පුවත්

දහදාහකට ඉඩ ඇති සිරගෙවල්වල තිස්දාහක්!

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

  • ඇතැම් බන්ධනාගාරවල ධාරිතාවට වඩා පස් ගුණයක් රඳවලා
  • ඉක්මණින් නඩු විසඳන ක්‍රමයක් හැදෙන්න ඕන – මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා 
  • නිසි විද්‍යාත්මක  පුනරුත්ථාපන ක්‍රමවේදයක් අවශ්‍යයි – සුදේශ් නන්දිමාල් සිල්වා 

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී තිබුණ ද එය එතරම් දුරට ජනප්‍රිය කාරණයක් නොවන්නේ, සිරගෙවල් තුළ සිටින්නේ වැරදිකරුවන් පමණකැයි ජනතාව තුළ  අදහසක් ඇති බැවිනි. කෙසේ නමුත්  ‘’සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’’ යන්න  යථාර්ථයක්  වීමට නම්, ඔවුන්ට ලබාදී තිබෙන දඬුවමටත් වඩා දුක්ඛිත ජීවිතයක් ගෙවීමට සිදු වන තත්ත්වය වෙනස් විය යුතු ය. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබාගත් නිල තොරතුරු අනුව සම්පාදිත මෙම ලිපිය මගින්  ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල තත්ත්වය, එහි තදබදය ගොඩනැගී ඇති ආකාරය හා එයට බලපෑ  මූලික හේතු, එහි ප්‍රතිවිපාක සහ අර්බුදය විසඳීමට ආණ්ඩුව දරන උත්සාහය විමර්ශනය කරයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තදබදය ගැන සංඛ්‍යාත්මකව විමර්ශනය  කිරීමේදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ ඇති සමස්ත ආරක්‍ෂිත බන්ධනාගාර, රක්ෂිත බන්ධනාගාර, වැඩ කඳවුරු, එළිමහන් කඳවුරු ඇතුළු සියලු ස්ථානයන්හි රැඳවිය හැකි සමස්ත සිරකරුවන්ගේ ප්‍රමාණය වන්නේ 10,395ක් බවයි. නමුත් 2024 අප්‍රේල් මස 01 වන දා දින වන විට එම බන්ධාගාර තුළ රැඳවියන්  32,154 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබාගත් නිල තොරතුරු මගින් අනාවරණය විය. එය ධාරිතාව මෙන් තුන්ගුණයකටත් අධික සංඛ්‍යාවකි.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdrOfb1q6Duv_-e67Jj5Wi53t0nXY0NklHySDZq1bZRjw1RgUHv3ow_Ha6LPK3zKCTqNrfctPneu1xfq__NiuqGLF3xMpjCgozzxHTd4NDsofooEceHN3_nZax-E0RYRIC0dK6sSlolB4xSEelZwtPR02ryRaFgWevBYSU3BA?key=mSo0EvuSG4FCDEntGtnJPw

සැබවින්ම බන්ධනාගාර තුළ සිටින රැඳවියන් අතර, කිසියම් අපරාධයක් සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දු මත දඬුවම් හිමිවූ පිරිස් මෙන්ම, යම් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට නියම වූ පුද්ගලයෝ ද වෙති. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ, අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වූ සිරකරුවන් සිටින්නේ 11,268ක් පමණක් වන අතර සැකකරුවන් ලෙස රඳවාගෙන සිටින සංඛ්‍යාව  20,286කි. 

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXf1efJsO1uy-8UvPjK2TOlIK-j-nECtc3kIrMOFjonE6PAwcussUnuQTYw1vcyllEtokUEi6CPsH6jsLQE8AWcNPIktxsdB79rTP64x1euBZqJhRCaKSODf5MLyyGFWvWjDpw-ekJvs9ccuIB4fY5OKdK1vMxYgp3cR3A23?key=mSo0EvuSG4FCDEntGtnJPw
https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXfHT-pI7g-6gneq4BJQIv7ORDVume0cxYHgoUL5HyJwbxKqvuSydy_5HBDiNv2v6uMChjb43wWtVtYdkUOi0W8sT_5nVKjCzyU9XH-_x55aFZ_DDnCqZ-XpbQQM0w0uQIKYzH5koxJFCqOzFTcKCP0bDNlHUCM8MgQetF4h?key=mSo0EvuSG4FCDEntGtnJPw

මේ ආකාරයෙන් සිරගෙවල් තුළ අධික පිරිසක් රඳවාගෙන සිටීමේ භයානක ප්‍රතිවිපාක ද තිබේ. විශේෂයෙන්ම එය ප්‍රචණ්ඩත්වයට හා ගැටුම්වලට තුඩු දෙන, සිරකරුවන් අතර ආතතිය වැඩි කිරීමට දායක වන බව සිරගෙවල් තුළින් වාර්තා වූ විවිධ සිදුවීම් මගින් මැනවින් පෙනී යන කරුණකි. විශේෂයෙන්ම එය රජය බලාපොරොත්තුවන මට්ටමේ  පුනරුත්ථාපන ප්‍රයත්නයන්ට ද බාධාවක් වන අතර, සමාජයට සාර්ථක ලෙස නැවත සම්බන්ධ වීමට අවශ්‍ය කුසලතා සහ සහාය, සිරකරුවන්ට ලබා ගැනීමට අපහසුතාවන් ද ගොඩනැගී තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත බන්ධනාගාර  තුළ සිටින රැඳවියන් ප්‍රමාණය ඒවායේ ධාරිතාව මෙන් තුන් ගුණයක් බව සංඛ්‍යාත්මකව පෙන්නුම් කළද, ඇතැම් බන්ධනාගාරවල නියමිත ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ රඳවා ඇති බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය පවතින්නේ ශ්‍රී ලංකාවේ රක්ෂිත බන්ධනාගාර  18 තුළ ය. එම තත්ත්වය පිළිවෙළින් වැලිකඩ, මහර, බෝගම්බර, අඟුණුකොළපැලැස්ස යන ආරක්‍ෂිත බන්ධනාගාර  හතර තුළ ද දක්නට ලැබේ. එම  ආරක්‍ෂිත බන්ධනාගාර තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා සිව් ගුණයක් පමණ රඳවා තිබෙන බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය මගින් අනාවරණය වෙයි.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXc0UbbaeN58RhjFqllP99CHCT1w8oFV31DhvxIwMV2ynEOOI0lP94zjqJmXNJqXNtJJSKosyZ3N81ttFKtltrbHkdgQPI10ihSKP6ssWYVHWb9BquWWF964VL69Mhf23gLNw36HfLckt0RG2lMKpA1RbNU42mOhGxSl2kC04g?key=mSo0EvuSG4FCDEntGtnJPw
https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdr4UrIZkUJi-HrdvmuMc_E0wH7FJKBLPiivc8UgEEOzs1pzZUH8eymyhYjVCkLMT2VTU5e2slJF9-4m-sK1S955TNLyzoVxxZMeMRGfjZVhrxQ4I3JVJcFl2_O7t3oR1GHOCANOI8KYfIo-7NTQbR2v6BJJ7fnSNOtrtw4?key=mSo0EvuSG4FCDEntGtnJPw
https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdA3zmVnyBBkRiIdu49mUivm9H3nQgWhLRIOCyaQ3BB3MyUOZNB8YdLkbeJ4De2i5EugbiqnZLPTmL8dY4GrUptuDZslbpPnO4RYXX1Rlb3BmErEPST0XhIMl1asY8iFfRz7uCD9lZbn4gWUAYBFChc8HIlN97HEgYfUTF28g?key=mSo0EvuSG4FCDEntGtnJPw

මේ ආකාරයෙන් සිරගෙවල් තුළ සිරකරුවන් අධික ලෙස පිරී යාම හේතුවෙන් සිරකරුවන් තුළ ඇතිවන මානසික පීඩනය පමණක් නොව  අපිරිසිදු තත්වයන් නිසා ඇති වන වෙනත් සෞඛ්‍යමය ගැටලු ද බහුලව දැකිය හැකිය. අධික තදබදය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා රජය මගින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය වන්නේ එම නිසා ය. මෙයට බන්ධනාගාර ධාරිතාව වැඩි කිරීම, ඵලදායී පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් විකල්පයන් ඇතුළත් විය යුතු වේ. 

අර්බුදය පිටුපස ඇති අභියෝග 

මෙම සිරකරුවන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් රිමාන්ඩ් භාරයේ හෝ නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින පිරිස් වේ. ඒ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සුළු වැරදි හා ප්‍රචණ්ඩ නොවන වැරදි හේතුවෙන් සිරගතව සිටින පිරිස් වේ. පසුගිය මාස කීපය පුරා යුක්තිය මෙහෙයුම යටතේ ද මේ ආකාරයෙන් විශාල ප්‍රමාණයක් විවිධ චෝදනා මත සැකකරුවන් ලෙසින් සිරගත කරනු ලැබීය. අධික ලෙස නඩු ගොඩගැසීමේ හා නඩු තීන්දු පමා වීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් දහස් ගණනකට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් දඬුවම් නොලැබූ රැඳවියන් ලෙස සිරගෙවල්වල රැඳී සිටීමට සිදුව තිබේ. 

රාජ්‍ය අවධානය අහිමි වීම 

ශ්‍රී ලංකාවේ  සිර ගෙවල් පිරී ඉතිරී යාම මෑතකාලීන සංසිද්ධියක් නොවේ. දශක ගණනාවක් තිස්සේ එය ක්‍රමානුකූලව නරක අතට හැරෙමින් පවතින අතර, ප්‍රශ්නයේ මූල හේතු විසඳීමට බලයට පත් වූ රජයන් අපොහොසත් වීම මෙන්ම ඒ සම්බන්ධයෙන් වූ නීති රීති හා ක්‍රමවේදයන් සැකසීමට කටයුතු නොකිරීම, මානව හිමිකම් සංවිධානවල නිර්දේශ නොතකා කටයුතු කිරීම ආදී කරුණු ද මේ තත්ත්වය කෙරේ බලපා තිබේ. 

බන්ධනාගාර තුළ අපිරිසිදුකම හා මිනිස් වාසයට නුසුදුසු වීම නිතර විස්තර කෙරේ. ජනාකීර්ණ වීම යන්නෙන් අදහස් වන්නේ සිරකරුවන්ට බොහෝ විට වාතාශ්‍රය නොමැති සිර මැදිරි තුළ එකට හිර වී බිම නිදා ගැනීමට බල කෙරෙන බවයි. පිරිසිදු ජලය, ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි මූලික අවශ්‍යතා හිඟය මත  බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යෑම ද මෙම තත්ත්වයෙහි ප්‍රතිඵලයකි.

නම හෙළිකිරීමට අකමැති වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් තම අත්දැකීම විස්තර කළේ මෙසේ ය: “විසි දෙනෙකුට ඉන්න හදපු සිර මැදිරියක අපි හැටකට වැඩි පිරිසක් හිටියා. අපි බිම නිදාගත්තේ හරියට  සාඩින් ටින් එකක් ඇතුලේ මාළු දානවා වගේ. ඔක්කොටම  වඩා අධික රස්නේ කාලෙට ඒක දරාගන්න බෑ. කෑම කොච්චර නරක ද කියනවා නම් අපි බොහෝ දෙනෙක් බඩේ අමාරුවලින් පීඩා වින්දා”

මානව හිමිකම් කඩකිරීම් සහ දූෂණය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය, මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විවේචනයට ලක්ව ඇත. 2021 දී එක්සත් ජාතීන්ගේ වධ හිංසා පිළිබඳ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සිරකරුවන්ට සලකන ආකාරය, විශේෂයෙන් වධ හිංසා පැමිණවීම සහ අමානුෂික දඬුවම් සම්බන්ධයෙන් ද කනස්සල්ල පළ කර තිබේ.

බොහෝ විට සුළු අතපසුවීම්වලට ප්‍රතිචාර වශයෙන් රැඳවියන් බන්ධනාගාර නියාමකයින් විසින් ශාරීරික හිංසනයට ලක් කරනු ලැබේ. ඇතැම් අවස්ථාවල දී මෙම පහරවල් බරපතළ තුවාල හෝ මරණයට පවා හේතු වේ. 2012 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම, බන්ධනාගාර පද්ධතිය තුළ පැන නැගිය හැකි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රබලම නිදසුනකි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු බොහෝ මානව හිමිකම් සංවිධාන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කිරීමට සහ වගකිව යුත්තන්ට වගකීම පැවරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම පිළිබඳව හෙළා දැක තිබේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තදබදය වැඩි වීම තනිකරම බන්ධනාගාර පරිපාලනයේ ගැටලුවක් නොවේ. එය රටේ නීති පද්ධතිය තුළ ඇති පුළුල් ප්‍රශ්නවල ද පිළිබිඹුවකි. බන්ධනාගාරයට යන්නේ කවුද? සහ කොපමණ කාලයකට ද? යන්න තීරණය කිරීමේදී අධිකරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. පූර්ව රඳවා තබා ගැනීම අඩු කිරීම සහ බරපතළ නොවන වැරදි සඳහා විකල්ප දඬුවම් ගවේෂණය කිරීම වැනි නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණ, බන්ධනාගාරවල පීඩනය සමනය කිරීමට උපකාරී වේ.

 “සිරගෙවල්වල තදබදය අඩුකරගන්න ක්‍රමවේදයක් හදන්න ඕන. මොකද අද ලංකාවේ දඬුවම් ක්‍රම වෛරී සහගත දඬුවම් ක්‍රම මට්ටමකට පත්වෙලා තියෙනවා. මේ දඬුවම් ක්‍රම තුළ ගොඩක් තියෙන්නේ වද හිංසන. අපි ඒවාට එරෙහිව ජ්‍යාත්‍යන්තර ප්‍රඥප්තිවලට අත්සන් කරපු රටක්. ඒත් එක්කම සිරකරුවන් සමාජගත කරන්න පුළුවන් මට්ටමට ගේන්න නිසි විද්‍යාත්මක පුනුරුත්තාපන ක්‍රමවේදයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙනවා. නමුත් එහෙම නැති නිසා අද බන්ධනාගාර, සිරකරුවන්ගෙන් පමණටත් වඩා පිරි තිබෙනවා. පසුගිය කාලේ සිදුවුණු යුක්තිය මෙහෙයුම වැනි මෙහෙයුම් නිසා ඒ තදබදය තවත් වැඩි වුණා. විශේෂයෙන්ම පොලීසිය නිරපරාදෙත් මිනිස්සු හිරකරන්න කටයුතු කරනවා. අතිනුත් මත්ද්‍රව්‍ය දාලා මිනිස්සු හිර කරනවා. බන්ධනාගාර තුළ සමාව දීමේ කාලය නිසි අයුරින් ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ වගේම වද හිංසනයක් වූ මරණීය දණ්ඩනය අනිවාර්යයෙන්ම ඉවත් විය යුතු වෙනවා’’ යැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල් සිල්වා මහතා කියා සිටි.

ශ්‍රී ලංකාවේ සිරගෙවල්, බන්ධනාගාර මෙන්ම රැඳවුම් මධ්‍යස්ථානවල අධික තදබදය නිසා පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති,  එම ගැටලු සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානයට ලක්කරනු ලැබූ  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.

“ලංකාවේ බන්ධනාගාර කියන සංකල්පය තිබුණට ලෝකයේ බන්ධනාගාර කියලා සංකල්පයක් නෑ. ඒකට හේතුව තමයි බන්ධනාගාර කියන්නේ සිරගෙදරක් කියන එක. නමුත් ලෝකයේ පාවිච්චි කරන වචනය තමයි Correction Center (නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන) කියන වචනය. චීනය ඇතුළු බොහෝ රටවල මෙන්ම ආසියාවේ රටවලත් Prisons (බන්ධනාගාර) කියන බෝඩ් එකක්වත් නෑ. වැරදි කරලා තියෙනවා නම් චරිත ශෝධනාගාර ලෙස තමයි සලකන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිම්කම් කවුන්සිලය දැනටත් පැවැත්වෙනවා ජිනීවා නුවර. ලංකාවට එරෙහිවත් ඒකේ යෝජනාවක් තියෙනවා. ඒකේ එකක් තමයි ලංකාවේ බන්ධනාගාර, සිරගෙවල්වල ඉන්න සිරකරුවෝ, සැකකරුවෝ, වරදකරුවෝ රැඳවිය හැකි සංඛ්‍යාවටත් වඩා වැඩියෙන් සිටින එක. එහි දෙවන චෝදනාව තමයි ළමයිනුත් මේවායේ දමා තිබීම. එබැවින් වැරදි උගන්වන මධ්‍යස්ථාන ලෙස තමයි ඒවා සැලකෙන්නේ. එයින් උගත් වැරදිත් සමග තමයි ළමයින් එළියට එන්නේ. මේවා තමයි  ප්‍රධාන චෝදනා ලෙස නැගෙන්නේ.’’

ප්‍රශ්නයට විසඳුම 

“ඇයි මේ බන්ධනාගාර අධික තදබදයකට ඇවිල්ලා තියෙන්නේ? පොලිසිය මගින් සැකකරුවකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරලා එයාට රුපියල් 3000ක දඩයක් ගහල තියෙනවා. නමුත් එයාට ඇප දෙන්න කෙනෙක් නැතිව රුපියල් 3000 වෙනුවට වසර තුනක් පමණ තිස්සේ ලක්ෂ තුනක් විතර එයාට කන්න බොන්න වියදම් කරලා තියෙනවා ආණ්ඩුව. මේවගේ ප්‍රශ්න ගැන අපි හදාරන්න ඕන. නැත්නම් මේ ගැටලුවට විසඳුම් හොයන්න බෑ.

“එමෙන්ම දික්කසාද නඩත්තු ගෙවා ගන්න බැරි පිරිස්, පොඩි පොඩි පගා අරගෙන ඉන්න ග්‍රාම නිලධාරීනුත් ඉන්නවා. පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීනුත් ඉන්නවා, මේ අයගෙන් බොහොමයක් වැරදි ඔප්පුවෙලා නෑ. ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා. අපිට මේවට කරන්න පුළුවන් දේ තමයි නිවාස අඩස්සිය. ඒක වෙනත් රටවල කරනවා.

“වැලිකඩ ගත්තොත් ඉසෙඩ් වාට්ටුව, චැපල් වාට්ටුව ඒවායේ ඉන්නේ සියල්ලක්ම වරදකරුවන් නොවෙයි. ඇප නැතිව තමයි ඉන්නේ. මේ අධික තදබදය කොවිඩ් 19 තිබියදී යම් තාක් දුරට නිරාකරණය වුණා. මොකද සුළු වැරදි කරලා තියෙන අය යම් විදියකට එළියට දැම්මා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒ අය එළියට ගියත් මෙතන ඉන්න ප්‍රමාණය වැඩියි. එළියට ගිය අයත් නැවත මොනවා හෝ වරදක් කරලා ඇතුළටම එනවා. බන්ධනාගාර ආරක්ෂක ස්ථාන බවට පත්කරගත්තු කොටසකුත් ඉන්නවා. විශේෂයෙන්ම ඒ අය‍ට ඇප දුන්නත් එළියට යන්නේ නැතිව ඉන්නවා. බොහෝවිට පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය තමයි එහෙම ඉන්නේ. මොකද ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් තමන්ට එල්ලවිය හැකි ජිවිත තර්ජන නිසා.’’ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව

 ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල අර්බුදය විසඳීම සඳහා බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වනු ඇත. බන්ධනාගාර ධාරිතාව පුළුල් කිරීම සහ පවතින පහසුකම්වල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය ආයෝජනය කළ යුතුය. සිරගත කරන පුද්ගලයන් සංඛ්‍යාව අවම කිරීම සඳහා නීති පද්ධතිය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය කරුණක් වේ. තවද, පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම සහ සිරකරුවන්ට නිදහස ලැබීමෙන් පසු නැවත සමාජයට සම්බන්ධ වීමට අවශ්‍ය කුසලතා සහ සහාය ලබා දීම අවශ්‍ය වේ. මෙම ගැටලුවලට විසඳුම් සෙවීමෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ මහජන ආරක්ෂාව ප්‍රවර්ධනය කරන වඩාත් මානුෂීය හා ඵලදායී බන්ධනාගාර පද්ධතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි ය. මේ කාරණා සම්බන්ධයෙන් ද මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා වැදගත් නිරීක්ෂණ හා යෝජනා රැසක් ඉදිරිපත් කරයි.

 “සිරගෙවල් ඇතුළෙ කොටසක් සැප විඳිනවා, කොටසක් අන්ත ජරා දුක් විඳිනවා. ඒක තමයි බන්ධනාගාර තුළ ඇති යථාර්ථය. කොහොම නමුත් මේ තදබදය අවම කිරීමට නම් නඩුවක් මාස හයකින් විසඳන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න ඕන. ඒකට නීති ප්‍රතිසංස්කරණ ගේන්න ඕන. ඒ වගේම මේ සිරකරුවන්, වරදකරුවන් වර්ගීකරණය කරන්න ඕන. මොකද මේවයේ උපාධිධාරින් පවා ඉන්නවා. ඒ අයගෙන්, දක්ෂ තරුණයන් කොහොමද සංවර්ධනයට යොදාගන්නේ කියන එක ගැන නව රජයට පුළුවන් අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රමවේදයක් හදාගන්න. ඒ වගේම කාන්තා සිරකාරිනියන්  ඉන්නවා සුළු වැරදිවලට විශේෂයෙන්ම පවුල් ප්‍රශ්න නිසා යම් යම් වැරදි කරපු අය. ඒ අය උපදේශනයට ලක්කරලා එළියට දැමීමේ විධිමත් ක්‍රමයක් ගැන නව රජයට කටයුතු කරන්න පුළුවන්. හොඳම උදාහරණය චීනය. චීනයේ ඉන්න සිරකරුවන් රටේ ආර්ථිකයට යොදාගන්නවා. ලංකාවෙත් සිරගෙවල්වල විවිධ අංශ යටතේ දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ අයගෙන් කොන්දේසි සහිතව පවුල්වල අයත් එක්ක ගිවිසුම්ගතවෙලා රටට වැඩක් ගන්න පුළුවන්. මොකද දැන් ලෝකයේ දඬුවම් කියන සංකල්පය නෑ. වරදක් කළා නම් දඬුවමකුත් වින්දත් ඔහු තුළ තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ක්‍රමවේදයක්  හැදෙන්න  ඕන. යුක්තිය මෙහෙයුමේදීත් විශාල ප්‍රමාණයක් අල්ලලා දැම්මා. ඒ අයට කොහෙද පහසුකම් තියෙන්නේ. සිරකරුවන්ට හරියට නිදාගන්න තැනක් නෑ. මැක්කෝ මදුරුවෝ ඉන්න තැනුත් තියෙනවා. මේවා හදාගත්තේ නැත්නම් ලකාවට ඉදිරියේදී මානව හිමිකම් ප්‍රශ්න පවා එන්න පුළුවන්කම තියෙනවා.’’

රජයේ උත්සාහයන් සහ අභියෝග

මෑත වසරවලදී, ශ්‍රී ලංකා රජය බන්ධනාගාර තදබදයේ බරපතළකම පිළිගෙන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රතිඥා දී ඇත. නව බන්ධනාගාර පහසුකම් ඉදිකිරීම, සුළු වැරදි සඳහා විකල්ප දඬුවම් හඳුන්වාදීම සහ නිදහස් කිරීම් මෙන්ම නියමිත කාලයට කලින් නිදහස් කිරීමේ වැඩසටහන් පුළුල් කිරීම ඇතුළු මුල පිරීම් කිහිපයක් යෝජනා කර ඇත.

ප්‍රජා මූලික නිවැරදි කිරීම් සහ ප්‍රචණ්ඩකාරී නොවන වැරදිකරුවන් සඳහා විකල්ප දඬුවම් හඳුන්වාදීම පිළිබඳව ද රජය සලකා බලා ඇත. එවැනි ක්‍රියාමාර්ග මගින් සුළු වැරදි සඳහා වරදකරුවන් වූ පුද්ගලයන්ට සිර දඬුවම් විඳීමට ඉඩ සැලසෙන්නේ  ජනාකීර්ණ සිරගෙවල්වල නොවේ. ඔවුන්ගේ ප්‍රජාව තුළ සිර දඬුවම් විඳීමට ඉඩ සැලසෙන අතර එමඟින් බන්ධනාගාර පද්ධති තුළ තිබෙන තදබදය ද අඩු කරගැනීමට අවකාශය ලැබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු දැනගැනීම සඳහා දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

සිරගෙවල්වල තත්ත්වය වැඩිදියුණු කිරීම සහ සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම මගින් ශ්‍රී ලංකාවතුළ මානව ගරුත්වය සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කළ හැකි අතර වඩාත් සාධාරණ හා යුක්තිගරුක  සමාජයක් නිර්මාණය කළ හැකිය.

පුවත්

රජයේ රෝහල්වලට පරිත්‍යාග කෙරෙන රුධිරය පෞද්ගලික රෝහල්වලටත් ලබා දෙනවාද? 

එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරෙන රුධිරයෙන් කොටසක් පෞද්ගලික රෝහල්වලට ලබාදීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත හරහා සහතික කොට ඇත….

By In
Uncategorized, පුවත්

අම්බලන්තොට වැලි ජාවාරම්කරුවන් රැක ගන්නට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නීතිපති උපදෙස්වලට පිටුපායි. සිද්ධිය පිටුපස පොලිස් ලොක්කෙකුත්!  

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි….

By In
පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *