පුවත්

පෘථිවිය වටේ සවාරි 4කටක් වඩා දුරක් මහින්ද රට ඇතුළේ උඩින් ගිහින්!

By In
  • ධුරයේ සිටි වසර 11ට කි.මී. 177,180ක්  
  • තොරතුරු දෙන්න ගුවන් හමුදාව අවුරුදු 2කුත් මාස 3ක් කල් මරයි 
  • මේවා හෙළිදරව් වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ විසින්  2005 සිට 2015 දක්වා වූ ඔහුගේ වසර 11ක්  ධුර කාලය තුළදී භාවිත කරන ලද අභ්‍යන්තර ගුවන්ගමන් දුර ප්‍රමාණය ගුවන් සැතපුම් 95,670ක් බව ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණය වෙයි. එම ගුවන් ගමන්වල දුර කිලෝමීටර්වලින් 177,180.84ක් වන අතර එම දුර පෘථිවියේ පරිධිය වන කිලෝමීටර 40,075.017 (සැතපුම් 24,901.461) මෙන් හතර ගුණයකටත් වඩා වැඩිය. වෙනත් ආකාරයකට කිවහොත් එය  පෘථිවිය වටා සිව් වරක් ගමන් කළාට වඩා මඳක් වැඩි දුරකි.

මෙම තොරතුරු ඉල්ලා, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත  2022.12.05 දිනැතිව යොමු කළ තොරතුරු අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය තොරතුරු ලබාදීම මඟහැරීම හේතුවෙන්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළබඳ  කොමිසන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරිණි. එම අභියාචනය 2024 ජනවාරි 04 වන දින RTIC/Appeal/398/2023 යන අභියාචනා අංක යටතේ විභාගයට ගැනුණු අතර, එහිදී එම තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම නියෝග කළේය.  එම නියෝගයෙන් පසුවද ඉල්ලා සිටි තොරතුරු අතරින්  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ විසින්  2005 සිට 2015 දක්වා වූ ඔහුගේ ධුර කාලය තුළදී ගුවන් හමුදාවට අයත් ගුවන්යානා භාවිත කොට වාර්ෂිකව ගමන්ගත් දුර ප්‍රමාණයන් ලබාදීම සිදු නොකරන ලද අතර පසුව ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගැනීම සඳහා 2025 ජනවාරි මස 10 වන දින තොරතුරු කොමිසම ලබාදුන් තීරණයට අනුව අදාළ තොරතුරු ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය කටයුතු කරන ලදි.

විශේෂයෙන්ම 2022.12.05 දිනැතිව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් ඉල්ලා සිටි තොරතුරුවලට ”2005 සිට 2015. දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් කොපමණ වාර ගණනක්  හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදී තිබේද? මෙන්ම එම කාලය තුළදී  එවකට හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ ගුවන් ගමන්වල දුර ප්‍රමාණයන් හා එම ගුවන් ගමන් වෙනුවෙන් කොපමණ මුදලක් වැය කර තිබේද?” යන්න ඇතුළත් විය. 

නොදී- නොදී කල් ඇදීම

කෙසේ නමුත්  ඒ සම්බන්ධයෙන් 2023.04.06 දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය දන්වා ඇත්තේ අදාළ තොරතුරු ලබාදීමට අමතර දින 14ක කාලයක් අවශ්‍ය බවයි. නමුත් ඒ වනවිටත් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධානයන්ට අනුව උපරිම වැඩකරන දින 21ක් තුළදී ලබාදිය යුතු තොරතුරු, ලබාදීම සඳහා මාස තුනකට අධික කාලයක් ගුවන් හමුදා මූලස්ථානය විසින් ගෙන තිබිණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබාදීමට ගුවන් හමුදා මූලස්ථානය කටයුතු නොකිරීම හේතුවෙන් 2023.04.20 දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  කොමිසන් සභාව වෙත සිදුකළ අභියාචනයකට අනුව RTIC/Appeal/398/2023 යන අභියාචනා අංකය යටතේ 2023 අගෝස්තු මස 09වන දින මෙම අභියාචනය විභාගයට ගැනිණි එහිදී අදාළ පොදු අධිකාරිය වන ගුවන් හමුදා මූලස්ථානයෙන් පැමිණි නිලධාරීන් විසින් මේ සඳහා පිළිතුරු ලබා දීම වෙනුවෙන් තවත් කාලයක් ඉල්ලා සිටින ලදි. ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවද  මාස දෙකක පමණ කාලයක් ඒ සඳහා ලබාදෙන ලදි. නැවත 2023 ඔක්තෝබර් මස 05 වන දින හා 2023 නොවැම්බර් 23 යන දිනයන්හිදී  අවස්ථා දෙකකදීම  මෙම  අභියාචනය විභාගයට ගැනීමෙන් පසුව මෙම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා තව තවත් කාලය ලබාගනිමින් ගුවන් හමුදා මුලස්ථානය විසින් තොරතුරු ලබාදීම මඟ හරින ලද්දේ තොරතුරු දැනගැනීමේ පනතේ විධාන බරපතළ ලෙස උල්ලංඝනය කරමින් තිබූ අවස්ථාවක ය.

බැරිම තැන පදය මාරු කරයි  

මේ ආකාරයෙන් මෙම තොරතුරු ලබාදීමේ ක්‍රියාවලියට වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණු පසුබිමක  ගුවන් හමුදා මූලස්ථානය මගින්  2023.11.23 දිනැතිව තොරතුරු කොමිසමට ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 30වන වගන්තියට අනුව සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වන බැවින් අදාළ තොරතුරු ලබා දීම තොරතුරු පනතේ 5 (1) (ආ) (i) යටතේ ප්‍රතික්ෂේප කරන බවයි. එම වගන්තියේ සඳහන් වන්නේ රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස අභියෝගයක් සිදු වන අවස්ථාවක අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි. කෙසේ නමුත් ඉල්ලා ඇති තොරතුරු 2005 සිට 2015 දක්වා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට  ගුවන් හමුදාව විසින් සපයන ලද අභ්‍යන්තර  ගුවන් ගමන් සම්බන්ධයෙන්  සිදු කළ වියදම් හා දුර ප්‍රමාණයන් වේ. එවැනි තොරතුරු මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු කොමිසම තුළදී කරුණු තහවුරු කිරීමට ගුවන් හමුදා මූලස්ථානයට නොහැකි වූ අතර මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ආදාළ තොරතුරු පුරවැසියන්ගෙන් වසන් කිරීම වෙනුවෙන් තොරතුරු පනතේ ඇති 05 වන වගන්තිය අවභාවිත කර තිබූ බවයි. එමෙන්ම පොදු අධිකාරියේ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමේ මෙම ස්ථාවරය ඔවුන්ගේ මුල් ස්ථාවරයට සපුරා පටහැනි බව තොරතුරු කොමිසම ද තීරණය කරන ලදි.

තොරතුරු දෙන්න අවුරුදු 2කුත් මාස 3ක්! 

මේ ආකාරයෙන් පුරවැසියෙකුගේ තොරතුරු ඉල්ලීම වෙනුවෙන් වසරක පමණ කාලයක් තොරතුරු ලබා නොදෙමින් කටයුතු කළ ගුවන් හමුදා මූලස්ථානය, 2024 ජනවාරි මස 04 වන දින තොරතුරු කොමිසම මගින් නැවත මෙම අභියාචනය කැඳවූ  අවස්ථාවේදීද මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා තවත් කාලයක් ඉල්ලා සිටි අතර එහිදී තොරතුරු කොමිසම තීරණය කරනු ලැබුවේ ඒ වන විටත් වසරකට අධික කාලයක් මෙම තොරතුරු ඉල්ලීම වෙනුවෙන් ලබාගෙන ඇති බැවින් එසේ තවත් කාලයක් ලබාදීමෙන් තොරතුරු ඉල්ලුම්කරුට අගතියක් සිදු වන බවයි.  අදාළ තොරතුරු ගුවන් හමුදා මූලස්ථානය සන්තකයේ තිබෙන බවද ගුවන් හමුදා මූලස්ථානය නියෝජනය කරමින්  අභියාචානා විභාගයට පැමිණි නිලධාරියා විසින් කරුණු  තහවුරු කරන ලදි. ඒ අනුව අදාළ තොරතුරු රැස්කර, 2024.03.27 දිනට පෙර තොරතුරු කොමිසමට ද  පිටපත් සහිතව, තොරතුරු ඉල්ලුම්කරුට ලබාදෙන ලෙස තොරතුරු කොමිසම මගින් ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝග කරනු ලැබුවත් එම නියෝගයද නොසලකා සිටි ගුවන් හමුදා මූලස්ථානය, අදාළ තොරතුරු ලබා දෙන ලද්දේ ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ලේඛන පරීක්ෂා කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළබඳ  කොමිසන් සභාව මගින්  2025 ජනවාරි මස 10 වන දින ලබාදුන් තීරණයකට පසුව 2025 පෙබරවාරි මස 24 වැනිදාය. ඒ වනවිට අදාළ තොරතුරු ලබාදීම සඳහා පමණක් වසර දෙකකකුත් මාස 3ක පමණ කාලයක් ගුවන් හමුදා මූලස්ථානය ලබා ගෙන තිබුණි.

දූෂණයට උඩගෙඩි දීමක්

මෙරට බොහොමයක් දේශපාලඥයින් මහජන දේපළ අවභාවිත කරමින් සිදුකරන ලද මුදල් නාස්තියේ ප්‍රතිවිපාක ආර්ථික අර්බුදයක් ලෙසින්  අද වන විට සියලු පුරවැසියන් අත්විඳිමින් සිටී. එසේ වූ පසුබිමක මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් සිදු කරන වියදම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ප්‍රගාමීව  හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය මගින් දැනගැනීමට බාධාවකින් තොරව හැකියාවක්  පුරවැසියාට තිබිය යුතුය. නමුත් රාජ්‍ය බලය නිලධාරීන්ගේ බලාධිකාරය  මත හෝ  විවිධ අණපනත්වලට මුවාවෙමින් එම තොරතුරු මහජනයාගෙන් වසන් කිරීම සෘජුවම දූෂණයට උඩගෙඩි දීමකි. දූෂණය පිටුදැකීම හා විනිවිධභාවය පිළිබඳ මහජන අභිලාෂයන් මත බලයට පැමිණි වත්මන් රජය, මෙම වැරදිසහගත පිළිවෙත අවසන් කිරීමට මැදිහත් විය යුතුය.

පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

– මොහොමඩ් ආසික් ‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක්…

By In
පුවත්

කියපු හැටියට වඩා කරන හැටි වෙනස්ද?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මහජනතාවට ඇති ව්‍යස්ථාපිත බලය මැතිවරණ හෝ ජනමත විචාරනවලදී ක්‍රියාත්මක කිරීමෙන් පසු, එම බලය ක්‍රියාවට නංවන්නේ මහජන නියෝජිතයින්ය….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *