පුවත්

මහින්දට උපදේශකයින් 82යි, රනිල්ට අධ්‍යක්ෂවරුන් 71යි : හිටපු ජනාධිපතිවරු 4 දෙනෙකුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට 397ක්!

By In

– කා. ප්‍රසන්නා 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ දිගින් දිගටම එල්ල වන විවේචන මගින් අවධාරණය කෙරෙන ප්‍රධාන කරුණක් වන්නේ, ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රජයේ මුදල් අධික ලෙස නාස්ති කෙරෙන බවයි. මෙහිදී හිටපු අගමැතිවරුන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ කේ.ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව  ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයින් තම පෞද්ගලික අවශ්‍යතා සඳහා සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට දුන් පොරොන්දු සඳහා මහජන මුදල් භාවිත කරමින් තම බලය අවභාවිත කිරීම ඉතිහාසය පුරා සිදුව ඇත. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ට තම පහසුව අනුව විශේෂ ලේකම්වරුන් හෝ තනි තනි ක්‍රියාකාරී කණ්ඩායම් නිර්මාණය කිරීමට හැකියාව තිබේ. හිටපු ජනාධිපතිවරුන් තම පාලන කාලය තුළ එම වරප්‍රසාදය භාවිත කළ ආකාරය විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ගේ විශේෂ ලේකම්වරුන් හෝ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ට ලැබුණු වරප්‍රසාද පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පනත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමට අනුව, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු ලබා දී තිබේ.

2010 වසරේ සිට ශ්‍රී ලංකාව පාලනය කර ඇත්තේ ජනාධිපතිවරුන් හතර දෙනෙකි. තම ධුර කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සේවකයන් 157ක්ද, මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සේවකයන් 82ක්ද, ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සේවකයන් 40ක් සහ රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සේවකයන් 118ක්ද පත් කර ඇත.

අදාළ තනි සේවකයින් සඳහා මූලික වැටුප් දීමනාව, ජීවන වියදම් දීමනාව. විශේෂ දීමනාව, ඉන්ධන දීමනාව, ප්‍රවාහන දීමනාව, අතුරු දීමනාව, භාෂා දීමනාව, පරිපාලන දීමනාව, පැමිණීමේ දීමනාව, 1/3 දීමනාව වැනි විවිධ දීමනා මාසිකව ලබා දී තිබීමද විශේෂත්වයකි. මෙමඟින් පෙන්නුම් කෙරෙන්නේ  හිටපු ජනාධිපතිවරුන් තම වරප්‍රසාද යොදාගෙන තමන්ට සමීප පුද්ගලයන්ට තනතුරු ලබාදී විශාල ලෙස  මහජන මුදල් වියදම් කර ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ (2022 ජූලි සිට 2024 සැප්තැම්බර් දක්වා)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී මාස 26ක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා 118 දෙනෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගෙන ඇත. එසේම හිටපු මන්ත්‍රීවරුන් රැසකටත් තනතුරු ලබාදෙන ලදි. කාර්ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් 28 දෙනෙකුගෙන් (ගරු සේවා පදනම මත පත්කළ උපදේශකයින් 9 දෙනෙකු, අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 12 දෙනෙකු, අධ්‍යක්ෂවරුන් 71 දෙනෙකු, සම්බන්ධීකරණ ලේකම්වරුන් 6 දෙනෙකු සහ එක් පුද්ගලික ලේකම්වරයෙකු) සමන්විත විය. එම කාර්ය මණ්ඩලයට මාසික දීමනා ලෙස පමණක් රුපියල් මිලියන 11.46ක් සහ ඉන්ධන දීමනාව ලෙස ලීටර් 13,622ක් ලබාදී ඇත.

  • ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් 15 දෙනෙකුට විවිධ දීමනා ලබාදී ඇති අතර දෙදෙනෙකුට ඉන්ධන දීමනා පමණක් ලබාදී තිබේ. තවත් දෙදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ගෙවා නොමැති බව වාර්තා වේ.
  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් 15 දෙනෙකුට මාසික දීමනා සඳහා ලක්ෂ 20ක් ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් 14 දෙනෙකුට මාසික ඉන්ධන දීමනා ලෙස ඉන්ධන ලීටර් 2370 බැගින්ද ලබා දී ඇත. 
  • අධ්‍යක්ෂ ජනරාල්වරුන් ලෙස පත්කළ පුද්ගලයන් 12 දෙනෙකුගෙන් 11 දෙනෙකුට මසකට රුපියල් ලක්ෂ 11.1 බැගින් දීමනා සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් 12 දෙනෙකු සඳහා මසකට ඉන්ධන දීමනා ලෙස ඉන්ධන ලීටර් 1815 බැගින්ද ලබා දී ඇත.
  • අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර ඇති 71 දෙනෙකුගෙන් 65 දෙනෙකුට දීමනා සඳහා මසකට රුපියල් ලක්ෂ 77.5ක් සහ අධ්‍යක්ෂවරුන් 61 දෙනෙකුට මසකට ඉන්ධන ලීටර් 8,235ක් ලබා දී ඇත. 
  • ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් 6 දෙනෙකුට මාසික දීමනා ලෙස රුපියල් ලක්ෂ 4.9ක් සහ මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 967ක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට රුපියල් 110,000ක මාසික දීමනාවක් සහ ලීටර් 235ක ඉන්ධන දීමනාවක් ලබාදී තිබේ.
  • එමෙන්ම කාර්ය මණ්ඩලයේ අට දෙනකුට දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් ලේඛනවල කිසිදු තොරතුරක් නොමැති බවද සඳහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ (2019 නොවැම්බර් සිට  2022 ජූලි දක්වා)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී ගත වූ මාස 32 තුළ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා 40 දෙනෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගෙන ඇත. කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් 9 දෙනෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරුන් 4 දෙනෙකු, අධ්‍යක්ෂවරුන් 23 දෙනෙකු, සම්බන්ධීකරණ ලේකම්වරුන් 4 දෙනෙකු සහ එක් පුද්ගලික ලේකම්වරයෙකුගෙන් සමන්විත විය.

  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ට ලබාදී ඇති ගෙවීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් ලේඛනවල කිසිදු තොරතුරක් නොමැති බව සඳහන් වේ.
  • සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස පත් කර ඇති තිදෙනාගෙන් දෙදෙනෙකු සඳහා මාසික දීමනා ලෙස රුපියල් 131,026ක් සහ ඉන්ධන දීමනා ලෙස ඉන්ධන ලීටර් 340ක දීමනාවක් ලබා දී ඇත.  එමෙන්ම එක් පුද්ගලයෙකුට අදාළ ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් ලේඛනවල කිසිදු තොරතුරක් නොමැත. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට රුපියල් 107,500ක මාසික දීමනාවක් සහ ලීටර් 240ක ඉන්ධන දීමනාවක් ලබාදී තිබේ.
  • අධ්‍යක්ෂ ජනරාල්වරුන් ලෙස පත් කර ඇති සිව් දෙනාගෙන් දෙදෙනෙකුට රුපියල් 223,000ක මාසික දීමනාවක් සහ ලීටර් 310ක ඉන්ධන දීමනාවක් ලබා දී ඇත. තවත් දෙදෙනෙකුට ලබාදුන් දීමනා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් පොත් වාර්තාවල කිසිදු තොරතුරක් නොමැත. 
  • අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර ඇති 23 දෙනාගෙන් 16 දෙනකුට දීමනාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් පොත් වාර්තාවල කිසිදු තොරතුරක් නොමැත. ඉතිරි හත් දෙනාගේ මාසික දීමනා සඳහා රුපියල් 445,500ක් සහ පුද්ගලයන් තිදෙනෙකු සඳහා ඉන්ධන දීමනා සඳහා ඉන්ධන ලීටර් 498ක් පමණක් ලබා දී ඇත.

මෛත්‍රීපාල සිරිසේන (2015 ජනවාරි සිට  2019 නොවැම්බර් දක්වා)

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී මාස 58ක කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා 82 දෙනෙකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගෙන ඇත. කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් 26 දෙනෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරුන් 3 දෙනෙකු, අධ්‍යක්ෂවරුන් 26 දෙනෙකු, සම්බන්ධීකරණ ලේකම්වරුන් 18 දෙනෙකු, දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකු සහ එක් පුද්ගලික ලේකම්වරයෙකුගෙන් සමන්විත විය. 

  • සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස පත් කර ඇති 18 දෙනාගෙන් 17 දෙනෙකුට මාසික දීමනා රුපියල් ලක්ෂ 11ක් සහ ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 3,136ක් ලබා දී ඇත. පෞද්ගලික ලේකම්වරයාට ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන නොමැති බව වාර්තා වේ.
  • ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කර ඇති 11 දෙනෙකුගේ ගෙවීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් ලේඛනවල කිසිදු තොරතුරක් නොමැත. ඉතිරි 15 දෙනෙකුට මාසික දීමනා ලෙස රුපියල් ලක්ෂ 14.88ක් සහ ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 1580ක් ලබා දී ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරුන් තිදෙනාගේ මාසික දීමනා සඳහා රුපියල් 273,197ක් සහ ලීටර් 480ක ඉන්ධන දීමනාවක් ලබාදී ඇත.
  • අධ්‍යක්ෂවරුන් ලෙස පත් කළ පස්දෙනාගේ ගෙවීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් ලේඛනවල කිසිදු තොරතුරක් නොමැත. ඉතිරි 21 දෙනාට මාසික දීමනා ලෙස රුපියල් ලක්ෂ 19.93ක් සහ ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 2940ක්ද ලබා දී ඇත. 
  • දිස්ත්‍රික් කළමනාකාරවරුන් ලෙස පත්කළ අට දෙනාට රුපියල් ලක්ෂ 713,520ක් සහ ලීටර් 1520ක ඉන්ධන දීමනාවක් ලබා දී ඇත.

මහින්ද රාජපක්ෂ (2010 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා)

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් මාස 60ක කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා 157 දෙනෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගෙන ඇත. එම කාර්යමණ්ඩලය උපදේශකවරුන් 82 දෙනෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරුන් 3 දෙනෙකු, අධ්‍යක්ෂවරුන් 38 දෙනෙකු, සම්බන්ධීකරණ ලේකම්වරුන් 33 දෙනෙකු සහ එක් පෞද්ගලික ලේකම්වරයෙකුගෙන් සමන්විත විය. 

  • පත්කළ සම්බන්ධීකරණ ලේකම්වරුන් 33 දෙනාගෙන් 13 දෙනකුට ලබාදුන් දීමනා පිළිබඳ කිසිදු තොරතුරක් නැත. අනෙක් 20 දෙනාට රුපියල් 717,750ක මාසික දීමනාවක් සහ ලීටර් 2224ක ඉන්ධන දීමනාවක් ලබා දී ඇත. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට රුපියල් 35,000ක මාසික දීමනාවක් සහ ලීටර් 320ක ඉන්ධන දීමනාවක් ලබා දී ඇත.
  • උපදේශකයින් ලෙස පත් කළ  82 දෙනාගෙන් 43 දෙනෙකුට ගෙවන ලද  දීමනා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැත. තවත් 39 දෙනෙකුට රුපියල් ලක්ෂ 20.91ක මාසික දීමනාවක් සහ ලීටර් 4,010ක ඉන්ධන දීමනාවක් ලබා දී ඇත.
  • අධ්‍යක්ෂ ජනරාල්වරුන් ලෙස පත් කර ඇති තිදෙනාගෙන් දෙදෙනෙකුට මාසික දීමනා ලෙස රුපියල් 128,000ක් සහ ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 340ක්ද ලබාදී ඇත.
  • අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර ඇති 38 දෙනාගෙන් 14 දෙනෙකුට ගෙවා ඇති ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැත. අනෙක් 24 දෙනාට මාසික දීමනා ලෙස රුපියල් ලක්ෂ 13.08ක් සහ ඉන්ධන දීමනාව ඉන්ධන ලීටර් 2,750ක්ද ලබා දී තිබේ. 

ඒ අනුව තම  පාලන සමයේදී කිසිදු මූලික සුදුසුකමක් නොමැතිව තමාගේ සමීපතමයන් සහ මැතිවරණ සමයේදී තමාට උදව් කළ අය තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට  වරප්‍රසාද ලබාදෙමින් සෑම ජනාධිපතිවරයකුම මහා පරිමාණයෙන් මහජන මුදල් වියදම් කර ඇති බව හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකා රජයට බරක් වී ඇති හේතු අතර මෙවැනි පත්වීම් ද ඇතුළත් වේ. පසුගිය කාලයේ ජනතාවගෙන් පරාජයට පත් වූ සහ දූෂණ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් එලෙස  ජනාධිපති කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීම බලය අයුතු ලෙස භාවිත කිරීමක් ලෙස සැලකිය හැකිය. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපතිවරුන් තම පාලන කාලය තුළ භුක්ති විඳි වරප්‍රසාදවලට සීමා පැනවීමට ද රජය පියවර ගත යුතුය.

පුවත්

IMF සමග කතා කරන්න වොෂින්ටන් ගිය නිලධාරීන් වෙනුවෙන් රු. මිලියන 18ක් වැය කරලා

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු  2024 ඔක්තෝබර් මස ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

By In
පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *