පුවත්

තරුණ සේවා සභාව අවුල් ජාලයක් කළ අනීතික උසස්වීම්!

By In
  • නුසුදුස්සන් උඩ දැමීම ගැන සුදුස්සන් කනස්සල්ලෙන් 
  • නිදන් හෑරීමට දඬුවම් ලැබූ අයෙකුටත් උසස්වීමක්

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

ශ්‍රී ලංකාවේ  තරුණ බලගැන්වීම සහ සංවර්ධනය සඳහා කැප වූ ආයතනයක් වන ජාතික තරුණ සේවා සභාව  (NYSC), 1994 සිට 2014 දක්වා කාල පරිච්ඡේදය තුළ දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම පදනම් කර ගනිමින් 2015 වර්ෂයෙන් පසු  අවස්ථා දෙකකදී නිලධාරීන් පිරිසකට ලබාදුන් උසස්වීම් සම්බන්ධ මතභේදාත්මක තත්වයක් පවතී. අදාළ උසස්වීම් ලබා දී ඇත්තේ කුසලතා හෝ ජ්‍යෙෂ්ඨත්වයෙන් තොරව වන අතර, ඒ සඳහා පාදක වී ඇත්තේ දේශපාලන සම්බන්ධතාද නැතහොත් වෙනයම් නිලධාරි කණ්ඩායයමකගේ මැදිහත් වීමක්ද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි. 

කෙසේ වෙතත් සුදුසුකම් ලත් බොහෝ පිරිසක් සිටියදී එසේ සුදුසුකම් නොලත් එක්තරා කණ්ඩායමකට සහන සැලසීමේ අරමුණින් මෙම උසස්වීම් ලබාදී ඇති බවත්, දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන්නායැයි පවසන අදාළ උසස්වීම් ලැබූ නිලධාරීන් ඒ ආකාරයේ දේශපාලන ගැටලුවලට මුහුණ දී නොමැති බවත් ජාතික විගණන කාර්යාලය මගින්  විමර්ශන අංක SYA/D/NYSC/2023/AQ/10 යටතේ 2024 පෙබරවාරි 01 දිනැතිව නිකුත් කරනු ලැබූ විගණන වාර්තාවෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් අංක ET/1/(6)255දේ.ගැ. 2020 සහ 2020.02.07 දිනැති ලිපිය මගින් පත්කරනු ලැබූ විමර්ශන කමිටුවක් මගින් සිදුකරන ලද විමර්ශනයක් මගින් තහවුරු වී ඇත. 

තොරතුරු දැනගනිමේ අයිතිවාසිකම යටතේ ජාතික  තරුණ සේවා සභාව ඇතුළු ආයතන කීපයකින් ලබාගත් නිල තොරතුරු මත සිදුකරන මෙම සොයා බැලීම තුළින්  අනාවරණය වූයේ, එය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක් පමණක් නොව, රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ, උසස්වීම් ලබාදීමේ මූලික නීති රීතින් පවා උල්ලංඝනය කරමින්, රාජ්‍ය සේවා අංශයේ අඛණ්ඩතාවද අඩපණ කරමින් සිදු කර තිබෙන ක්‍රියාවක් බවයි. විශේෂයෙන්ම මෙම පත්වීම් ලබාදීම තුළ කැපවීමෙන් හා නිපුණතාවයෙන් ආයතනයට සේවය කළ සුදුසුකම් ලත් නිලධාරීන් නොසලකා හැර කටයුතු කර  තිබෙන ආකාරය හා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට මෙන්ම වැටුපටද බලපෑම් කරමින්, හිඟ වැටුප් හා වැටුප් වර්ධක ලබාදීම වෙනුවෙන් අද වන විටත්  මිලියන ගණනක  මහජන මුදල් භාවිත කිරීම  සම්බන්ධයෙන් ද  මෙම විමර්ශනාත්මක  ලිපිය මගින් කරුණු අනාවරණය කෙරේ.

අක්‍රමිකතාවට පාර කැපීම

 දේශපාලනික වශයෙන් තමන් අසාධාරණයට පත්වූවා යැයි අභියාචනා ඉදිරිපත් කර තිබූ තරුණ සේවා සභාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික පිරිසක් වෙත සහන සැලසීමට 2015.01.08 දිනෙන් පසු පත්වූ රජය විසින් පත් කරන ලද කමිටුවක් මගින් නිර්දේශ කෙරිණි. ඒ අනුව, දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන්නා යැයි ඉදිරිපත්වූ  අභියාචනාකරුවන් 36 දෙනෙකු අතුරින් 29 දෙනෙකු සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලය මගින් 2017 මාර්තු 01 දිනැති අංක අමප/17/0293/ 706/022 දරන අමාත්‍යමණ්ඩල තීරණය ඇතුළත් නිර්දේශ ලිපියට අනුව පෙරදාතම් කරමින් උසස්වීම් ලබා දී තිබේ.

ප්‍රථම අවස්ථාවේ  පත්වීම් ලබා දී ඇති ආකාරය (විමර්ශන කමිටු වාර්තාවට අනුව) සහ සහන ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමේදී, සහකාර අධ්‍යක්ෂ තනතුරු 06ක්, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී තනතුරු 13ක්, සහකාර  ගණකාධිකාරී තනතුරු 01ක්, යතුරු ලේඛක ලිපිකරු (i) තනතුරු 01ක්, දි.ත.සේ.නි. හා සහකාර අධ්‍යක්ෂ තනතුරු 01ක්, නැවත සේවයේ පිහිටුවීම 02ක් හා වන්දි ලබාදීම් 05ක්  සිදු කර ඇති බව හෙළි විය.       

එසේ වූ පසුබිමක ඉහත සඳහන් 1994 සිට 2014 දක්වා කාල පරිච්චේදය තුළ දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම යටතේ ඉහත අමාත්‍ය මණ්ඩල තීරණයේ ii (ඇ) කොටසේ නිර්දේශය පරිදි යෝජිත සහන ලබාදීමේදී අදාළ සේවා ව්‍යස්ථාව හෝ බඳවා ගැනීමේ පටිපාටිවල විධිවිධාන හේතුවෙන් කිසියම් ගැටලුවක් මතුවන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අංක අමප/17/0186/734/005 හා 2017 පෙබරවාරි 02 දිනැති අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශ්‍රාමික නිලධාරී කමිටුවේ උපදේශ ලබාගැනීම සිදුකළ යුතු බව ද දක්වා තිබේ. නමුත් ඒ ආකාරයෙන් අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කිසිදු කමිටුවක් පත්කර නොමැති බවද 2024 පෙබරවාරි 01 දිනැතිව නිකුත් කරනු ලැබූ විගණන විමසුම්  වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

එමෙන්ම දෙවන අදියරක් යටතේ නැවත  ජාතික ප්‍රතිපත්ති  හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ  ලිපියක්  පරිදි දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන්නා යැයි පවසමින් තවත් අභියාචනාකරුවන් 18 දෙනෙකුගේ නම්  අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා  යොමු කර ඇති අතර  ඒ සඳහා මාත්‍ය මණ්ඩල කාර්යාලය මගින් 2018 අප්‍රේල් මස 04 දිනැති  ලිපිය මගින්  තවත් පිරිසක් වෙත ඒ ආකාරයෙන්ම උසස්වීම්  ලබාදීම් ඇතුළු සහන සලසා ඇත. ඒ කාරයෙන් සහකාර අධ්‍යක්ෂවරුන් 06ක්, දිස්ත්‍රික් තරුණ සේවා නිළධාරීන් 01ක්, ආයතන නිළධාරීන් 01ක්, සහකාර තරුණ සේවා නිලධාරීන් 01ක්, නැවත සේවයේ පිහිටුවීම් 01ක්, වන්දි ලබාදීම් 08ක් සඳහා අනුමැතිය ලබාදී සහන ලබාදීමට කටයුතු කර තිබේ. 

විශේෂයෙන්ම 2015 සිට අවස්ථා කීපයකදී දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම පිළිබඳව සිදු වූ කරුණු අනාවරණයන් සම්බන්ධයෙන් ඒ වන විට  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද අවධානය යොමු වී තිබිණි. ඒ වන විට ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 15/2019/734/001-1 සඳහා පිළිතුරු දෙමින් 2016 ජනවාරි 25 දිනැති ලිපියක් මගින් දන්වා  ඇත්තේ සමහර අවස්ථාවන්හිදී  නිලධාරියාට මුහුණදීමට සිදු වූ විවිධ ගැටලුවලට හේතුව දේශපාලනමය කරුණුද එසේ නොමැති නම් විධිමත් ලෙස පවත්වන ලද විනයානුකූල පරීක්ෂණයක නිර්දේශයක්ද යන්න පැහැදලිව දක්වා නොමැති බවයි. මෙවැනි පසුබිමක් තුළ මේ  සම්බන්ධයෙන් කළමනාකරණ සේවා  දෙපාර්තමේන්තුවත්, තරුණ සේවා සභාවත් අදාළ අමාත්‍යාංශයත් නිසි ක්‍රියා මාර්ග නොගෙන එකිනෙකාට වගකීම් පවරමින් ක්‍රියාමාර්ග ගැනීම   මඟ හරිමින් කටයුතු කරමින් තිබේ. එමෙන්ම එම ලිපියට අනුව ආයතන කීපයකට මේ ආකාරයෙන් පත්වීම් ලබාදී ඇති අතර ජාතික තරුණ සේවා සභාව පමණක් මේ ආකාරයෙන් දූෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් උසස්වීම් ලබා දී තිබෙන බවද පෙනී යන කරුණකි. 

 මෙවන් තත්වයක් තුළ 2017 වර්ෂයේදී එවකට  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද  ලිපි අංක  MNPEA/2017/ 019 යටතේ 2017.02.06 දිනැතිව නිකුත් කර තිබෙන ලිපියක් මගින් දන්වා  ඇත්තේ අදාළ නිර්දේශ අනුව කටයුතු කිරීම විවිධ හේතුන් මත ගැටලුසහගත තත්වයන් නිරීක්ෂණය වන බැවින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවයි. ඒ අනුව මේ සඳහා එවකට  පැවති රජයේ ජනාධිපතිගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේද සෘජු මැදිහත්වීමක් නිරීක්ෂණය නොවුණත් ඉන් අනතුරුව මෙම උසස්වීම ලබාදීමට කටයුතු යොදා තිබෙන්නේ කාගේ උවමනාවකටද යන්න වර්තමාන රජයේ නිරීක්ෂණයට ලක් විය යුත්තකි.

සහන ලබාදීමේ ආදීනව 

විශේෂයෙන්ම මේ ආකාරයෙන් සහන ලබා දීම හේතුවෙන් ආයතනික සාමාන්‍ය පරිපාලන ව්‍යුහයේ ගැටලු රාශියක් මතුවී තිබේ. ඒ අතර 2012 වර්ෂයේදී දිස්ත්‍රික් තරුණසේවා නිලධාරී තනතුර සඳහා විධිමත්ව පවත්වන ලද උසස්කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනයේ අඩු ලකුණු ලබාගෙන සිටි පිරිස් සඳහාද දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන ලබාදීම යටතේ උසස්වීම් ලබාදී තිබීමද පෙන්වා දිය හැකි කරුණකි.

 මෙහිදී දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන්නේය යන පදනම මත  උසස්වීම් ලැබූ  පුද්ගලයින් දෙදෙනෙකු  විසින් ආයතනය විසින් විධිමත්ව පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින්  අභියාචනාධිකරණයේ අංක 307/2009 දරන රිට් අයදුම්පත ගොනු කරන ලදි. 2015.09.27 දින එම නඩුව නිෂ්ප්‍රභ කරමින් ඔවුන්  රු. 50000.00ක දඩයකට යටත් කර තීන්දුව ප්‍රකාශයට පත්කර තිබියදීත්, ඔවුන්ටද දේශපාලන සහන යටතේ පෙරදාතම කර ද්විත්ව උසස්වීමක් ලබා දී තිබේ. එය ආයතන සංග්‍රහයේ විධි විධානවලටද පටහැනි ක්‍රියාවකි.

එමෙන්ම ඒ ආකාරයෙන් අදාළ සම්මුඛ පරීක්ෂණයේදී අඩු ලකුණු ලබාගෙන සිටි බොහෝ පිරිසකට දේශපාලන පලිගැනීම්වලට සහන සැලසීම යටතේ උසස්වීම් ලබා දී ඇත. 2012 වර්ෂයේ පවත්වනු ලැබූ එම විධිමත් සම්මුඛ පරීක්ෂණයට 127 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉහතින් අභියාචනාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ පුද්ගලයෙකු එම ප්‍රමුඛතා ලේඛනයේ සිටින්නේ 115වන තැනය. ඔහු ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 33කි. ඒ අනුව ඔහුට එම තනතුර ලබාදීම හේතුවෙන් ඊට ඉහළින් සිටින 114 දෙනෙකුට අසාධාරණයක් වී තිබේ. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් අංක ET/1/(6)255දේ.ගැ.2020 සහ 2020.02.07 දිනැති ලිපිය මගින් පත්කරනු ලැබූ විමර්ශන කමිටුවේ වාර්තාවට අනුව I ශ්‍රේණියේ තරුණ සේවා නිලධාරියෙකු ලෙස සිටි ඔහුට 2009.09.23 දිනට ක්‍රියාත්මක වන පරිදි පෙරදාතම කරමින්  සහකාර අධ්‍යක්ෂ තනතුරට උසස් කර තිබේ. එය, ඒ වන විට දි.ත සේ. නිලධාරීන්ගේද, ජ්‍යෙෂ්ඨ තරුණසේවා නිලධාරීන්ගේද හිසට උඩින් සිදුකරන ලද පත්වීමකි. ඒ අනුව මෙම තනතුර ලබාදී ඇත්තේ අධිසේවක පදනම මතය. ඒ ආකාරයෙන් අධිසේවක පදනම මත උසස්වීමක් ලබා දීමට නම් ඒ වන විට එම තනතුර සඳහා පුරප්පාඩුවක් තිබිය යුතුය. නමුත් ඒ වන විට ඒ ආකාරයේ තනතුරකට ජාතික තරුණ සේවා සභාවේ බඳවාගැනීමේ පටිපාටියේ පුරප්පාඩුවක් තිබී නැත. පෙර සඳහන් කළ  විමර්ශන වාර්තාවට අනුව ඔහුට එම පත්වීම ලබාදී ඇත්තේ පෞද්ගලික වන සේ වීම ද මෙහි බරපතළ තත්ත්වය විදහා දක්වන්නකි. මෙවැනි කමිටුවක් සඳහා ඒ ආකාරයෙන් පත්වීම් ලබාදීමට නොහැකි අතර ඒ සදහා බලය ඇත්තේ කලමනකරන සේවා දෙපාර්තමේන්තුවටය. එසේ නම් ජාතික තරුණ සේවා සභාව මෙම උසස්වීම ලබාදී ඇත්තේ කගේ බලපෑමකට යන්න කඩිනම් විමර්ශනයකට ලක්කළ යුත්තකි.

සුදුසුකම් නොබැලු උසස්වීම් 

ඒ ආකාරයෙන් පෙරදාතම කර උසස්වීම් ලබාදෙන අවස්ථාව වන විට ක්‍රියාත්මක වූ බඳවාගැනීමේ පරිපාටියේ පැවති අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් එම අවස්ථාව වන විට සපුරා නොමැති අභියාචනාකරුවන්ටද උසස්වීම් ලබා දී ඇති බවද මෙම තොරතුරුවලින් අනාවරණය වූ දෙයකි එහිදී ටී.එල්.එල්.ඒ. ජයසේකර, එම්. සෝමරත්න, ජී.එල්.එස්.එන්. ලියනාරච්චි, අබ්දුල් ලතීෆ්, වී.ටී. මහින්ද යන අයට සහකාර අධ්‍යක්ෂ තනතුරු ලබාදීමේදී බඳවාගැනීම් පරිපාටි අනුව කිසිඳු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් සපුරා නොතිබීම හා බී.ඩී.ඩබ්.ඩී.කේ. කරුණාරත්න යන අයට දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී තනතුර ලබා දීමේදී කිසිඳු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් සපුරා නොතිබීමද පෙනී යන කරුණකි.

දේශපාලන සහන ලෙස උසස්වීම් ලබා දී ඇති ඇතැම් තනතුරු සඳහා එම පත්වීම් ක්‍රියාත්මක වන දිනයන්ට අදාළව ජාතික තරුණ සේවා සභාව කිසිඳු අයෙකුට උසස්වීම් ලබා දී නොතිබීම හෝ එකී තනතුරුවලට අදාළව සම්මුඛ පරීක්ෂණයක් හෝ පවත්වා නොතිබීමද මෙහි අනාවරණය වූ තවත් කරුණකි. 

 මේ ආකාරයෙන්  කේ.වී. ගුණපාල පෙරේරා (2007.01.30 පත්වීම් ලබාදුන් සහකාර අධ්‍යක්ෂ)  බී.ඒ.එල්.කේ.එස්. බාලසූරිය  (2011.02.01 සහකාර ගණකාධිකාරී)  ජී.එල්.ඒ.එස්.එන්. ලියනාරච්චි (2014.11.20 සහකාර අධ්‍යක්ෂ) වී.ටී. මහින්ද (2014.11.20 සහකාර අධ්‍යක්ෂ) එම්. සෝමරත්න ( 2014.11.20 සහකාර අධ්‍යක්ෂ) එල්.එස්.බී.සී.කේ. අමුණුගම (2014.11.20 සහකාර අධ්‍යක්ෂ) එම්.ටී.සී. ඇලෙක්සැන්ඩර් (2015.02.01 දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී) පී.එම්.එම්. සෝමදාස (2015.09.03 සහකාර අධ්‍යක්ෂ) වශයෙන් උසස්වීම් ලබාදී තිබේ. මේ එසේ උසස්වීම් ලබාදුන් අයගෙන් කිහිපදෙනෙකු පමණය.                                    

සාමාන්‍යයයෙන්  කිසියම් අයෙකුට දේශපාලන පලිගැනීමක් සිදු වූ බවට අර්ථ දැක්වීමට නම් ආයතනය කිසියම් තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබිය යුතුය. මෙම අයට උසස්වීම් ලබාදුන් දිනයන්ට අදාළව තනතුරු සඳහා උසස්වීම් ලබාදී තිබීමත් සිදුවී තිබිය යුතු නමුත්, ඒ පිළිබඳව තැකීමකින් තොරව උසස්වීම් සඳහා දිනයන් යොදාගැනීම තුළින්ම මෙම පත්වීම් ගැටලුසහගත බවට කදිමට පැහැදිලි වේ. එය ඉහතින් සඳහන් කළ කමිටු වාර්තාව මගින්ද තහවුරු කර තිබේ. එහිදී  ඇතැම් තනතුරු සඳහා උසස්වීම ලබා දී ඇත්තේ 2015.01.08 දිනෙන් පසු රජය ක්‍රියාත්මක වූ කාලයට අදාළ දිනයන් තුළය. එය සනාථ වන්නේ ටී.එල්.එල්.ඒ. ජයසේකර (2017.02.14 සහකාර අධ්‍යක්ෂ), පී.එම්.එම්. සෝමදාස (2015.09.03 සහකාර අධ්‍යක්ෂ) වශයෙන් මෙන්ම  එම්.ටී.සී. ඇලෙක්සැන්ඩර් (2015.02.01 දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී) වශයෙන් උසස්වීම් ලබාදී ඇත්තේ ඒ ආකාරයෙන් බවද පෙන්වා දිය හැකිය.

 මෙම උසස්වීම් ලැබූවන් සැබෑවටම සහන ලැබිය යුතු අය නොවන බවත්, පාක්ෂිකයන් සඳහා වරප්‍රසාද ලබාදීමේ අරමුණින්ම සිදුවූවක් බවත් මනාව නිරීක්ෂණය වන අතර එය  තහවුරු වන්නේ එම්.ටී.සී. ඇලෙක්සැන්ඩර් ට දේශපාලන සහන ලෙස 2015.02.01 දින සිට දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී තනතුර ලබා දී ඇති නමුත්, ඒ වන විට මෙම තනතුර සඳහා කිසිඳු බඳවාගැනීමක් හෝ උසස්වීමක් ලබා දිය නොහැකි අහෝසි වූ තනතුරක් වීම හේතුවෙනි. කිසිදු හේතුවක් මත අහෝසි වූ තනතුරක් සඳහා උසස්වීමක් ලබාදීමට නොහැකි බව පෙන්වා දී තිබියදී ඒ පිළිබඳව නොසලකා ලබා දුන් මෙම තනතුර නීත්‍යානුකූල ලෙස පිළිගැනීමට හැකිද යන්න ගැටලු සහගතය. පී.එම්.එම්. සෝමදාස ට 2015.09.03 දින සිට සහකාර අධ්‍යක්ෂ තනතුර ලබා දීමට පදනම් කර ගෙන ඇත්තේ ඔහු දැරූ ආවරණ තනතුර ස්ථිර පත්වීමක් බවට පත්කිරීමක් ලෙසයි. නමුත් ආවරණ රාජකාරී පවරන සියලු ලිපිවල අවසාන ඡේදයේ දැක්වෙන පරිදි මෙම අයට නිකුත් කළ ආවරණ රාජකාරී පැවරීමේ ලිපියේද “මෙම ආවරණ රාජකාරී පැවරීම එම තනතුරේ ස්ථිර වීමට සුදුසුකමක් නොවේ” යන්න පැහැදිලිව සටහන්ව තිබියදී මෙම උසස්වීම ලබා දී තිබෙන බව අදාළ විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම  ටී.එල්.එල්.ඒ. ජයසේකර නමැති අය වෙත 2017.02.14 දින සිට සහකාර අධ්‍යක්ෂ තනතුර ලබාදීමට කටයුතු කර ඇති අතර 2015.01.08 දින රජය පත්වීමෙන් පසු මෙම සභාවේ පවත්වා ඇති ප්‍රථම සහකාර අධ්‍යක්ෂ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ඔහු ලකුණු 44ක් ලබා 50 වන ස්ථානය ලබා තිබේ. එම දිනය පදනම් කර ගෙන මොහු  වෙත සහකාර අධ්‍යක්ෂ තනතුරට ස්ථිර පත්වීමක් ලබා දී ඇත. ඒ අනුව මෙම අයට වඩා ලකුණු ලබා ගත් 49 දෙනෙකු අසාධාරණයකට ලක් වී ඇත. එම පරීක්ෂණය අවස්ථාවේ පුරප්පාඩුව පැවති සහකාර අධ්‍යක්ෂ තනතුරු 23 සඳහා ලබා දී ඇත්තේ සහකාර අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ඉටුකිරීම් බැවින්ද එම අය 2022 වර්ෂය අවසානය දක්වාම එම පත්වීම් වලම රැඳී සිටීම නිසා ද එම කණ්ඩායමේ  ජ්‍යෙෂ්ටත්වයට බලපෑමක් වීමෙන් අසාධාරණයකට ලක්වී ඇත.

 විශේෂයෙන්ම 2015.01.08 දින රජය පත්වීමෙන් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ දිනයක් පදනම්ව දේශපාලන වශයෙන් අසාධාරණයට ලක්වූවා යැයි පැවසෙන අයෙකුට උසස්වීමක් ලබා දීම තුළින් මෙම සහන ලබාදිමේ පවතින දුර්වලතා මැනවින් පැහැදිලි වේ. එමෙන්ම පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමකින් තොරව හෝ ඒවායේ සඳහන් කරුණු පිළිබඳව නොසලකා තරුණසේවා සභාවේ විශ්‍රාමික සේවකයින් ඉදිරිපත් කර තිබූ අභියාචනා සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමක්ද සිදුව තිබේ.  උසස්වීමේ ලබාදීමේදී අනුගමනය කළ යුතු රාජ්‍ය  චක්‍රලේඛ ප්‍රකාරව වයස අවුරුදු 55න්, 57න් හා 58න් විශ්‍රාම ගැන්වූ සේවකයින් එය අභියෝගයට ලක්කරමින්  අධිකරණ කටයුතු සඳහා යොමු වූ නමුත් එම පැමිණිලි නිෂ්ප්‍රභ කරමින් තීන්දු ප්‍රකාශයට පත්කර තිබියදී දේශපාලන පලිගැනීම් ලෙස නිර්දේශ කර වන්දි ලබා දී තිබීම මෙම පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය තුළ දක්නට ඇති අනීතික ක්‍රියාවක් වේ.  එමෙන්ම ඇතැම් විශ්‍රාමිකයන්ට වන්දි ප්‍රධානය කිරීම සිදු කර ඇත්තේ මානසික සහනය සැලසීම උදෙසාය. මෙම සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් අප ඉහතින් දැක්වූ විගණන වාර්තාවෙන් මෙන්ම නිරීක්ෂණ වාර්තාවෙන් මානව තහවුරු කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුසහගත කරුණක් වේ. 

 එමෙන්ම ඉහත පුද්ගලයින්ට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් යම් නිර්දේශයක් හෝ අනුමැතියක් ලබාදී තිබේද යන්න ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් සිදු කෙරිණි. එහිදී 2024.12.27 දිනැතිව ලිපි අංක DMS/POLICEY/01/31-වෙළුම XXVI යටතේ ලබාදුන් තොරතුරු අනුව, 2020.07.07 දිනැතිව සිදුකරන ලද විමර්ශන කමිටුවට අදාළව ජාතික තරුණ සේවා සභාව මගින් 2017 සහ 2018 වර්ෂවල පත්වීම් ලබාදුන් විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන් 40 දෙනෙකුට උසස්වීම් ලබාදීම සඳහා මෙම දෙපාර්තමේන්තුව මගින් නිදේශ හෝ අනුමැතිය ලබාදීමක් සිදු කර නොමැති බවද සඳහන් කර තිබේ. 

නොසලකා හැරුණු කරුණු

ආයතනික රාජකාරී අවශ්‍යතා මත ඇතැම් අවස්ථාවල රාජකාරී ආවරණයන් ලබා දෙන අතර, මෙම කරුණපූර්වාදාර්ශයක් ලෙස ලබා ගතහොත් පරිපාලන වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය හැකිය. විශේෂයෙන්ම  මෙම සහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ උසස්වීම් ලබාදුන් අයගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා නොකර හෝ එම ගොනුවල සඳහන් කරුණු නොසලකා උසස්වීම් ලබා දී තිබෙන බවටද අදාළ විමර්ශන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබේ. ඒ ආකාරයෙන් ඇතැම් උසස්වීම් ලබාදුන් නිලධාරීන්ගේ ලිපිගොනුව පුරා ඔවුන්ගේ  දුර්වල රාජකාරී තත්වයන්, විනය ගැටලු හා අක්‍රමිකතා පිළිබඳව ලිඛිත සාක්ෂි තිබියදීත් ඔවුන්ට උසස්වීම් කිහිපයක්ම ලබාදී තිබීම මෙහිදී පෙන්වා දිය හැකි කරුණකි.

 විශේෂයෙන්ම ආයතන සංග්‍රහය අනුව සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් නොදන්වා සේවයට වාර්තා නොකර පැය 24 කට පසු ධුරය හැරයාමක් නිකුත් කළ හැකි නමුත්, එසේ නොකර අවස්ථා ගණනාවක් උපදෙස් නියෝග ලබා දී රාජකාරී දුර්වලතා හා විනය ගැටලු නිසා ධුරය හැරයාම නිකුත් කළ පුද්ගලයෙකුද  දේශපාලන පලිගැනීමක් ලෙස සලකා නැවත සේවයේ පිහිටුවා ඇත. නිදන් හෑරීමක් සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්වී දඬුවම් ලැබූ පුද්ගලයෙකුටද  එම නීතිමය තත්වය පිළිබඳව නොසලකා සහකාර අධ්‍යක්ෂ තනතුරක් ලබා දී තිබේ. 

