පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

By In

ජනක සුරංග

මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු කාලවකවානුවක් හා එහි වගකීම රජයට විශාල ලෙස ගතයුතු මොහොතක් එළඹ තිබේ.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග නිසා පදිකයන් මෙන්ම යතුරුපැදියේ සිට මෝටර් රථ, වෑන් රථ මෙන්ම පොදු මහ ජනතාව ගමන් ගන්නා බස් රථ ද අනතුරට හා අවදානමට ලක් වූ අවස්ථා රැසක් වාර්තා වීම මෙරට මූලික ජනතා ගැටලුවක් ලෙස කලක පටන් හඳුනාගෙන තිබුණත් ඊට නිසි පරිදි තිරසාර විසඳුමක් නම් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.

ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී මගින් ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග පිළිබඳව පැහැදිලි තක්සේරුවක් ලබා ගැනීමට 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු අයදුම් පත්‍රයක් යොමු කරමින් පහත තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබිණි.

හරස් මාර්ග 1362ක්

එම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින සමස්ත දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 1362කි. ඒ අතරින් නිසියාකාර පද්ධතියක් මගින් ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇත්තේ 738ක් පමණක් බවත්, හරස් මාර්ග 439ක ප්‍රමාණයක් තවමත් පවතින්නේ අනාරක්‍ෂිත මට්ටමේ බවත් හෙළිදරව් කර ගැනීමට හැකි විය. රජය මගින් පාලනය නොවන පුද්ගලික දුම්රිය හරස් මාර්ග 185ක්ද පවතින බව එම එම වාර්තාවල දැක්වේ.

යම්කිසි විද්‍යුත් සංඥා පද්ධතියක් මගින්, ස්වයංක්‍රීයව වැසෙන පරිදි හා ගේට්ටුකරුවන්ද යොදා ඇති ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 306ක් වන අතර, එයින් ද විදුලි සීනු සහිත අවම වූ ආරක්ෂිත ගේට්ටුවක් යන ද්විත්වයම පවතින ප්‍රමාණය වන්නේ 161ක් පමණක් වීම ද සැලකිය යුතු කරුණකි. වැඩිදුරටත් විදුලි සීනු පමණක් ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 432ක් බව ඉන් හඳුනා ගෙන තිබේ.

මෙහිදී ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ලෙස නම්කර ඇති මාර්ගයන්හි බොහෝදුරට ඇත්තේ එම මාර්ගයේ ගමන් කිරීම “ප්‍රවේශමෙන්” හෝ “අනතුරුදායකයි” යනුවෙන් දැක්වෙන අනතුරු හැඟවීමේ සංඥා පුවරුවක් පමණක් වන්නේය. ප්‍රායෝගික භාවිතයේදී මේ පිළිබඳව සලකා බලන විට අපට දැක ගත හැකි වන්නේ ඇතැම් ස්ථානවල එම අනතුරුදායක පුවරු ඉවත් වී, කඩා වැටී හෝ විකෘති වී පවතින බවයි. පැහැදිලි අනතුරු ඇඟවීමක් සහිත දුම්රිය හරස් මාර්ග පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. මේවා පිළිබඳවද රජය සතුව නිසි දත්ත හා තොරතුරු නිසි පරිදි යාවත්කාලීන වන්නේ ද නැත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් මහමග ගමන් කරන්නේ දැඩි ජීවිත අවදානමක් පවත්වාගෙන බව තවදුරටත් රහසක් නොවේ. එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වන මට්ටමටම පවතින බැවින් රජය මේ කාරණය දැඩි ලෙස අවධානයට ලක් කළ යුතුය. 

රජයේ ඉදිරි සැලසුම්

කෙසේ වෙතත්, මෙකී ගැටලු පිළිබඳ ඉදිරියේදී රජය ගනු ලබන පියවර සම්බන්ධයෙන් ද තොරතුරු විමසීමක් සිදු කළ අතර, ඒ සඳහා එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අනාරක්ෂිත දුමිරිය හරස් මාර්ග නිසි ආරක්ෂිත හරස් මාර්ග සහිත දුම්රිය හරස් මාර්ග ලෙස  සකස් කිරීම සඳහා වන රජයේ ඉදිරි සැලැස්ම යටතේ මහව/අනුරාධපුර ව්‍යාපෘතිය තුළින් නව හරස් මාර්ග 46කුත්, දැනට අනාරක්ෂිතව පවතින දුම්රිය හරස් මාර්ග හා තවත් අමතර ආරක්ෂාව සැලසිය යුතු ලෙස හදුනාගත් ස්ථානද ඇතුළත්ව පළාත් පාලන ආයතන හරහා බදවා ගනු ලබන බහු කාර්ය සේවක බලකායක් හරහා අතින් ක්‍රියාත්මක කරවන ගේට්ටු සවි කිරීම සඳහා යෝජිත 435ක ප්‍රමාණයකුත් ආවරණය කිරීමට රජය සැලසුම් කර ඇති බවය. 

මේ සියලු තොරතුරු සමග උපදේශාත්මකව අවධාරණය කරගත යුතු වන්නේ දුම්රිය හරස් මාර්ගයක් අසලින් ගමන් කරන මහජනයා වරක් නොව දෙවරක් මාර්ග දෙපස අවධානය යොමු කරමින් එය සිහියෙන් පසු කළ යුතු බවයි.

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In
පුවත්

දහදාහකට ඉඩ ඇති සිරගෙවල්වල තිස්දාහක්!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී තිබුණ ද එය එතරම් දුරට ජනප්‍රිය කාරණයක් නොවන්නේ, සිරගෙවල්…

By In
පුවත්

අටවන ජනපතිගේ විශ්‍රාම වැටුප

ජනක සුරංග  මෙරට අටවන විධායක ජනාධිපති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා මහජන නියෝජිතයකු වශයෙන් පසුගිය සිව් වසර තුළ විශ්‍රාමික අගමැතිවරයකු,…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *