Social, පුවත්

කොවිඩ් වසංගතයත් පැරද වූ වංචා සහ නාස්තිය,

By In

තොරතුරු පණත යටතේ පූර්ණ හෙළිදරව්වක්

  • රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 රජයේ විනිවිදභාවය සඳහා වන වගවීම, විශ්වාසය සහ පලදායී පාලනයක් පෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජවල තීරණාත්මක අංගයකි. කෙසේ වෙතත්, දූෂණය, පුරවැසි අවිශ්වාසය සහ අකාර්යක්ෂමතාව ආදිය පිළිබඳ කනස්සල්ලට තුඩු දෙන විනිවිදභාවයේ වගකීම්වලින් ඈත්ව  කටයුතු කිරීම  ලංකාවේ  පාලන තන්ත්‍රයෙන් මෙන් ම රාජ්‍ය ආයතන වෙතින් ගිලිහීයාම අද වන විට සාමන්‍යකරණයට ලක්වූ දෙයක් බවට පත්ව තිබේ.

   ලංකාවේ රජයේ විනිවිදභාවය පිළිබඳ ගැටළුව රටේ ආර්ථික ස්ථාවරත්වය,  භූ දේශපාලනය සහ මහජන විශ්වාසය කෙරෙහි ඇති කරන බලපෑම සැලකිය යුතු කතාබහකට ලක් වූයේ පසුගිය වසර කිහිපයේ දී  ලෝකය ම වෙලා ගත් කොවිඩ් වසංගතයත් සමඟ ය. කොවිඩ් උවදුරත් සමඟ මෙරටට ලැබුණු මූල්‍ය ආධාර, ණය මෙන්ම වෙනත් සම්පත් හා ඒවා පරිහරණය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වූ නමුත් බොහෝ අවස්ථාවල ඒවා හුදෙකලා සිදුවිම්  බවට පත්විය. මෙම ගවේශනාත්මක හෙළිදරව්වෙන් මතු කිරීමට උත්සාහ ගන්නේ කොවිඩ් අවදානම දුරැලීම පිණිස ශ්‍රි ලංකා රජය  මෙන් ම රාජය  ආයතන ද රටේ මහජන මුදල් හා විදෙස් ණය හා ආධාර භාවිත කළ ආකාරය යි.

 ලෝකයේ වේගයෙන් පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල සමාජ ආර්ථික පදනම් දෙදරා ගිය අතර ආර්ථිකය  කඩා වැටීමේ ඉරණමට සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද එකසේ මුහුණ දෙන්නට සිදු විය. මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට දරාගැනීමට  හැකි දෙයක් නොවුණු බැවින් කොවිඩ් අවදානම දුරැලීම පිණිසත්, රටවල ආර්ථික ධාරා නිසි මඟකට යොමුකරවිමටත් ලෝකයේ බොහෝ සංවිධානවල මූල්‍යමය සහාය ඒ ඒ රටවල් සඳහා ප්‍රදානයන් හා ණය ලෙස ලබා දුන්නේය.

  මෙහිදී කොරෝනා වසංගත තත්වයෙන්   ලංකාවට  සිදුවූ බලපෑම පදනම් කර ගනිමින්  2020.ජුලි 30 වනදා වනවිට  ප්‍රදානයන් ලෙස   ලෝක සෞක්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 (1900000)ක් , එක්සත් ජාතීන්ගේ අරමුදලින් (UNFPA ) ඩොලර් 2,12,260ක් ,UNICEF  වෙතින් ඩොලර් 1,25,000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් මිලියන 300 (300000000) ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් ඩොලර් මිලියන1.1  (1,194,424) ක් ද ලැබී තිබේ. ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් මිලියන128ක් (128,000,000) ක මුදලක් ශ්‍රි ලංකාවට ලැබී තිබේ.

  ඒ ආකාරයෙන්  ලංකාවට කොරෝනා වෛරසයේ බලපෑම සිදුවූ දින සිට 2021වසරේ දෙසැම්බර් 31 වැනි දා දක්වා   විටින් විට විදේශීය හා දේශීය  සංවිධාන  මගින් ප්‍රදානයන් ලෙස සෞක්‍ය අමාත්‍යංශයේ COVID-19 සෞක්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් (1992608922.62) ලැබී තිබිණි. එම කාලය වන විට  ඉන් වියදම් කර තිබුණේ  රුපියල් මිලියන 197ක් (197476824.06 ) බවත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් තොරතුරුවලින් අනාවරණය විය.              

  මේ තත්ත්වය මත ශ්‍රි ලංකා රජයට ලැබුණු බොහෝ ආධාර හා  ණය  විවිධ ආකාරයෙන් අවභාවිත වන බව විවිධ වෘත්තීය සමිති හා සිවිල් සමාජය මඟින් දිනෙන් දින චෝදනා එල්ල කළ කාරණයක් වේ. කොරෝනා යැයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීම සඳහා නැඟෙනහිර කොළඹ රෝහලේ පිහිටුවූ PCR යන්ත්‍රයක් අක්‍රියවිම නිසා පරීක්ෂණ ප්‍රථිපල 20,000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙන බව පවසමින් 2020 ඔක්තෝම්බර් මස 20 දින ලංකා C නිවුස් වෙබ් අඩවියේ පුවතක් පළව තිබිණි.  ඒ ගැන අදහස් දක්වමින් රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කර තිබුණේ  මෙම යන්ත්‍රය ටෙන්ඩර් පරිපාටිවලට පරිබාහිරව ගෙන්වා ඇති බවත්, මෙරට එහි දේශීය නියෝජිතයා වශයෙන් එක් පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇති බවත් ය.

  ඉහත පුවත ප්‍රාථමික මුලාශ්‍රයක් බවට පත්කර ගෙන PCR යන්ත්‍ර ගෙන්වීමට අදාළ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින්,  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කරමින්,  සෞක්‍ය අමාත්‍යංශය වෙත 2020 10 29 වන දින තොරතුරු අයදුම්පතක් යොමු කළත්, ඒ සඳහා තොරතුරු ලබාදීමට අදාළ පොදු අධිකාරිය කටයුතු නොකළේ ය. ඒ නිසා නියමිත ක්‍රමවේද ඔස්සේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  පිළිබඳ කොමිසන් සභාව වෙත 2021 .02.10 වන දින අභියාචනයක් සිදු කෙරිණි. තොරතුරු කොමිසම අදාළ අභියාචනය විභාග කොට ඒ තොරතුරු, තොරතුරු ඉල්ලුම්කරු වෙත ලබා දෙන ලෙස RTI/APPEL/458/2021 යන අභියාචනා අංකය යටතේ 2022.05.05 දින නියෝග කළේ ය. 2022 ාඅප්‍රේල් මස සිට අගෝස්තු මස දක්වා කාලය ඇතුළත අවස්ථා කීපයක් යටතේ එම තොරතුරු ලබාදීමට සෞක්‍ය අමාත්‍යංශය කටයුතු කළේ ඉන් අඅතුරුව ය.

 සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් අදාළ තොරතුරුවලට අනුව 2020 වර්ෂය දක්වා වූ කාලයේදී පමණක් මුල්ලේරියාව රෝහල හැර  මෙරට රජයේ රෝහල් හා ආයතන 09ක් සඳහා PCR පරීක්ෂණ යන්ත්ර  14ක් හා ඊට අදාළ උපකරණ ගෙන්වීමට සෞක්‍ය අමාත්‍යංශය වැය කර ඇත්තේ  රුපියල් මිලියන 55ක (කෝටි පහක් පමණ /55,028,540.00) පමණ මුදලක් බව අනාවරණය විය.

 යම් ආන්දෝලනයකට තුඩු දුන් මුල්ලේරියාව රෝහල වෙත එක් PCR යන්ත්රයක් හා උපකරණ ගෙන්වීමට පමණක් එකි අමාත්‍යංශය සෞක්‍ය අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහන (Health Sector Enhancement Project) මඟින්  එකවර රුපියල් මිලියන 250කට අධික මුදලක්   වැය කර තිබෙන බව එම අමාත්‍යංශය තොරතුරු දැනගැනීමේ පනත යටතේ  ලබාදුන් තොරතුරු විශ්ලේෂණය මගින් අනාවරණය කර ගැනීමට හැකි විය. 

  කොවිඩ් තත්ත්වය හමුවේ ජාතික PCR පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහය යටතේ  මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකළ විශේෂ අනුක ජීවී විද්යා පරීක්ෂණ, රසායනාගාරයේ ස්ථාපනය කිරීම වෙනුවෙන් මිලදී ගත් PCR යන්ත්රය සඳහා වැය කර තිබූ මුදල රුපියල් මිලියන 209කට(209850387) හෙවත් රුපියල් විසි කෝටි අනු අට ලක්ෂ පනස්දහස් තුන්සිය අසූහතකට අධික විය. එම මුදල ගෙවා චීනයේ M/S BGI Health (HK) CO.LTD ආයතනයෙන් මෙම යන්ත්රය මිලදී ගෙන ඇත්තේ ඒ සඳහා දේශීය නියෝජිතයකු නොමැති අවස්ථාවක බවත්, එහිදී විශාල වංචාවක් සිදුවී ඇති බවත් සෞඛ්ය වෘත්තීය සමිති පවසන්නට වූයේ මේ අතරතුර ය.

කෝටි 17ක් වටිනා PCR යන්ත්‍රයක් හා උපකරණ?

  මේ ආකාරයෙන් ගෙන්වූ PCR යන්ත්‍රයේ හා උපකරණවල වටිනාකම  අමෙරිකා ඩොලර් (USD)  – 943312 වන අතර එය එවක කාලීන ඩොලරයේ  වටිනාකම (189.26 ) මත  රුපියල් මිලියන 178ක් (178531229.12) එනම් රුපියල් දාහත්කෝටි අසුපන්ලක්ෂ තිස්එක්දහස් දෙසිය විසිනමයක් විය. ගැටළුව වන්නේ ශ්‍රි ලංකාවේ අනෙකුත් PCR යන්ත්‍ර 14ක් වෙනුවෙන් වැයකර ඇත්තේ රුපියල් මිලියන 55ක් පමණක් වීම නොව  මුල්ලේරියාව රෝහලේ  ස්ථාපනය කළ අදාළ PCR යන්ත්රය උපකරණ  වෙනුවෙන් එය ගෙන්වීමට ගුවන්යානා ගාස්තු ඇතුළුව සමස්ත වියදම  රුපියල් මිලියන 209කට(209850387) අධික වීම ය. අනෙකුත් සෑම රෝහලක ම  PCR රසායනාගාරවල ස්ථාපනය කෙරුණු එක් PCR යන්ත්‍රයක සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 40ට අඩු අගයන්වල පැවතියත් මුල්ලේරියාව රෝහලේ  ස්ථාපනය කළ අදාළ PCR යන්ත්රය වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 54කට (5488540) අධික මුදලක් යොදවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ්  අවධාරණය කරන්නේ මේ වෙනුවෙන් ගෙන්වූ උපකරණ හා ද්‍රව්‍ය වෙනුවෙන් එවක වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩියෙන් ගෙවා ඇති බව ය.

සෞක්‍ය පෝෂණ සහ දේශීය වෛද්ය අමාත්‍යංශය, සෞක්‍ය ාඅමාත්‍යංශය වෙත (රජයේ රෝහල් හා වෙනත් ආයතන සඳහා ) අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම  සඳහා අවසර ලබා දී තිබෙන ලියාපදිංචි සමාගම් හෝ පුද්ගලයන් සිටියි. ඒ ආකාරයෙන් 2020 වර්ෂයේදී මේ සඳහා සමාගම්16ක්, 2021දී සමාගම් 34ක් හා 2022 දී සමාගම් 26ක් ලියාපදිංචිව සිට ඇත. මේ සම්බන්ධ තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2023 ජනවාරි 30 දිනැතිව කළ ඉල්ලීමකින් සෞක්‍ය අමාත්‍යංශයෙන් ලබාගැනිණි. මෙරටට  ගෙන්වූ  PCR යන්ත්‍ර කීපයක් සෞක්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි සමාගම්වලට පරිබාහිර සමාගම් වන IMS Holdings (PVT)Ltd ,Microtech Biological(PVT)Ltd , Analytical instruments (PVT)Ltd Rs , Analytical instruments (PVT)Ltd වෙතින් මිලදී ගෙන ගෙන්වා තිබෙන බව  සෞඛ්ය අමාත්යාංශය ලබාදුන් අදාළ තොරතුරුවලින් අනාවරණය විය.

  සෞක්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි සමාගම්වල දේශීය නියෝජිතයන් මඟහරිමින් මේ ආකාරයේ මිලදී ගැනීම් සිදු කිරීම සිදු කළ නොහැකි බව රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙයි.

  ‘’දේශීය හෝ විදේශීයව අපිට හම්බවෙන අරමුදලකින් රසායනාගාරයක් හදනවා නම් අපි මුලින්ම බලන්න ඕන අපේ අවශ්යතාවට සැපයීම් කළ හැකි  ශ්රී  ලංකාවේ රසායනාගාර උපකරණ සැපයිය හැකි අය ඉන්නවද කියල, බැරි වුණොත් විදේශීය ආයතයක් වෙත හැරෙන එක වෙනම දෙයක්. ඒත් මෙම  රසායනාගාරය සෑදීමේ දී  මෙරට සේවා සපයන්නන්ට ඒ සඳහා සේවා ලබා දිය නොහැකි ලෙස මුලින් ම ආධාර දෙන ආයතනයට පැවසීමෙන් පසුවයි ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ සඳහා අරමුදල් අරගෙන තියෙන්නේ’’

  ‘’අපි ප්‍රශ්න කරනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් ලබා දෙද්දි තිබුණු කොන්දේසි මොනවද කියල. මෙයින් පැහැදිලි වෙන්නෙ තමන්ට වුවමනා ජාත්‍යන්තර සැපයුම්කරුවෙක් කලින් තෝරා ගෙන අදාළ මිලදී ගැනීම් ඒ මඟින් සිදු කර ගත් බවයි. ගැටළුව   චීනයේ BGI සමාගම විතරක් මේකට තෝරාගත්තේ කොහොමද කියලා. එම සමාගමට  ලංකාවේ සේවා සපයන්නෙක් නෑ. ඒවගේ දේශීය නියෝජිතයෙක් නොමැතිව තමයි මේ රසායනාගාරය හදන්න පටන් ගත්තේ.  සෞක්‍ය ාඅමාත්‍යංශයේ ක්‍රමවේදය අනුව ඒකත් වැරදියි. මේ සමාගම සඳහා දේශීය නියෝජිතයෙක් සම්බන්ධ කර ගෙන තිබුණේ ඉන් පස්සේ’’

රසායනාගාර සේවා මඟ හැරීම

‘’ මුල්ලේරියාව රෝහලේ රසායනාගාරය හදන්න  මිලියන 250කට අධික මුදලක් වැයකරලා  තියෙනවා.  ඒ සල්ලි ගත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක් ලෙස යි. මේ වගේ රසායනගාරයක් රුපියල්  මිලියන 40කින් පමණ හදන්න පුළුවන්. දීර්ඝකාලින රසායනාගාරයක් කිවුවට මේ රසායනාගාරය හදල තිබුණේ තාවකාලිකව සෘජිෆෝම් ස්ටයිල් එකේ බිත්තිවලින්. මෙම ආකෘතියේ ම සෘණ පීඩන සහිත,  මිට වඩා විශාල රසායනාගාරයක් හදන්නත් මෙච්චර මුදලක් වැයවෙලා තිබුණේ නෑ. මෙවන් මුදලක් වැයකරලා හදපු මුල්ලේරියාව රෝහලේ රසායනාගාරය අද පැත්තක දාලා තියෙන්නේ. ඒ කිසිදු ආකාරයේ වැඩකට භාවිත කරන්න බැරි තත්ත්වයකට අද පත්වෙලා.’’රවි කුමුදේශ් මහතා කිය සිටි.

 අප සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩනඟන වර්ග අඩි 3444ක් පමණ විශාලත්වයකින් යුත් අංග සම්පුර්ණ රසායනාගාරයේ ගොඩනැඟිල්ලට වියදම් වී ඇත්තේ මිලියන දෙකක (2392570) පමණ මුදලක් බව ය.  මුල්ලේරියාව රෝහල් පරිශ්රයේ ඉදිකළ වර්ග අඩි 2132ක පමණ විශාලත්වයකින් යුතු රසායනාගාරයේ ගොඩනැඟිල්ල වෙනුවෙන් පමණක්  රුපියල් මිලියන 40ක  මුදලක් වැය කර තිබේ. මෙවන් විශාල මුදලක් වැය කරමින් තැනු මෙම තාවකාලික ගොඩනැඟිල්ලේ  විශේෂත්වය කුමක්ද? එය රැක ගැනීමට නිසි  ක්‍රමවේදයක් සකසා නොමැත්තේ කුමන කාරණයක් පදනම්වද යන ගැටළුව මතුවේ.

මෙම කාරණා සම්බන්ධයෙන් සෞක්‍ය ාඅමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා ) වෛද්ය ජි .සුදත් කේ ධර්මරත්න ගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම මිලදී ගැනීම් සිදුකර තිබෙන්නේ තමන් මෙම තනතුරට පැමිණීමට පෙර දී බව ය.

‘’ලැබ් එකක් හැදුවට පස්සේ ඒක එතනින් අයින් කරන්නේ නෑ. ඒ වගේ වෛරස් තත්වයක් නැවතත් එන්න පුළුවන්. මෙම රසායනාගාරය මේ මොහොතේ භාවිත නොකෙරුවාට එකේ අවශ්යතාවය නැති වෙන්නේ නෑ. ගොඩනැඟිල්ලේ ඇති ප්‍රමිතිය සම්බන්ධයෙන් මට හරියට යමක් කියන්න බෑ.  මං   මේ තනතුරට  එන්න කලින්  තමයි යම් ව්යාපෘතියක් හරහා ඒක හදල තියෙන්නේ ’’  යි හෙතෙම කියා සිටියේය.

වැඩි ලංසුවට ගිය PCR යන්ත්‍ර ටෙන්ඩර්

 සෞක්‍ය අමාත්යංශය මඟින් ලබා දුන් අනෙකුත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී පෙනී ගිය තවත් කාරණයක් වන්නේ PCR යන්ත්‍ර ගෙන්විමේ දී ඒ සඳහා අඩු ලංසු ලබාදී තිබෙන ආයතන තිබිය දී වැඩි ලන්සු ලබා දුන් ආයතන වෙත එම ටෙන්ඩර් ලබාදී ඇති බව ය.

 ඒ ආකාරයෙන් වෛද්ය පර්යේෂණ ආයතයන වෙනුවෙන් ලබාගෙන තිබෙන PCR යන්ත්රය වෙනුවෙන් ආයතන හතරක් මිල ගණන් ඉදිරිපත්කර තිබේ. එම මිල ගණන් අතර IMS Holdings (PVT)LtdRs  4,65000.00, Microtech Biological(PVT)Ltd , Rs 3,800,000.00, Analytical instruments (PVT)Ltd Rs  3,494,000.00 , Analytical instruments (PVT)Ltd Rs  5,223,520.00 ආදී ලෙසින් මේ ආයතන මිල ගණන් ඉදිරිපත්කර තිබිණි. එහිදී ටෙන්ඩරය ලබා දී ඇත්තේ රුපියල් 3,800,000.00 මිලක් ඉදිරිපත් කළ Microtech Biological(PVT)Ltd වෙතට වේ. ඒ ආකාරයෙන්ම  යාපනය රෝහලට අවශ්‍ය PCR යන්ත්රයක් මිලදී ගැනීමට 2020.09.23 පැවැත්වූ ටෙන්ඩර් මණ්ඩලයේ දී එහි ටෙන්ඩරය හිමිවී ඇත්තේ තවත් අඩු මිලට ඉදිරිපත් කිරීම් කීපයක් එහි තිබියදී ය. සෞක්‍ය අමාත්යංශය මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදී ම කටයුතු කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ  සෞක්‍ය අමාත්යාංශය මඟින් ලබාදුන් තොරතුරුවලින්ම අනාවරණය කර ගැනීමට හැකි විය. 

 මේ සම්බන්ධයෙන් සෞක්‍ය අමාත්‍යංශයේ වත්මන් ලේකම් ජනක  චන්ද්‍රගුප්ත ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ BGI සමාගමෙන් අදාළ මිලදී ගැනීම සිදුකිරීමේදී දේශීය නියෝජිතයකු ද යොදා ගත් බව ය.   PCR යන්ත්‍ර ගෙන්වීමේදී එහි අඩු මිලට වඩා ඒවායේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සැලකිලිමත්වූ බව ද හෙතෙම කියා සිටියේ ය. මිලියන ගණනක් වියදම් කර මුල්ලේරියාව රෝහලේ ඉදි කළ රසායනාගාරය මේ වනවිට අබලන් වීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව ද ඔහු කියා සිටියේ ය. 

ඉහත කාරණා සියල්ල සැලකිල්ලට ගැනීමේ දී අනාවරණය වන්නේ කොවිඩ් වසංගත සමයේදී මෙරටට  ලැබුණු ණය මෙන් ම ආධාර මුදල්වලින් සැලකිය යුතු කොටසක් සුක්ෂමව අවභාවිත වී ඇති ආකාරය යි.  මෙම මුදල් අවභාවිත කර ඇත්තේ කවුරුන් ද? ඒ පිළිබඳ තොරතුරු  අනාවරණය කර ගන්නට විධිමත් පරීක්ෂණ ඇරඹී තිබේද? මේ හා සම්බන්ධ පිරිස් අරබයා නීත්යනුකුලව පියවර ගැනීමක් ඉදිරියට සිදු වන්නේ ද යන ගැටලුවලට සැබෑ පිළිතුරු  විනිවිදභාවයකින් යුතු රජයක් වෙතින් මහ ජනතාව අනිවාර්යයෙන් බලාපොරොත්තු වන්නකි. 

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *