවශ්‍ය වේ. අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, විනිවිදභාවය වැඩි කිරීම සහ අධිකරණ නියෝගවලට අනුකූල වීම සහතික කිරීම අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවර වේ.

පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In
පුවත්

රජයේ රෝහල්වලට පරිත්‍යාග කෙරෙන රුධිරය පෞද්ගලික රෝහල්වලටත් ලබා දෙනවාද? 

එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරෙන රුධිරයෙන් කොටසක් පෞද්ගලික රෝහල්වලට ලබාදීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත හරහා සහතික කොට ඇත….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *