– කේ. ප්‍රසන්නා
තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින් ආරම්භ කෙරිණි. ඒ පිළිබඳව කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඒ ආශ්‍රිතව ගැටලු රැසක් පවතින අතර, අදාළ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවයි.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවා ඇත. 2022.10.05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව, මෙම කාරක සභා මගින් පවත්වනු ලබන සෑම විමර්ශනයකටම අදාළව කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවේ සභාපතිවරයා විසින් තරුණ නියෝජිතයන් පස් දෙනෙකුට ආරාධනා කළ හැකි බැවින් සෑම කාරක සභාවකම තරුණ නියෝජිතයන් පත්කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව විසින් ආරම්භ කරන ලදි.
සභාපතිවරයාගේ අවසරය ඇතිව, එසේ ආරාධනා කරන ලද තරුණ නියෝජිතයින්ට සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන අතර, කාරක සභාව ඉදිරියේ ලේඛන සලකා බැලිය හැකිය. (කෙසේ වෙතත්, එම තරුණ නියෝජිතයින්ට කාරක සභාව තුළ ඡන්දය දීමේ අවස්ථාව හිමි නොවේ.) තීරණය කරනු ලබන ඕනෑම යෝජනාවක් සඳහා කාරක සභා වාර්තාවට ඇමුණුමක් ලෙස තරුණ නියෝජිතයින්ගේ නිරීක්ෂණ සහ අදහස් කමිටු වාර්තාවට ඇතුළත් කිරීමට සභාපතිවරයාට අවසර දිය හැකිය. තරුණ නියෝජිතයන්ගේ අදහස් ආණ්ඩුවේ ජාතික න්‍යාය පත්‍රයට අන්තර්ග්‍රහණය කර ගැනීම මෙහි අරමුණයි.
කාරක සභා 17ක්
ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව,ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා 17ට මේ ආකාරයෙන් තරුණයන් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරිණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය ඇතිව මෙහි සමාරම්භක උත්සවය 2023.05.13 වන දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැත්විණි.
මේ මත පදනම්ව පත්කළ තරුණ තරුණියන්ට ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීමට නිසි අවසරයක් ලබා නොදුන් බවත් කාරක සභා රැස්වීම් සඳහා එක් පිරිසකට පමණක් සහභාගි වීමට අවසර දී ඇති බවත් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තේරී පත් වූ නියෝජිතයන් චෝදනා කර තිබිණි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කරන ලද ඉල්ලීමට අනුව කරුණු රැසක් අනාවරණය වෙයි.
නියෝජිතයින් 535ක්
ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ තරුණියන් 565 දෙනෙකු අයදුම් කර ඇති අතර අතර ඉන් 535 දෙනෙකු තෝරා ගෙන ඇත. පුවත්පත් දැන්වීමට අදාළ නොවන අයදුම්පත් 30ක් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම යෝජනා ක්‍රමය සඳහා තෝරාගත් නියෝජිතයින් 535 දෙනෙකුගෙන් අයදුම්කරුවන් 397 දෙනෙකුගේ පුද්ගලික ආරක්ෂක තොරතුරු විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් ජීවත් වන සහ ඔවුන්ගේ සේවා ස්ථාන ආශ්රිත පොලිස් ඒකකවලින් ලබාගෙන ඇත. පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු අධීක්ෂණ කාරක සභා සඳහා මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට අමතරව තරුණ නියෝජිතයන්ටද සහභාගී වීමට අවස්ථාව සැලසීම සඳහා මෙම යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදි. එහෙත් එම සැලැස්ම සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අසමත් වී ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් තෝරාගෙන කොළඹට අරාධනා කොට උත්සව පැවැත්වුවද නියෝජිතයන්ට මුදල් ගෙවීමක් හෝ සහභාගි වීමට දිරි දීමනා ලබා දී නැත. කාරක සභා රැස්වීම්වලට සහභාගී වීමට ඔවුන් විසින් මුදල් හා කාලය නාස්ති කරමින් පැමිණීමට සිදු වී ඇත. ඉන් අනතුරුව කාරක සභා රැස්වීම්වලට ආරාධනා කළේ පාර්ලිමේන්තු නිලධාරීන්ට සම්බන්ධ හෝ දේශපාලන බලපෑම් ඇති කිහිප දෙනෙකුට පමණි.
අවස්ථාව නොදුන් කාරක සභා තුනක්
පසුගිය වසරක කාලය තුළ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් 14කට පමණක් තරුණ නියෝජිතයින්ට ආරාධනා කර ඇත. ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා විදේශ රැකියා හා කම්කරු දෙපාර්තමේන්තු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තරුණ නියෝජිතයින්ට කමිටු රැස්වීම්වලට ඉඩ ලබාදීමට පියවර ගත්තේ නැත.
අනෙකුත් ආංශික අධීක්ෂණ සභා 14ක රැස්වීම් සඳහා නියෝජිතයින් 358 දෙනෙකුට ආරාධනා කර ඇතත් ඉන් පැමිණ ඇත්තේ 262ක් පමණි. වරක් රැස්වීම්වලට ආරාධනා කළ පුද්ගලයන්ට නැවත නැවතත් ආරාධනා කළ අවස්ථා ද වාර්තා විය. මේ සඳහා දිවයිනේ නන් දෙසින් තරුණ තරුණියන් තෝරා ගෙන තිබුණද රැස්වීම්වලට සහභාගි වීම සඳහා කිසිදු දීමනාවක් ලබා නොදීම හේතුවෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආරාධනා ප්‍රතික්ෂේප කොට ඇත.
පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පමණක් වැඩි නියෝජිතයින් ප්‍රමාණයකට ආරාධනා කර ඇත. අනෙකුත් කාරක සභාවල රැස්වීම් සඳහා ආරාධනා ලැබී ඇත්තේ ඉතා සුළු ප්රමාණයකිනි.
177කට කිසිම ආරාධනයක් නෑ
මෙම යෝජනා ක්‍රමය සඳහා තෝරාගත් නියෝජිතයින් 177 දෙනෙකුට කණ්ඩායම් රැස්වීම් සඳහා කිසිවිටෙක ආරාධනා කර නොමැති අතර 96 දෙනෙකුට ආරාධනා කර ඇති නමුත් ඔවුන් කණ්ඩායම් රැස්වීම් සඳහාසහභාගී වී නොමැත. සාමාන්‍යයෙන් සෑම කණ්ඩායම් රැස්වීමකටම නියෝජිතයින් 5 දෙනෙකුට ආරාධනා කරනු ලැබේ. ඔවුන් තෝරාගනු ලබන්නේ ආංශික අධීක්ෂණ කාරක සභා මගිනි. මේ නිසා බොහෝ ආංශික අධීක්ෂණ කාරක සභා පසුගිය වසරක කාලය තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද දැනගන්නට ලැබිණි.
ලෝකයේ ප්‍රථම වතාවට තරුණ තරුණියන් සෘජුව පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ රටත් ලෝකයත් රැවටීමට ක්‍රියාත්මක වූවක් බව පෙනේ. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන ගණනක මුදල් හා ශ්‍රම බලකායන් යොදවා ඇතත් ඒවා නිෂ්ඵල බවත් ඒවා වියදම් කළ බවට පාර්ලිමේන්තුවේ සාක්ෂි නොමැති බවත් වාර්තා වේ.
එම කණ්ඩායම් රැස්වීම් සඳහා ඉල්ලුම් කළ නියෝජිතයින්ගේ පෞද්ගලික තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීම නිසා ඇතැම් පුද්ගලයන් තමන්ගේම වට්ස්ඇප් කණ්ඩායම් නිර්මාණය කර එම තොරතුරු හරහා මුදල් එකතු කිරීම ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.
නව පාර්ලිමේන්තුව විසින් නව ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයින් තෝරා පත් කර ගනු ඇත. ඒ සඳහා නව තරුණ නියෝජිතයන් තෝරා ගැනීමට අවශ්‍ය වේ. මේ හේතුවෙන් දැනටමත් තෝරාගත් අපේක්ෂකයින්ට ඔවුන්ගේ අවස්ථා අහිමි විය හැකිය.