අමුතු කමිටුවක් 

දේශපාලන හේතු මත ගැටලුවලට මුහුණදුන් අයට සහන සැලසීමට අදාළව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ කමිටුව හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ කමිටුව විසින් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම  සම්බන්ධයෙන් තරුණ සේවා සභාවේ නිර්දේශ ලබාදෙන මෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීමට අනුව, 2016 අගෝස්තු මස 12 වන දින  ජාතික තරුණසේවා සභාවේ එවකට අධ්‍යක්ෂ (පාලන)ගේ සභාපතිත්වයෙන් සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරිණි. එම කමිටුව තුළ, දේශපාලන පලිගැනීමක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත්කර තිබූ බී.එල්.ඒ බාලසූරියද කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ දේශපාලන සහන ලබාදීම අවස්ථා දෙකකදී ක්‍රියාත්මක වී ඇති අතර, එයින් මුල් අවස්ථාවේ නිර්දේශ ලබාගැනීම හා ඒවා ක්‍රියාත්මක කරන ක්‍රමවේදය පිළිබඳව රැස් වූ කමිටු සාමාජිකයෙකු ලෙස සහනලාභියෙකු මෙලස සහභාගී වීම පැහැදිලිවම ළැදියාවන් අතර ගැටුමක් සනිටුහන් කරයි.

ජ්‍යෙෂ්ඨත්වයට සිදු වූ බලපෑම 

  ඉහත සඳහන් පුද්ගලයින්ට දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සිදු වූ බව තේමා කරගනිමින් එම  පුද්ගලයින්ට පෙරදාතම් කරමින්  උසස්වීම් හා දිවිත්ව උසස්වීම්  ලබාදීම හේතුවෙන්  ඔවුන්ට වඩා ඉහළ ජ්‍යෙෂ්ඨත්වයක පසුවූ නිලධාරීන්ට වැටුප් විෂමතාවයන්ට මුහුණ පාන්නටද සිදුව තිබේ. ඒ හේතුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පලදායී සේවාවක් ලබා ගැනීමට නොහැකිවීමෙන් ආයතනික අරමුණුවලටද යම් බලපෑමක් සිදුවීම නොවැළැක්විය හැකිය.

රාජ්‍ය මුදල් අවභාවිතයක් 

විශේෂයෙන්ම දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන්නේයැයි කියන අය විවිධ තනතුරුවලට උසස් කිරීමට අදාළව හිඟ වැටුප් ගෙවීමක්ද සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් පුද්ගලයින් 21 දෙනෙකුට පමණක් රුපියල් ලක්ෂ 21 එකට අධික මුදලක් (2,157,039.12) හිඟ වැටුප් ලෙස ගෙවා තිබේ. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් මේ වනතෙක් වැඩි වූ වැටුප් ලෙස විශාල  මුදලක් ගෙවා තිබේ. විශේෂයෙන්ම මේ ආකාරයෙන් අනීතික ලෙස උසස්වීම් ලබාදීමක් සිදු කර තිබෙන පුද්ගලයින්ට මේ ආකාරයෙන් මහජන මුදලින් වැටුප් වැඩි කර ගෙවීම, වැටුප් වර්ධක ගෙවීම්, සංයුක්ත දීමන‍ා මෙන්ම ගමන් වියදම් ඇතුළු වරප්‍රසාද රැසක් ලබා දී ඇති අතර ඒ  සම්බන්ධයෙන් දූෂණ මැඩලීමට ප්‍රතිඥා දී ඇති වර්තමාන රජයේ දැඩි අවධානය යොමු විය යුතුය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ වර්තමාන සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්න මහතාගෙන් කරුණු දැනගැනීමට ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය. එමෙන්ම කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර බණ්ඩාර මහතාගෙන්ද ඉහත පත්වීම් ලබාදීම් සම්බන්ධයෙන් අදාළ විමර්ශනයට අනුව මේ වන විට ගෙන තිබෙන පියවර කුමක්දැයි විමසුවෙමු. ඔහු කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් නිසියාකරාව නොදන්නා හෙයින් ඒ ගැන සොයා පසුව දැනුම් දීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සකස් කර තිබෙන විමර්ශන වාර්තාවට අනුව කටයුතු කිරීම හා ඒ සම්බන්ධයෙන් සිදු කර තිබෙන විගණන විමසුමට අදාළ කඩිනම් විගණනයක් සිදු කරමින් මෙම පත්වීම් ලබාදීමේ ක්‍රියාවලියෙන් සැබෑවටම අසාධාරණයට ලක්වූ සුදුස්සන්ට සාධාරණයක් ඉටු කිරීමද රජයේ වගකීමකි.

පුවත්

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?

තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත්…

By In
පුවත්

ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…

By In
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය

ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *