පුවත්

අකුරණ නගරයේ ගංවතුර වළක්වන්න වසර 25ක් තිස්සේ අසමත් වුණේ ඇයි? තොරතුරු පනතින් කළ සොයා බැලීමක් 

By In

– මොහොමඩ් ආසික්

‘අකුරණ’ යනු, මහනුවර- යාපනය ඒ 09 මාර්ගයේ හමුවන ප්‍රධාන වාණිජ නගරයකි. ලෝකයේ බොහෝ රටවලට සෘජුව සම්බන්ධ වී ආනයන- අපනයන කටයුතු සිදු කරන ව්‍යාපාරිකයෝද එහි වෙති. නමුත් අකුරණ නගරය දැනට වසර 25 කට අධික කාලයක් මුහුණ දෙන  බරපතළම ආපදා ගැටලුවක් වන ගංවතුර පාලනයට  තවමත් නිසි  විසඳුමක් නොලැබීම නිසා නගරයට වාර්ෂිකව සිදු වන අලාභ හානි සුළු පටු නොවේ.

අකුරණ නගරය හරහා වැටී ඇති  මහනුවර- යාපනය  ඒ 09 මාර්ගය, ශ්‍රී ලංකාවේ ඒ ශ්‍රේණියේ ප්‍රධාන මාර්ගයකි.  අකුරණ නගරයේ ප්‍රධාන  මාර්ගයට සමගාමීව ගලා යන ප්‍රධාන ඔය වන පිඟා ඔය (ඔයේ නම සම්න්ධයෙන් විවිධ මත පවතී)  සහ නගරයේ ප්‍රධාන අතුරු මාර්ගය වන දුනුවිල මාර්ගයට සමගාවීම ගලා එන වහගල ඔයද වැසි දිනවල පිටාර ගැලීම නිසා අකුරණ නගරය මෙලෙස ජලයෙන් යටවීම නිරන්තරයෙන් සිදු වෙයි. 

ගිය වසරේ නව වතාවක් යටවෙලා

2024 වසරේ අවසානයේ ඇති වූ වැසි හේතුවෙන් මේ වනතුරු නගරය තෙවරක් ජලයෙන් යට වී ඇති අතර 2023 වසරේදී පමණක් නව වරක් ජලයෙන් යට වී තිබිණ. මෙලෙස ජලයෙන් යට වීම අඩි හතරේ සිට අඩි 12- 13ක් තරම් වූ අවස්ථාද තිබිණි. පසුගිය වසරේ නගරය ජලයෙන් යටවීම නිසා අවම වශයෙන් වෙළඳ සැල් 500 කට හානි සිදුව තිබිණ. නිල ගණන් බැලීම අනුව එහි සිදුව තිබූ අලාභය රුපියල් කෝටි 40ක් වූ බව සඳහන් විය.

අකුරණ නගරය ජලයෙන් යටවීම දිවයිනේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කතා බහ අතර අකුරණ නගරයේ ව්‍යාපාරිකයින්ට  දෝෂාරෝපණය කරන පිරිස්ද වෙති. ඒ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙනි. අකුරණ නගරය ජලයෙන් යටවීමට බලපාන ප්‍රධාන හේතුවෙක් ලෙස මෙම ඉදිකිරීම් සඳහන් කළ හැකිය. නමුත් ඒ අතර  අවසර ලබා ගත් ගොඩනැගිලිද පවතී. නගරයට වළක් වැනි ස්ථානයක පිහිටා තිබීම, නගරයට ගලා එන ජල ප්‍රමාණය ඉහළ යාම, අවට ඉඩම්වල ගොඩනැගිලි වැඩි වීම, රඳවන නැති වීම නැති වීම වැනි කාරණා රැසක්ද මෙම ජල ගැලීමට බලපායි.

මෙම නගරය මෙලෙස ජලයෙන් යටවීමට බලපාන  හේතු සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ සොයා බැලීමකි මේ. 

අවිධිමත් ඉදිකිරීම් 221ක්

අකුරණ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන අකුරණ නගරයේ ඉදිකිරීම් පාලනය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබයි. ඒ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී අවශ්‍ය අනුමැතිව ලබා ගැනීම සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට සිදු වෙයි.  නමුත් මෙම තත්වය පාලනය වී ඇත්ද? අනුමැතිය ලබා හෝ නොලබා ඔය ආශ්‍රිතව මේ වන විටත්  යම් යම් ඉදිකිරීම් සිදු  වෙමින් පවතී. 

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනිමේ පනත අනුව මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් කළ තොරතුරු විමසීමක් සඳහා ලබා දී ඇති තොරතුරු අනුව, අකුරණ නගරය සහ යාබද ප්‍රදේශවල අවිධිමත් ගොඩනැගිලි 222ක් හඳුනා ගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති එම තොරතුරු අනුව අකුරණ නගරයේ මිරාමා ගොඩනැගිල්ලේ (මෙම ගොඩනැගිල්ල දැන් වෙනත් නමකින් හැඳින්වෙයි) සිට හතේ කණුව දක්වා  පිඟා ඔය සහ ඒ 09 මාර්ගය අතර කොටසේ සහ දුනුවිල මාර්ගයේ මීටර් 200 ක් පමණ දුර කොටසේ ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන්  නාගරික සංවර්ධන අධිකාරිය මගින් සමීක්ෂණයක් සිදු කර ඇත.  

එම සමීක්ෂණය අනුව, ගොඩනැගිල්ලෙන් කොටසක් මෙම මාර්ග සහ ඇළ මායිමට හසු වන ආකාරයෙන් ඉදිකළ ගොඩනැගිලි 109ක් හඳුනාගෙන තිබේ. ගොඩනැගිලි සීමාව තුළ පිහිටි ගොඩනැගිලි 53ක්ද ගොඩනැගිලි සීමාව තුළ මාර්ග රක්ෂිතයේ පිහිටි ගොඩනැගිලි 45ක්ද, ඇළ මායිමේ පිහිටි ගොඩනැගිලි 15 ක්ද හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම සීමාව තුළ හඳුනාගෙන ඇති මුළු අවිධිමත් ගොඩනැගිලි ගණන 222ක් වෙයි.

පවරා ඇත්තේ එක නඩුවයි

එම තොරතුරුවල තවදුරටත් සඳහන් වන්නේ මෙලෙස හඳුනාගෙන ඇති අවිධිමත් ගොඩනැගිලි 222  අතුරින් කීයක් පෙර පැවැති ගෙැාඩනැගිලිද, කීයක් අනුමත කර ඇත්ද? අනවසර ඉදිකිරීම් කීයක් පවතින්නේද? යන ප්‍රශ්න සඳහා මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවයි.

අකුරණ නගරයේ පවතින අවිධිමත් හෝ අනවසර ඉදිකිරීම්වලින් කීයක් සඳහා මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුර වශයෙන් ලබා දී ඇත්තේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මාතලේ මාර්ගයේ එක් පුද්ගලයෙකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇති බවයි. කෙසේ නමුත් අකුරණ  ප්‍රාදේශීය සභාව මගින්ද පුද්ගලයින් කිහිප දෙනෙකුට විරුද්ධය නඩු පවරා තිබේ.

අකුරණ  නගරයේ ගංවතුර තත්වය ඇති වීම සඳහා තවත් එක් ප්‍රධාන සාධකයක් ලෙස නගරයේ අවිධිමත් පාලම් දැක්විය හැකියි. අකුරණ හතේ කණුව ප්‍රදේශයේ සිට නගරය අවසන් වන ස්ථානය දක්වා මේ වන විට අවිධිමත් පාලම් 50 කට ආසන්න සංඛ්‍යාවක් දැකිය හැකියි. මෙම පාලම් රැසක් සඳහා අනුමැතිය ලබා දී තිබුණත් එම පාලම් අනුමත කර ඇති ප්‍රමිතිය අනුව ඉදිකර නොමැති බවත් ඇතැම් පාලම් සඳහා විධිමත් අනුමැතියක් ලබා ගෙන නොමැති බවත් සමීක්ෂණවලින් හෙළිව තිබේ.

අකුරණ නගරය මුහුණ දෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ  සඳහන් කළේය.

“අකුරණ නගරය තුළ දක්නට ඇති අවිධිමත් ගොඩනැගිලි සහ පාලම් විශාල ප්‍රමාණය මෙලෙස ජල ගැලීම් ඇති වීමට බල පා ඇති ප්‍රධාන හේතුවයි. මෙහි වගකීම අදාළ ආයතනවලට යනවා. විශේෂයෙන්  ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම ගොඩනැගිලි සඳහා අවසර ලබා දිමේදී පවතින අණපනත්වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙහි කර ඇති ඇතැම් ඉදිකරීම් සහ පාලම් අනවසරයෙන් ඉදි කළ ඒවා. සමහර ඒවාට අවසර ලබා දී තිබුණත් ඒවා කිසි ක්‍රමවේදයක් අනුව සිදු වි නැති බවත් පෙනෙන්නට තිබෙනවා.” 

වැලි ව්‍යාපෘතිය අඩාළ වෙලා

අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.ජී.එම්.බී. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසුවේය. 

“අකුරණ නගරයේ ජල ගැලීම් පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රධාන ඔයේ රොන්මඩ ඉවත් කර වැලි බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. නමුත් එම වැලි විකුණා ගැනීමේ අපහසුව සහ වෙනත්  කරුණු කිහිපයක් නිසා එය දැනට අතර මඟ නැවතිලයි තියෙන්නේ. අකුරණ නගරයේ  ගංවතුර පාලනය සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි නම් ණය වී හෝ එය කළ යුතුයි.”

පිඟා ඔයේ වැලි ඉවත් කිරීම සඳහා ගෙනෙන ලද රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා යන්ත්‍රයද  මේ වන විට අක්‍රියව පවතින අයුරුත් සකස් කරන ලද වැලි විශාල ප්‍රමාණයක් ගොඩ ගසා ඇති අයුරුත් දැකිය හැකියි.

නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරී සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතා ලබා දී ඇති තොරතුරු අනුව අකුරණ නගරයේ නිරන්තරයෙන් ඇති බව ජලගැලීම් තත්වයන් සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් විධිමත් සමීක්ෂණයක් සිදු කරමින් පවතින බවත්, එම වාර්තාව ලැබීමෙන් පසුව එහි නිර්දේශ අනුව මෙම ජලගැලීම් පාලනයට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කර තිබේ. 

වසර 25ක වැඩසටහන් වතුරේ!

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, වැසි කාලවලදී අකුරණ නගරය ජලයෙන් යට වීමේ අවදානමකට වසර ගණනාවක් තිසේසේ මුහුණ දෙන බවයි. මෙම තත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් තුමාගේ උපදෙස් අනුව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා සුදුසු ව්‍යාපෘතියක් ලෙස රොන්මඩ ඉවත් කර වැලි  බවට පත් කිරීම හඳුන්වා දුන් බවත් ඔහු සඳහන් කළේය.

අකුරණ නගරයේ ජල ගැලීම් පාලනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රජයන් මෙන්ම  ප්‍රාදේශීය සභාවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණත් වසර 25ක් ගතව තිබියදීත් එහි ප්‍රගතියක් දක්නට නැති වීම කණගාටුවට කරුණක් වෙයි. 

ඡායාරූප විස්තර 

අංක 01 අකුරණ නගරය ජලයෙන් යටව තිබූ අවස්ථාවන්

අංක 02 නගරයේ සාමාන්‍ය දර්ශන

පුවත්

පසුගිය මාස දෙකහමාරට රජය රුපියල් බිලියන 438ක් ණය වෙලා! 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් දැඩි දුෂ්කර තත්වයක පවතින අතර, යථා තත්ත්වයට පත්වීම සමාජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවට…

By In
පුවත්

අල්ලස හා දූෂණයෙන් රට ක්ලීන්ද?  අල්ලස් කොමිසම පැවරූ නඩු 52ක්ම ‘රිවස්’!

– ජනක සුරංග රටක් තිරසර සංවර්ධනය කරා පියමන් කරන්නට නම් නිසැකවම අල්ලස, දූෂණය ඇතුළු සියලු ආකාරයේ විෂමාචාරවලින් තොර වූ පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *