පුවත්

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී හෙක්ටයාර 1384ක් දේශපාලන හිතවතුන්ට අතහැරලා රුපියල් මිලියන 215ක පමණ මුදල් නාස්තියක්

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධන කටයුතු හේතුවෙන් වන අලි මෙන්ම වන සතුන් බෙහෙවින් වාසය කළ රක්ෂිත ඇතුළු වනගත ප්‍රදේශ හෙළි කිරීම නිසා අවතැන්වන වන අලින් ඇතුළු වන සතුන්හට වාස භූමියක් තැනීමේ අරමුණින් හෙක්ටයාර 30000කට අධික භුමි ප්‍රදේශයක් යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස වෙන්කරනු ලැබිය.

Photo 1-  2010 අලි කළමනාකරණ රක්ෂිත සිතියම

2009 වර්ෂයේදී හම්බන්තොට වරාය ගුවන්තොටුපොළ සහ ඒ අවට සිදු වූ තවත් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදු වූ  කැලෑ හෙළිකිරීමෙන් අවතැන් වූ වන අලින් උදෙසා වන අලි කළමනාකරණ රක්ෂිත භුමිය වෙන්කරන ලද අතර ඒ සඳහා මහවැලි රක්ෂිත ප්‍රදේශ මෙන්ම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශයන් ද අයත් විය. 2009 අංක 22 දරන වනසත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2 වන වන්ගන්තියට අනුව මෙම වන අලි කළමනාකරණ රක්ෂිත භූමි  ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට තිබුණත් වසර ගණනාවක් තිස්සේ  එම කටයුත්ත ද සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතිවූ අලි මිනිස් ගැටුම හේතුවෙන් විනාශ වන අලි මිනිස් ජීවිත රැක  ගැනීම සඳහා   හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු  සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ දී 2021.ජනවාරි 18 වන දින  සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී.

ගොවි උපවාසය හා සත්‍යග්‍රහය

මෙම ගොවීන්ගේ සත්‍යග්‍රහයට හා උපවාසයට සහයෝගය දක්වමින් අවස්ථා කීපයකදීම ගොවි සංවිධාන පරිසර සංවිධාන එක්ව විරෝධතා ද පවත්වන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර 23746.55කින් යුත්  හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර තිබේ.

අලි කළමනාකරණයෙන් ඉඩම් අහිමි වූ හැටි 

 හම්බන්තොට වල්සපුගල  ප්‍රදේශයේ මහවැලි කලාපයට අයත් භූමි ප්‍රදේශය 2003 වසරේදී  කිරි ගොවීන්ගේ තෘණ  භූමි සඳහා වෙන්ව තිබියදී පසුව 2008 දී පමණ  මෙම භූමි භාගය වන අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන් කරනු ලබන්නේ ඒ වනවිට වන අලින්ගේ වාස භුමි දැඩි සේ හෙළි කරමින් සිදු කළ දැවැන්ත සංවර්ධනය හමුවේ නිර්මාණය වූ අලි මිනිස් ගැටුම සඳහා පිළියමක් ද ලෙසිනි .  කෙසේ නමුත් මේ අතර මෙම අලි කළමනාකරණ රක්ෂිතය දෙපලු කරමින් 2014 දී පමණ  දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස හම්බන්තොට සිට මත්තල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟ වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත්ව තිබු තවත් විශාල භුමි ප්‍රමාණයක්ද අහිමි විය.

ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ගුවන්තොටුපල   ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ හෙක්ටයාර 2000ක් පමණ ලබාගත් අතර මේ වන විට ඉන් හෙක්ටයාර 800ක් සංවර්ධනය කර තිබේ  එමෙන්ම  ගැසට් පත්‍රය මගින් ගුවන්තොටුපොළ වෙනුවෙන් තවත් හෙක්ටයාර 866ක භූමියක් වෙන්කර තිබේ. 

    එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා හෙක්ටයාර 1115ක් පවරාගත් අතර මේ වනවිට ඉන් හෙක්ටයාර 800ක ප්‍රදේශයක් සංවර්ධනය කර අවසන් ය. නමුත් අවතැන්වූ අලි ඇතුන් 20කට අධික ප්‍රමාණයක් වරාය හෙළි නොකරන ප්‍රදේශයේ තවමත් ජීවත් වේ .

   ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරුවලින් අනාවරණ වේ , 

   මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට මෙන්ම මදුනාගල, මිරිජ්ජවිල, සූරියවැව යන ප්‍රදේශයන්හි  වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම්වලට හා දේපොළ සඳහා  සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

වගා හා දේපල විනාශ වී ඇති අයුරු

මිට වසර 15 කට පමණ පෙර  හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මහවැලි අධිකාරියට අයත්ව තිබු   හෙක්ටයාර තිස්දෙදහසකට ( 32000) අධික  භුමි ප්‍රමාණය  එම ප්‍රදේශයන්ගෙන්  මිට වසර 15 ක පමණ සිට මේ දක්වා  විටින් විට විවිධ  සංවර්ධන ව්‍යාපෘති සඳහා  හෙක්ටයාර පහළොස් දහසක් පමණ  (15000) ලබා දී ඇති බව හම්බන්තොට මයුරපුර මහවැලි අධිකාරියෙන් තොරතුරු  දැනගැනීමේ පනත මගින් ලබා ගත්  තොරතුරුවල සඳහන් වේ. මෙම සංවර්ධන ව්‍යාපෘති සදහා අලි කළමනාකරණ රක්ෂිතය සදහා වෙන්කර තිබු රක්ෂිත ප්‍රදේශ ද ලබාදී තිබීම මෙම සොයා බැලීමේදී  අනාවරණය වූ කාරණාවකි.

ගැසට් එකට නොගිය මහවැලි රක්ෂිත කොටස

  විවිධ ඉඩම් ජාවාරම්කරුවන්ගේ  මෙන්ම දේශපාලන හිතවතුන්ගේ ඉඩම් අල්ලාගැනීම හේතුවෙන් හම්බන්තොට  යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත සඳහා මහවැලි  අධිකාරිය යටතේ තිබු විශාල භූමි ප්‍රමාණයක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවස්ථා කීපයකදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ  ලබාගත් තොරතුරු මගින් අනාවරණය වූ දෙයකි.

 ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2017දෙසැම්බර් 19 දින WL /16/RTI  යන ලිපි අංකය මගින් ලබාගත් තොරතුරුවලට අනුව  හම්බන්තොට  යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත සදහා හෙක්ටයාර 25997.10ක් වෙන්කර තිබු අතර ඒ සඳහා සිතියම් ද සකස් කර තිබුණි. එමෙන්ම 2019.නොවැම්බර් 20 දින වජි /06/01/02//769 යන ලිපි අංකය යටතේ  වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වූයේ එම බිම් ප්‍රමාණය හෙක්ටයාර 25726.55 දක්වා අඩුවී ඇති බවයි. ඒ අනුව වසර දෙකක් තුලදී වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 270ක් අඩුවී තිබේ.

 එමෙන්ම අවසාන වශයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2021 පෙබරවාරි 22 දින වජි /1/2/769 II යටතේ ලබාගත් තොරතුරුවලට අනුව හෙක්ටයාර 25726.55 ප්‍රමාණයම වෙන්කර ඇති බවට සිතියම් සමඟ ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.

2017 අලි කළමනාකරණ රක්ෂිතය වෙන්කර හැදු සිතියම

මෙවන්  පසුබිමක දී  හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන්  2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ  හෙක්ටයාර 23746.55කින් යුත් භුමි ප්‍රමානයක් පමණය. ඒ අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබු තවත් හෙක්ටයාර 1384ක් අහිමි වී තිබේ. ඒ අනුව වසර තුනකදී හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් අහිමිකර ඇති භුමි ප්‍රමාණය හෙක්ටයාර 1654කි. එසේ අහිමිකර ඇත්තේ මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම් වේ.

ගැසට්කල සිතියම

ගැසට් නොකළ ඉඩම් කොටස කාගේද?

  හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබූ භූමි ප්‍රමාණයෙන් ගැසට් නොකරන ලද හෙක්ටයාර 1384ක භූමිය පිහිටා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දර වැව සිට හම්බන්තොට දක්වා දිවෙන කොටසේ වේ.  එම භූමි ප්‍රදේශය දේශපාලන හිතවතුන්, බලවතුන් ඇතුළු ධනවතුන් විසින් අල්ලාගෙන, ගල් මෝල් කීපයක් ද පවත්වාගෙන යන ප්‍රදේශයක් වේ. මින් පැහැදිලි වන කාරණයක් වන්නේ අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී මෙම පිරිස් ගැන ලැදියාවකින් යුක්තව මෙම රක්ෂිත ප්‍රදේශය ගැසට් කර නොමැති බවයි.

  මේ අතර ඉදිවූ  දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හා හම්බන්තොට දක්වා කොටස  වශයෙන් තෝරාගනු ලබන්නේ වන අලින් බොහෝ සෙයින් ජීවත් වූ ප්‍රදේශයක් වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී මෙම ප්‍රදේශවල ජිවත්වන වන අලින් හට අධිවේගී මාර්ගයට පැමිණීමට නොහැකි ලෙස කිලෝ මීටර් 35ක පමණ දිගින් යුත්  දැඩි ආරක්ෂාකාරී අලි වැටක් ඉදිකර තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 215.99 ක මුදලක් යොදවා ඇති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

අධිවේගී මාර්ගය ඉදිකරන අවස්ථාවේ වන අලි පැමිණි අයුරු

මේ ආකාරයනේ විශාල මහජන මුදල් ප්‍රමාණයක් යොදවා අලි වැටක් ඉදිකරනු ලබන්නේ අධිවේගී මාර්ගයෙන් එපිට කොටස අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඇති පසුබිමක ය. මෙම ගැසට් පත්‍රයට අනුව අධිවේගී මාර්ගයේ සිට මිටර් 500කට පමණ දුරක් කිලෝ මිටර් 30ක් පමණ යනතුරු අඩු වැඩි වශයෙන් අලි කළමනකරණ රක්ෂිතයට අහිමි වන අතර එහි ප්‍රතිපලයක් ලෙස ඉදිරියේදී රුපියල් මිලියන ගණනක් වැයකර  තවත් අලි වැටක් ඉදි කිරීමට සිදු වේ. මේ ආකාරයෙන් රුපියල් මිලියන 350කට අධික ප්‍රමාණයක් (රුපියල් කෝටි 3500ක් පමණ ) මහජන මුදල් නාස්තියක්      සිදුවන අතර  හුදෙක් එය සිදුකරනු ලබන්නේ තම දේශපාන හිතවතුන්ගේ හා ඉඩම් ජාවාරම්කරුවන්ගේ   මනදොල පිරවීමට අලින්ට වෙන්කර තිබූ රක්ෂිත කොටස් ලබාදීම තුලින්  වීම කණගාටුවට කරුණකි. 

dav

අධිවේගී මාර්ගය දෙපස මේ වනවිට ඉදිකර තිබෙන අලි වැට

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සදහා විශයභාර අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන්  කරුණු විමසීමට ඔහු සම්බන්ධ කිරීමට ගත උත්සහයේදී ඔහුගේ ලේකම් වරයෙකු කියා සිටියේ අමාත්‍ය වරයා රෝහල්ගතවී ඇතිබවයි.පසුව වනජීවී අමාත්‍ය සි බි රත්නායක මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කලත් එයද ව්‍යර්ථ විය.

පුවත්

පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම සම්බන්ධ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

තොරතුරැ ප්‍රතික්ෂේප කොට ඇත්තේ පනතේ 5(1) අ සහ 5(1)ඌ යන විධිවිධාන යටතේය. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම…

By In
පුවත්

රටගිය ඇත්තන්ගේ දුක්බර කතාව පිටුපස ඇති ලොක්කන්ගේ කෙරුවාව

නිරෝධායනයට හෝටල්වලට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින්ගේ නිරෝධායනය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් තිබී නැහැ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   ශ්‍රී…

By In
පුවත්

කොවිඩ් වසංගතය හමුවේ පාසැල් වල පූර්වාරක්‍ෂාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 681,625,800.00 ක්!

රිෆ්දි අලි  අධ්‍යාපනය සමස්ත ප්‍රජාවට අත්‍යවශ්‍ය දෙයකි. රටෙහි ආර්ථික සංවර්ධනයට ද  අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් වේ.  මෑතක් වන තුරු ම සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *